|
||
තාරකාවෝ මනරම්ය එබැවින් . . .
පසුගිය සතියේ අලුත් සිනමා පොතක් එළි දැක්කේය. කොළඹ සුපිරි හෝටලයක එළි දකින ලද මේ පොතේ මංගල්‍යයට පෞද්ගලිකව ආරාධනා ලැබුණද එයට සහභාගී වන්නට මට නොහැකි විය. ඒ සුපුරුදු ලෙස සඳුදා කාර්යබහුල වූ බැවිනි. පොතේ නම “තාරකාවෝ මනරම්ය”. ලියන ලද්දේ ධම්මිකා අක්මීමනය. ධම්මිකා මෙරට යුග ගණනක අතිශය ජනප්‍රිය තාරකා රැසක් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා පෙළක් මෙලෙස ග්‍රන්ථයක් ලෙස එළි දක්වා තිබිණි. ධම්මිකා බොහෝ කලක් සිනමා කලාව පිළිබඳ ලේඛන කලාවෙහි යෙදෙන්නියකි. මගේ මතකයේ හැටියට ඇය “ඇත්ත” පත්තරේද කලක් කටයුතු කළාය. ඇය විසින් කරන ලද සාකච්ඡා පෙළ කියවන මට සිහිපත් වනුයේ අනුක්‍රමයෙන් මැකී යන අපේ සිනමාවේ එක් යුගයක් පිළිබඳවය. අයිරාංගනී සේරසිංහ සිට අලුත් පරම්පරාවේ සමනලී ෆොන්සේකා දක්වා විවිධ මාදිලියේ තාරකා පිළිබඳ වූ ඔවුන්ගේ මතක සටහන් පිළිබඳව නැතහොත් ජීවිත විත්ති පිළිබඳව ඇය මේ ග්‍රන්ථයේ සාකච්ඡා මගින් බොහෝ කරුණු එක්තැන් කොට ඇත්තේය. සිනමා තාරකාවන්ට සීමා නොව ගායනයෙහිද සිනමාකරණයෙහිද තාරකාවන් වූ කිහිපදෙනෙකු සමඟ කළ සාකච්ඡාය. පොත අතට ගන්නට පෙර එහි කවරය දුටු මට හැඟුණේ එය සිනමා නළු - නිළි තාරකාවලට පමණක් සීමාවන්නක් බවය. එහෙත් කවරයෙහි වූ ඡායාරූපය දෙස විමසිල්ලෙන් බලද්දී එය ඊට වඩා පුළුල් වෑයමක් ලෙස මට වැටහිණි. සිනමා තරු යන අර්ථයෙන් ගත් කළ ඉන්දියානු සංස්කෘතිය මගින් අපට හුරුකොට ඇත්තේ කලක් දැල් වී බැස යන්නක් හැටියටය. එය “ස්ටාර්”යන සංකල්පය ලඝු කර දැක්වීමකි. මේ ලියන්නේ රියැලිටි ස්ටාර්ස්ලා ගැන නම් නොවේ. එබැවින් ෆිල්ම් ස්ටාර්ස්ලා පිළිබඳ අර්ථකථනය පුළුල් එකකි. ලෝක සිනමාව ආරම්භ වූ මුල් දශකයේදී ඒවායේ රඟපෑ නළු නිළියන් ඔවුන්ගේ පෞද්ගලික නමින් හැඳින්වීම සිදු කළේ නැත. ඇමෙරිකාවේ බයෝග්‍රාෆ් සමාගමේ රගපෑ නිළිය බයෝග්‍රාෆ් ගර්ල් ලෙසද එසෙන්ස් සමාගමේ රඟ පෑ නිළිය එසෙන්ස් ගර්ල් යනුවෙන් හඳුන්වා දුන්නා විනා ඔවුන්ගේ නම් අනාවරණය කළේ නැත. ඒ ඔවුන් පෞද්ගලිකව ගොඩනැඟෙතැයි යන භීතිය හේතු කර ගෙනය. ලෝක සිනමාව ව්‍යාපාරයක් ලෙස වර්ධනය කර එය මහා පරිමාණයට ගොඩනැගූ මිනිසුන් අතර අල්වින් තැල්බර්ග් ට ඇත්තේ ඉහළම ස්ථානයකි. ඉතා කෙටි කලක් ආයුෂ විඳ මියගිය තැල්බර්ග් මුල් දශක එක හමාර වන විට සිනමාවේ පැවැති ස්වරූපය සහමුලින්ම වෙනස් කළේය. ඔහුගේ එක් උත්සහායක් වූයේ නළු - නිළියන් සැබෑ නාමවලින් පෙනී සිට ඔවුන් කෙරෙහි ආකර්ෂණයක් ගොඩනැඟීමය. සැබෑ සිනමා තාරකාවෝ කුසලතාවද, ජනප්‍රියත්වයද දෙකම එකවර දෝත දරා ගත්තෝ වෙති. හොලිවුඩයේ තැල් බර්ග් මෙන්ම ලුවී බී. මේයර්, ඇඩොල්ෆ් ෂූකර්, සැමුවෙල් ගෝල්ඩ්වින් වැන්නෝ ගොඩනඟන ලද සිනමා තාරකා සම්ප්‍රදාය ලොවපුරා ඉක්මනින් පැතිර ගියහ. එය ඉන්දියාවටද පසුව ලංකාවටද වැළැඳිණි. අපේ සිනමා තාරකා බිහි වන්නට පෙර අපට සිටියේ ඉන්දියානු තාරකා ය. තාරකා බිහිවූ දා සිටම ලොවපුරා සිනමා රසික – රසිකාවෝ ඔවුන් කෙරෙහි අප්‍රමාණ උමතුවක් දැක්වූහ. එමෙන්ම අප්‍රමාණ ප්‍රේමයකින්ද වෙලී ගියහ. ඇතැම් ගැටවරයන් ජීවිතයේ බොහෝ ප්‍රතිරූප ගොඩ නඟන්නට සිනමා තාරකාවල පරමාදර්ශ මාර්ගෝපදේශක බවට පත්කර ගත්හ. මේ තාරකා පිස්සුව නියා ඇතැමෙක් ජීවිතය පරදුවට තබා පිස්සු කෙළියහ. අපේ සිනමාව බිහිවන්නට වසර ගණනාවකට පෙර මෙරට තිරගත වූ ‘චින්තාමනී’ චිත්‍රපටය කෙරෙහි රහ වැටුණු අපේ රසිකයෝ බහුතරයක් එහි රඟපෑ ‘අශ්වතම්මා’ නැමැති දෙමළ නිළියට සිතින් පෙම් කර රෝගී වූහ. සමහරු ගෙවල් දොරවල් විකුණා දමා මුදල් සොයා ගෙන ඉන්දියාවට ගොස් ‘අශ්වතම්මා’ දැක බලා ගත්හ. ඉතා මෑතක මේ චිත්‍රපටය මුල්වරට නැරැඹූ මම ඒ කාලයේ හිටිය වැඩිහිටියන් අදට වඩා පිස්සු යකුන් යැයි අනුමාන කළෙමි. ඒ ‘අශ්වතම්මා’ අද මට්ටමෙන් බලන කළ කැහැටු මළ හෝන්තුවක් වූ බැවිනි. අපේ රටේ මුල්ම නිළිය වූයේ රුක්මණී දේවිය. මීගමුවේ අඟුරුකාර මුල්ල පන්සල වඳින්නට යන උපාසක – උපාසිකාවෝ ඒ එන ගමන් රුක්මණීවත් දැක ගැනීමට ආශා කළහ. ඇයගේ කෙස් ගහක් හෝ කඩා ගන්නට ද, එය සිහිවටනයක් කර තබා ගන්නටද ඔවුහු ප්‍රාර්ථනා කළහ. පුදුමයක් නොවේ. මැර්ලින් මොන්රෝගේ යට ජංගියක් ඩොලර් මිලියන ගණනකට ඉකුත් දා වෙන්දේසි වී ගියේය. තාරකාවල කූටප්ප්‍රාප්ති සමයේ ඔවුන්ට මහපොළවට බසින්නට රසිකයන් ඉඩ දෙන්නේ නැත. එහෙත් ඇතැම් විට පරම්පරා ගණනාවකට පසු ඔවුන් ගැන කිසිවකු හෝ දන්නේ නැත. 50 දශකයේ අතිශය ජනප්‍රිය සුපිරි තරුවක් වරක් මා සොයා “සරසවිය” ට පැමිණියේය. ඔහු පිළිබඳ දැන සිටියේ ටික දෙනෙකි. ඔහු මියගිය පසුව මරණයට සහභාගී වූයේද ඇඟිලිවලින් ගණනය කළ නොහැකි පිරිසකි. ‘තාරකාවෝ මනරම්ය’ කෘතිය හරහා (එහි සාකච්ඡා දෙකක් වාසනා සුරංගිකා විතානගේ ගෙනි.) තාරකාවල ජීවිතය විනිවිද දකින්නට ධම්මිකා උත්සහ කරන්නීය. ඇය මේ තාරකා පහන් ටැඹක් කොට පමණක් නොව එහි පාමුල ඇති ඇඳුර ද හෙළිදරව් කර සිටින්නීය. එය ඕපාදූපවලින් එපිට නිර්මාණකරුවන්ගේ අනන්‍යතාව සොයා බලන්නකි. එහෙත් මේ ලිපි පෙළෙහි සංවාද පෙළ ගස්වා ඇත්තේ ඒ ඒ කලාකරුවන් ක්ෂේත්‍රයට පිවිසි වකවානු කේන්ද්‍ර කරගෙනය. පොත ආරම්භ වන්නේ අයිරාංගනී සේරසිංහගේ සංවාදයකිනි. දෙවනුව ඇත්තේ ලතා වල්පොළගේ සංවාදයකි. බැලූ බැල්මට එය වැරැදිය. එයට හේතුව ලතා ගායන ක්ෂේත්‍රයට පිවිසෙනුයේ අයිරාංගනී සේරසිංහට ප්‍රථමයෙනි. ලතා ගී ගයනුයේ 1946දීය. අයිරාංගනී සේරසිංහ වේදිකාවට පිවිසෙනුයේ 1947 දීය. එමෙන්ම ලතා සිනමාවට පිවිසෙනුයේද අයිරාංගනී සේරසිංහට පූර්වයෙනි. කෙසේ වෙතත් මේ සංවාදවලදී අපට අමතකව ගිය බොහෝදෙනා පිළිබඳ මතකය අවදි කරන්නට ධම්මිකා ලොකු උත්සහයක් ගෙන ඇත්තේය. රංගනයෙන් බැහැරව නීලා වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, මහාචාර්ය සුනිල් ආරියරත්න, අමරසිරි පීරිස්, ඉනෝකා සත්‍යාංගනී ජයන්ත චන්ද්‍රසිරි ආදීන් ද ධම්මිකා සිය සංවාද වලදී හවුල්කරගත ඇත්තීය. 1964 වසරේ මුල්ම ‘සරසවිය’ සම්මාන උළෙලේදී ලේක්හවුස් මන්දිරයේ සිට උළෙල පැවැත්වූ ග්‍රෑන්ඩ්ස් පාස් අශෝක සිනමාහල වෙත සිනමා නළු - නිළියන් රැගෙන ගොස් ඇත්තේ විවෘත රථයකිනි. එය ‘තාරකා යානය’ යැයි නම් කර තිබුණි. එදා රසිකයන් පාලනය කිරීම සඳහා මඟ දෙපස පොලිස් බල ඇණියක් යොදා ගන්නට සිදුවිණ. පෙරේදා ඇරඹි කොළඹ අන්තර් ජාතික උළෙල සඳහා කිංස්බරි හෝටලයේ සිට රීගල් සිනමා හළ වෙත ආරාධිත සිනමා තාරකා පැමිණියේ රථ පෙළපාලියකිනි. සිනමාහළ ඉදිරිපස රතු පලස එලා ඔවුන් පිළිගනු ලබනුයේ එකී ගාම්භීරත්වය ඉස්මතු කරමිනි. තාරකා ගුණය යනු සිනමාවට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස මම කවදත් අදහන්නෙමි. එහි එන ගාම්භීරත්වයේ සහ දැවැන්තභාවයේ එක් රහසක් වනුයේ දැවැන්ත භාවයයි. ෂාරුක් ඛාන් කන බොන හැටි අහන්නටත්, ඇන්ජලිනා ජොලි සහ බ්‍රැඩ්පිට් යුවළගේ අනේක විද ප්‍රේමරංගන පිළිබඳ සොයා බලන්නටත් අප තුළ තිබෙන්නේ අසීමිත කැමැත්තකි. අපේ නිළි රැජන මාලනී ෆොන්සේකා පිළිබඳව සොයා බලන්නටත්, ඈ පිළිබඳව කියවන්නටත් අද පවා අපේ රසිකයන් කැමැතිය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ නිවහන වටා ඔහු දැක ගන්නට උදෑසනම රැස්වෙන සෙනඟ පිළිබඳව තවමත් දමිත් ෆොන්සේකා සිහිපත් කරයි. මේ තාරකා ගුණයෙන් මත් වූ සිනමා රසිකයෙක් වූ මම ‘තාරකාවෝ මනරම්’ යැයි පවසන්නට කැමැත්තෙමි. එමෙන්ම මේ අතීතය අනාගතය සඳහා ලියා තැබීමද අත්‍යවශ්‍ය වන්නකි. |
||