වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




හිත හොඳකම කෙට්ටු වෙන්න ඖෂධයක්

හිත හොඳකම කෙට්ටු වෙන්න ඖෂධයක්

කලකට පසු නිරෝෂා පෙරේරා හමුවෙමු
මගේ වගකීම අධ්‍යක්ෂවරයා සතුටු කිරීම
චරිතෙටත් වැඩේටත් කැමැති නම් කොහොම හරි වෙලාව හදාගන්නවා

නිරෝෂා පෙරේරාගේ කට තමා කට. ඊටත් එහා තියෙන දාංගලේ.

හිරු නාලිකාවේ නීරෝ විත් ස්ටාර් වැඩ සටහන නරඹන වැඩි දෙනෙක් එහෙම කියනවා. මේ වන විට ඇය එමඟින් තම ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කරගෙන හමාරයි. මේ හින්දම ‘සරසවිය’ පුවත්පතේ මෙවර කළාපයේ තුන්වැනි පිටුව ඇයට වෙන් කරන්න තීරණය කළා. ඒ සඳහා කර්තෘතුමන්ගෙන් අවසරය ලබාගෙන මං නිරෝෂාට දුරකතන ඇමතුමක් දුන්නා. අනිත් අන්තයෙන් ලස්සන ඉංග්‍රීසි ගීතයක් ඇහෙනවා.

නිරෝෂා ගිරවි වගේ උත්තර දේවි මං අහන ප්‍රශ්නවලට.

ඒ අතරතුරදි මං එහෙම හිතුවේ නීරෝ විත් ස්ටාර් හි ඉන්න නිරෝෂාව මතක් වුණ නිසයි.

හෙලෝ . . . සුබ දවසක් . . .

* කවුද මේ?

පුදුම විදිහෙ ආචාරශීලී කඩහඬක් මට දැන් ඇහෙවා.

* නිරෝෂාද?

ඔව්.

ඇය ඔව් කිව්වට මේ කතා කරන විදිහෙන් මට සැකයි. ඒ නිරෝෂා ද මේ කියලා.

* මේ නීරෝ විත් ස්ටාර් කරන නිරෝෂා පෙරේරා නේද?

ඔව් . . . එයා තමයි කතා කරන්නේ. කරුණාකරලා කියන්නකො මේ කවුද කියලා.

මම මගේ අනන්‍යතාවය හඳුන්වා දුන්නා.

* මං හිතාගෙන හිටියෙ නිරෝෂා කියන්නේ . . .

අර ප්‍රෝගෑම් එකේ වගේ සැබෑ ජීවිතයෙත් දඟකාරියක් කියලද . . .

ඔව්.

ගොඩක් අය එහෙම තමයි හිතාගෙන ඉන්නේ. නීරෝ විත් ස්ටාර් සම්භාව්‍ය විදිහට මෙහෙයවන්න බැහැනෙ. ඒකට අර දඟකාර කටකාර සිස්ටම් එක හරි යන්නේ.

* ඒත් නිරෝෂා බහුතරය් දෙනා කියනවනෙ නීරෝ විත් ස්ටාර් මෙහෙයවද්දී ඔබ කෝලම් කරනවා වැඩියි කියලා?

මෙහෙමයි, සමහර අය කෙලින් චෝදනා කරන්නේ නැහැ. ඒ හින්ද මං ඒවා ගැන හිතන්නේ නැති තරම්. නමුත් මෙම වැඩ සටහනට එන හැම කලාකරුවෙක්ම කියන්නේ මම තරම් ආචාරශීලී, සුහදශීලී වෙනත් නිවේදිකාවක් නැහැ කියලා. එතරම්ම ඔවුන්ට මාව දැනෙනනවා. නැත්නම් එහෙම කියන්නේ නැහැනෙ. මා ගැන නොදන්නා අය චෝදනා කරනවා ඇති. හැමෝම හිතන විදිහ එක වගේ නෙවෙයිනේ.

* කොහොමද ඔබේ රංගන කටයුතු? ඔබ නේද කන්දක් සේමා සිනමා කෘතියේ නූපා නම් ප්‍රධාන චරිතය මවන්නේ?

ඔව්. මේ දැනුත් කන්දක් සේමා පොත අතේ තියාගෙනයි ඉන්නේ. මං ඒක කියවපු වාර අනන්තයි.

* එච්චරට චරිතය ගැන අධ්‍යනයක් කරනවා?

මං ඒ කියවන සෑම වාරයක් ගානෙම අලුත් යමක් ඉගෙන ගන්නවා. ඒ මගේ හැටි.

* ඔබ රඟපෑ සෙවනැළි ෆිල්ම් එක කවදද එන්නේ?

ළඟදීම.

* නිරෝෂා නිතර රඟපාන කෙනෙක් නෙවෙයි. නමුත් ඉඳලා ඉඳලා රඟපාන්නෙත් ආන්දෝලනාත්මක චරිතයක්?

අනේ මං ආන්දෝලනාත්මක චරිත රඟපාන්නේ නැහැ. ඒ වුණාට මං රඟපාන චරිතයක් ප්‍රේක්ෂකයන් දකින්නේ ආන්දෝලනාත්මක විදිහට.

* එයින් ඔබේ ප්‍රතිරූපයට හානියක් වෙන්නේ නැද්ද?

යම් අධ්‍යක්ෂවරයෙක් මාව චරිතයට තෝරා ගන්නේ ගැළපෙන නිසානෙ. මගේ වගකීම ඒ අධ්‍යක්ෂවරයා සතුටුවන අන්දමට චරිතයට පණ පොවන එක. ඉතුරු ටික ප්‍රේක්ෂකයා තීරණය කරයි. මට තියෙන සීමාව සීමිතයි. මං ඒ රාමුව ඇතුළේ මට පුළුවන් හැකියාව එළියට දානවා. ඒ නිර්මාණ දහස් ගණන් ප්‍රේක්ෂකයෝ නරඹනවා. ඉතින් එයාලා එක එක විදිහට ඒ චරිතය මනිනවා. මගේ ප්‍රතිරූපයටත් විනිශ්චයන් දෙනවා. ඒක ප්‍රේක්ෂක අයිතිය.

* ඇයි ලැබෙන සෑම චරිතයක්ම භාර නොගන්නේ?

මගේ රැකියාව, වෘත්තිය රංගනය නොවන නිසා.

* ඒත් ඔබ වෘත්තීය නිළියකට වඩා ඇතැම් නිර්මාණවලට සාධාරණය ඉටු කරලා තියෙනවා?

මං ඒ ගැන කතා කිරීමෙන් වැළකී සිටිනවා.

* මොකක්ද මේ කලා ලොව තුළ ඔබේ වෘත්තිය?

මං කලාව වෘත්තීය කරගෙන නැහැ. මං නිදහස් කෙනෙක්. නිවේදිකාවක් විදියට හඳුන්වනවාට මං ආසයි. මොකද මගේ වැඩි කැමැත්ත තියෙන්නේ නිවේදනයට.

* කාලෙකින් ඔබව ටෙලි නාට්‍යකින් දුටුවේ නැහැ?

දැන් වැඩි වශයෙන් හැදෙන්නේ මෙගානෙ. මං එවැනි නාට්‍යවලට යන්නේ නැහැ.

* හේතුව?

ප්‍රධානනම හේතුව මට ඒවට මිඩංගු කරන්න තරම් කාලයක් නැතිකම. මටත් මෙගාවලට කතා කළා. ඒ හැම ආරාධනයක්ම තිබුණෙ එහි ප්‍රධාන චරිතය සඳහා. ඉතින් එවන් වූ චරිතයක් ලැබුණම මාසෙකින් වැඩි දින ගණනක් ඊට වෙන් කරන්න ඕනෑ. තව හේතුවක් තියෙනවා. මං සාමාන්‍ය නිර්මාණයකට ආරාධනා ලැබුණම එහි කතාවේ මුල මැද අග සොයා බලනවා. බහුතරයක් මෙගාවල අවසානයක් නැහැනෙ. එහෙම නොදැන කොහොමද චරිතයක් රඟපාන්නේ.

* මුල මැද අග තියෙන තිර පිටපතක් අතට දීලා මෙගා නාට්‍යයකට කතා කළොත් යනවද?

ඒකට මට දෙන්න තියෙන්නේ මෙන්න මේ වගේ උත්තරයක්. චරිතයට කැමැතියි නම් වැඩේට කැමති නම් මං කොහොම හරි වෙලාව හදාගන්නවා.

* එතකොට හැමදාම නිරෝෂා ටීවි එකේ ඉඳීවි?

අන්න ඒක තමයි තියෙන ගැටළුව. මං ආස නැහැ නිතර නිතර ටෙලිවිෂන් එකේ පේනවටත්. එහෙම බලන කොට මෙගා සඳහා ඇති ආරාධනා ප්‍රතික්ෂේප කරන්න වෙනවා.

* එහෙම කියන්නේ කොහොමද? ඔබ නීරෝ විත් ස්ටාර් සමඟ සෑම ඉරිදාවකම අප හමුවට එනවනේ?

ඉරිදාවක් තියෙන්නේ සතියට එකයි. එහෙම හිටියම ඇති. මෙගා එකකට සම්බන්ධ වුණොත් සතියේ දවස්වලත් පෙනී ඉඳලා ඉරිදත් මිනිස්සු මාව දකිනවනේ. එතකොට අගේ නැහැ.

* කවදාද ඔබේ තනිකඩ ජීවිතය නිම වෙන්නේ?

මං තනිකඩ වෙන්නේ කොහොමද? මගේ පවුල මට තියෙනවා.

* මං ඇහැව්වේ විවාහයක් කර ගන්නේ නැතිද කියලා?

මං තවම ඡ්‍යොතිෂ්‍ය හදාරන්න ගත්තේ නැහැ. ඒ හින්දා නිශ්චිත කාලවකවානු කියන්න අමාරුයි.

* නිරෝෂා සාමාන්‍යයෙන් ටිකක් ආඩම්බර කෙනෙක්. එහෙම නේද?

අපි හැමෝගෙම ගාව ටිකක් හෝ ආඩම්බරකමක් තිබිය යුතුයි. සමහර දේවල් නිකම් දුන්නාම අගේ නැහැ. කලාකරුවන් විදිහට ඒ තැන තියාගෙන සිටින්නට පුංචි හෝ ආඩම්බරකමක් ඕනෑ.

* මං දන්න විදිහට නිරෝෂා හුඟක් පැණිරස කනවා?

හරියටම හරි.

* ඒත් ඔබ මතත් වෙන්නේ නැහැ?

ඒකට රහසක් තියෙනවා. මගේ හිත හොඳයි. හිත හොඳකම නිසා මගේ මහත පාලනය වෙනවා. අනික මං මහත අයට කෙට්ටු වෙන්න උපදෙස් දීලා ඇති ඕනෑ තරම්. ඒ මහත අය කෙට්ටු වෙලා මට කතා කරලා ප්‍රශංසා කරනවා. ඒ පිනම ඇති මට ලබන ආත්මෙදිත් කෙට්ටු නොවී ඉන්න.

* නීරෝ විත් ස්ටාර් කරද්දී වෙච්ච අමතක නොවන අත්දැකිමක් පිළිබඳ මතක් කළොත්?

මං නීරෝ විත් ස්ටාර් ආරම්භ කළ දවසේ ඉඳලා ගිය සතියේ විකාශය වූ වැඩසටහන දක්වා සෑම සිදුවීමක්ම මට මතකයි. මුලු වැඩ සටහන් මාලාවම අමතක වන්නේ නැහැ.