|
ගමේ කොල්ලෙක් තමයි ඒත්...
වීර මද්දුම බණ්ඩාර සමඟ කතාබහක්
මේ කියන ගමේ කොල්ලා ලොකු පොඩි සියලු දෙනාගේම ආදරය දිනා ගත්තේය. කාලය ගෙවී ගියේය. මේ කුඩා දරුවා පිළිබඳ යළිත් චිත්‍රපට නරඹන්නන් අතර යම් කතාබහක් ඇති වී තිබිණි. ඒ මේ දිනවල තිරගත වන ඇහැළේපොළ චිත්‍රපටයේ මද්දුම බණ්ඩාර ලෙස ඔහු කළ රඟපෑම නිසාය. ‘අයියණ්ඩියනි, බිය නොවන්න. මැරෙනා හැටි මම පෙන්වන්නම්’ සෑම දෙනාටම ඒ දෙබස කට පාඩම්ය. පුංචි ප්‍රමුදිත උදය කුමාර පුතු කළ ඒ රඟපෑම පිළිබඳත් ඔහුට ලැබෙන ප්‍රතිචාර පිළිබඳත් ඔහු මෙසේ සඳහනක යෙදුණේය. * කොහොමද පුතාට ලැබෙන ප්‍රතිචාර එහෙම? ප්‍රතිචාර හොඳයි. * ඒ කියන්නේ? සමහරු චිත්‍රපටය එක පාරක් විතරක් නොවෙයි දෙපාරක්ම නරඹලා. ඔයා චිත්‍රපටයේ හොඳට රඟපානවා කියලා කියනවා. * ඒකට සතුටුද? සතුටුයි * පුතාව කොහොමද චිත්‍රපටයට තෝරා ගත්තේ? සුගත් මාමා සිරි පැරකුම් බලලා තිබුණා. ඒ නිසා මට කතා කළා. * ඊළඟට පුතා ගියාද? කොණ්ඩය දමලා බලන්න එක දවසක් මට එන්න කිව්වා. මම ගියා. * කොණ්ඩය හරි ගියා? ඔව්. මාව තෝරා ගත්තා. * කොණ්ඩය දමාගෙන ඉන්න කැමැති වුණා? සමහර දවසට කොණ්ඩය දාගෙන ඉන්න බැරි වුණා. * ඒ මොකද? අමාරුයි. ටිකක් ගලවාගෙන සිටියා. * ඒකට සුගත් මාමා බැන්නද? නෑ. ඒ ගොල්ලෝ හැමෝම මට ආදරෙයි. * දෙබස් කිව්වේ කොහොමද? සුගත් මාමා මට දෙබස් කියලා දෙනවා. මම කියනවා. * මොකක්ද පුතා කිව්ව මතක සිටින දෙබස් ටික? අයියණ්ඩියණි බිය නොවන්න. මැරෙන සැටි මම පෙන්නන්නම්. * වදකයා කඩුව අරගෙන එන විට බය හිතුණද? බය හිතුණේ නැහැ. නිර්භීත බව පෙන්නුවා. * මේ වනවිට මද්දුම බණ්ඩාරගේ කතාව පුතා කියවලා තිබුණද? මම කතන්දර පොත් කියවනවනේ. ඒ පොත් අතර මද්දුම බණ්ඩාරගේ කතාවත් තිබුණා. * රූගත කිරීම් කළේ කැලයේ නේද? ඒක විශාල කැලයක්. * කැලයට බය හිතුණාද? නැහැ. * කැලේ ඇතුළෙන් අශ්වයෝ පදවාගෙන යන විට බයක් දැනුණාද? නැහැ. අපි පදවාගෙන ගියේ පෝනියෝ. අශ්වයෝ ගොඩක්ම උසයි. අපිට නඟින්න බැහැ. * පෝනියා දඟ කළාද? අයියගේ පෝනියා ටිකක් දඟ කළා. එයා කුලප්පු වුණා. * පුතාගේ පෝනියා? මගේ පෝනියා බොහොම හොඳයි. * රූගත කිරීම්වලට කලින් පෝනියාගේ පිට උඩ ගියාද? අපිව කලින් පෝනියෝ පිට උඩ යන්න පුරුදු කළා. එයාලත් එක්ක මම යාළු වුණා. මම එයාලව යාළු කර ගත්තේ කොට්ටඹ කොළ කන්න දීලා. හකුරුත් කන්න දුන්නා. * ඒ දෙන්නට නමක් තිබුණාද? ඔව්. මගේ පෝනියා බේබි, අයියගේ (චිත්‍රපටයේ) පෝනියා රෝසි. ඒත් ෂූට් එකේදී මේ දෙන්න මාරු වුණා. ඒත් ඉතිං මට නම් කරදරයක් වුණේ නැහැ. * ඔයා පෝනියාට කතා කළාද? පෝනියාගේ පිට උඩට නැග්ගට පස්සේ මම එයාට ආදරයෙන් කතා කළා. * ඒ කොහොමද? හා හා පැටියෝ ඉතිං යං කිව්වා. අයියා ඌට කොටුවෙන් ගැහුවා. * ඒකද ඌ කුලප්පු වුණේ? වෙන්න ඇති. * පෝනියාට දෙන සංඥා එහෙම මතකද? වමට හැරෙව්වොත් එයා වමට හැරෙනවා. දකුණට හැරෙව්වොත් එයා දකුණටම හැරවෙනවා. හයියෙන් ඇද්දොත් එයා නතර වෙනවා. කික් එකක් දැම්මාම වේගයෙන් දුවනවා. මම එහෙම පෝනියත් එක්ක දුවලත් තියෙනවා. * අංගම් සටන් දැනගත්තේ කොහොමද? ඒ අංගම් සටන් කරන තැනකට ගිහින් පුරුදු වුණා. * අම්මාට, තාත්තාට රඟපෑව මාමා, නැන්දා කොහොමද? අම්මාට රඟපෑවේ දුලානි නැන්දා, තාත්තාට රඟපෑමේ අනුර මාමා. ඒ අය මට ගොඩක් ආදරෙයි. සමහර තැන්වල රඟපාන විදිය මට එයාලා කියලා දුන්නේ බොහොම ආදරයෙන්. * දුලානි නැන්දා ඔයාට කතා කළේ? සුදු පැටියෝ කියලා. අනුර මාමා මට විහිළු කළා. * මොන වගේ ඇබැද්දිවලට ද මුහුණ දෙන්න වුණේ? මම අසනීප වුණා. සති තුනක් විතර ඉස්පිරිතාලේ සිටියා. ඒ කාලයේ ලොකේෂන් එකට යන්න බැරි වුණා. ඒ වගේම මගේ දතක් වැටුණා. * සමහර සීන් මඟ හැරුණා? ඒ කාලයේ තිබුණු මගේ සීන් කිහිපයක්ම රඟපාන්න මට බැරි වුණා. ඒ නිසා ඒවා චිත්‍රපටයේ නෑ. * සිර මැදිරියේදී මොකද සිතුණේ? අපි එහේදී එල්ලුම් ගහ දැක්කා. * වැඩියම කාටද ආදරේ? අම්මටයි, තාත්තටයි, සෝමරත්න මාමටයි, රේණුකා නැන්දටයි, ගයාන් මාමටයි, සුගත් මාමටයි. * පුතාගේ ඉස්කෝලේ මොකක්ද? මයුරපාද කණිෂ්ඨ විද්‍යාලය. ඒකේ තුනේ පන්තියේ තමයි ඉගෙන ගන්නේ. * පාසලේ හොඳම යාළුවෝ කවුද? එකට ලෝචන, දෙකට මලිත්, තුනට මධු, හතරට කෙවිඳු, පහට ෂමීස. * පන්ති භාර ගුරුතුමිය, යාළුවෝ ටික චිත්‍රපටය නරඹලාද? ඔව් එයාලා නරඹලා. එක පාරක් දෙපාරක්ම. * ඒ අය මොකද කියන්නේ? හොඳයි කියලා කිව්වා. * ඒ යාළුවන්ටත් රඟපාන්න ඕනෑ කියනවාද? ඔව්. එහෙම කියනවා. * පුතා කැමැතිම විෂයයන් මොනවද? ගණිතය හා චිත්‍ර. * ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්ද? ඔව්. මම චිත්‍ර අඳින්න කැමැතියි. ළඟදීම මම ඇන්ඳේ කැලයක්. * පුතා අනාගතයේදී කවුරු වෙන්නද කැමැති? දොස්තර කෙනෙක්. එත් ඉංජිනේරුවෙක් වෙන්න කියලා තමයි අම්මා කියලා තියෙන්නේ. මම කැමැති ඉංජිනේරුවෙක් වෙන්න. * ඇයි ඉතිං දොස්තර කෙනෙක් වෙන එක ඊට වඩා හොඳයි නේද? ඩොක්ටර් මාමාලටත් කාර් තියෙන්නේ ඉංජිනේරුවෝ හදන ඒවානේ. * එහෙම නම් පුතා රඟපෑමෙන් සමු ගනීද? නෑ. මම දිගටම රඟපානවා. ඒත් අම්මයි තාත්තයි කියන නිර්මාණවල විතරයි. ඔවුන්ගේ කැමැත්ත ඇතිව හොඳ චිත්‍රපටයක් ආවොත් මා ඊට සහභාගි වෙනවා. ඒත් රඟපාන්නේ චිත්‍රපටවල විතරමයි. * ගෙදර තවත් කවුරුද ඉන්නේ? අයියා මනූෂ ප්‍රමුදිත උදය කුමාර, මල්ලි මනුෂ යේෂිත උදය කුමාර. * තව මොනව හරි කියන්න තියෙනවාද? මාව චිත්‍රපටයට තෝර ගත්ත සුගත් මාමාටත්, ගයාන් මාමාටත් මම ස්තුති කරනවා. ඒ වගේම මාව හඳුන්වලා දුන්න සෝමරත්න මාමාටත් මම ස්තූතියි කියනවා. * ඔයාගේ රසිකයන්ට මොනවා හරි කියනවාද? හැමෝටම චිත්‍රපටය බලන්න කියලා මම ආරාධනා කරනවා. බලපු හැමෝටම ස්තුතිත් කරනවා.
|