වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




කපන මණ්ඩලේ පගා ගහලා

කපන මණ්ඩලේ පගා ගහලා

සිනමා නිර්මාණයක රැඟුමන් පිළිබඳ නළු නිළියන්ට, අධ්‍යක්ෂවරයාට වඩා බලයක් හිමි රැඟුම් පාලක මණ්ඩලයේ ලොක්කන්ටයි. ඔහුගෙන් එල්ල වෙන වෙඩි උණ්ඩ තිිරයේ දකින්න ලැබෙන උණ්ඩවලට වඩා නිර්මාණකරුවාට බෙහෙවින් භායනකය.

මෑතකදී භාරතයම කැලඹ වූ පුවතක් වූයේ රැඟුම් පාලක මණ්ඩලයට එල්ල වූ අල්ලස් චෝදනාවයි. එහි ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ රාකේෂ් කුමාර් දැනටමත් මේ හේතුව මත අත් අඩංගුවට ගෙන අවසන්ය. ඉන්දියානු රේල්ලු නිලධාරියකු වූ ඔහු රැඟුම් පාලක මණ්ඩලයට බැඳුණේ මේ වසරේ ජනවාරි මාසයේදීය.

බොහෝ විට පුවත්පත්වල සිරස්තල මැවෙන්නේ රැඟුම් පාලක මණ්ඩලයේ කැපිලි පිළිබඳවයි.

‘ෆයින්ඩිං ෆැනි’ කපන මණ්ඩලයේ නවතම ගොදුරයි. ඔවුන් අධ්‍යක්ෂ හොමි අදජේනියාට පවසා ඇත්තේ සිනමාපටයේ දීපිකා පදුකෝන් අර්ජුන් කපූර්ට ‘මං නොඉඳුල් තරුණියක්’ (වර්ජින්) යන කොටස ඉවත් කරන ලෙසයි. එහෙත් හෝමිගේ තර්කයට අනුව ‘දිල්සෙ’ (1998) සිනමාපටයේදී නොඉඳුල් (වර්ජින්) යන වචනය භාවිත කර තිබේ.

ප්‍රීති සින්තා, ෂාරුක් ඛාන්ගෙන් ඔබ නොඉඳුල් ද කියා අසා ඇත. මෑතකදී තිරගත වූ ‘ටූ ස්ටේට්ස්’ (2014) සිනමාපටයේ ද එවන් අදහසක් පළ කරන වාක්‍යයක් තිබිණි.

කෙසේ වුවත් කපන මණ්ඩලය නැවත නැවත හෝමිගෙන් ඉල්ලා සිටින්නේ එම වාක්‍ය කපා දමන ලෙසයි. ඩිම්පල් කපාඩියාගේ දර්ශනයකට ද මණ්ඩලයේ විරෝධතාව එල්ල වී තිබේ. ඩිම්පල් පවසන්නේ නිරුවත් දර්ශන, හාදු දර්ශන අනුමත කරන කපන මණ්ඩලය තමන් හොඳින් ගත ආවරණය කරගෙන කරන රඟපෑම කපා දමන්නේ ඇයිදැයි නොතේරෙන බවය. ‘මේ මිනිස්සුත් එක්ක කතා කරන්න ඕනෑ’යි ඩිම්පල් පවසන්නේ සිරුරේ උෂ්ණත්වය දෙගුණයකින් තෙගුණයකින් ඉහළ නංවාගෙනය. දිල්ලි බෙලි, මිස් ලව්ලි, දේධ් ඉෂ්කියා, ජිස්ම් 2, රාගිනි එම්එම්එස් 2 වැනි සිනමාපට ගණනකටම කපන මණ්ඩලයෙන් සැනසුමක් නොලැබිණි. අවසන කපන මණ්ඩලය ද අල්ලස් චෝදනා මත කැපිල්ලකට අසු වී තිබේ.