වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




රත්තරන් බඩු දන් දුන්නා කියලා හිත හදා ගන්නවා
නයනා කුමාරිගේ නිවසට හොරු පැනලා

රත්තරන් බඩු දන් දුන්නා කියලා හිත හදා ගන්නවා

මගේ ගෙදරට පැන්න හොරුන්ට මම අනුකම්පා කරනවා
මගේ මංගල මුද්දත් හොරු අරගෙන
රජ මැදුරත් දුගී පැලත් හොරුන්ට එකයි

මේ දවස්වල කලාකරුවන්ට ටිකක් අපලයි. වෙන්නෙම කරදර. නයනා කුමාරිටත් එහෙම නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණපාන්න සිදු වෙලා. ආරංචියේ හැටියට ඇයගේ නිවෙසට හොරු පැනලලු. අප කලාකරුවකුට ඇබැද්දියක් සිද්ධ වුණොත් සරසවිය නිරන්තරයෙන්ම ඔවුන් සමඟ හිටියා. ඒ හින්දාමයි අපි නයනට කතා කරලා මේ පිළිබඳ හොයලා බැලුවේ. ඇය සංවේදීව තමන් මුහුණපෑව ඒ සිදු වීම ගැන කතා කළේ මෙන්න මේ අයුරිනුයි.

* නයනා ඇත්තද ඒ කතාව?

අපේ ගෙදරට හොරු පැනපු එකද?

* ඔව්.

කතාව ඇත්ත.

* කවදාද?

හරියට පසුගිය තුන්වැනි අඟහරුවාදා පාන්දර.

* කොහොමද ඔවුන් ඔබේ නිවසට ඇතුළු වෙලා තියෙන්නේ?

කුස්සියේ දොරවල් කඩාගෙන.

* කවුද ඒ වෙලේ නිවසේ හිටියේ?

මමයි, මහත්තයයි, බබයි.

* ඒ කාටවත් හොරු එන වග දැනුණේ නැද්ද?

එදා පාන්දර මහ වරුසාවක් වැටුණනෙ. වැසසත් එක්ක අපි කාටවත් ඇහැරිලා නැහැ. හොරුත් නිවෙසට ඇතුළු වෙලා තියෙන්නේ මේ සියල්ල ප්ලෑන් කරලා.

* මොනවද ඔවුන් ඔබ නිවසෙන් අරගෙන ගිහින් තියන්නේ?

මගේ ආභරණ සහ තව පොඩි පොඩි බඩු වගයක්.

* ඒවායේ වටිනාකම?

ලක්ෂ තුනක් හතරක් විතර.

* ඊට වඩා වැඩි යමක් අරගෙන ගිහින් නැද්ද?

මගේ ගෙදර මහා ලොකු බඩු භාණ්ඩ නැහැනෙ. තිබුණේ ඒ ටික විතරයි. උන් අරගෙන ගිහිල්ලත් තියෙන්නේ ඒවා.

* ඒ අතර ඔබේ මංගල මුදුවත් තිබුණා කියලා ආරංචියි?

ඔව්. නැති වූ දේවල් අතර මට වැඩියෙන්ම වටින්නේ ඒක. ඒ විතරක් නෙවෙයි මගේ හස්බන්ඩ් මට මුලින්ම අරන් දීපු තෑගිත් හොරු ගෙන ගිහිල්ලා. මම මෙතුවක් කල් ඒවා ආරක්ෂා කළේ පණ වගේ.

* මේ සිද්ධියට සැක කවුරු හරි ඉන්නවද?

අනේ නැහැ.

* සමහර විට ඔබේ ඊර්ෂි්‍යාකාරයෝ . . .?

පිටින් පෙනෙන්න නම් මට එවැනි අය නැත්තටම නැති තරම්. මම මිනිස්සුන්ව ඇසුරු කරන්නේ හරිම පරිස්සමින්. මුහූණට පේන්න හොඳට හිටියට හිත් ඇතුළේ මොනවද තියෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැනේ. ඒත් මම කලින් කිව්වා වගේ මට කිසිම කෙනෙක්ව සැක කරන්නේ නැහැ මේ සිද්ධියට.

* ඔබ එවලේම පොලීසියට මේ ගැන දන්වන්න ඇති?

ඔව්. මම ඒ මොහොතේම එකසිය දහනවය ගහලා මෙය වාර්තා කළා. පොලීසිය මේ වෙන කොට පරීක්ෂණ පවත්වනවා. ඔවුන් හොරුවන්ව හොයා ගනීවි.

* මේ සිදුවිමෙන් පසුව ඔබට යම් ජීවිත අවධානමක් දැනුණේ නැතිද?

දැනුණා. හොඳටම දැනුණා. ඒ හින්දම මේ වෙන කොට නිවසට ආරක්ෂක පද්ධතියක් සවි කළා.

* තවමත් ඔබේ සිත කම්පා වෙච්ච ගමන්ද?

දැන් ටිකක් ෂේප්. මිනිස්සුන්ටනෙ හැම දෙයක්ම වෙන්නේ. අනික මීට වැඩිය කරදර වුණ අය ඕනෑ තරම් ඉන්නවනේ. ඒවා ගැන හිතලා හිත හදාගත්තා. හොරුන්ට රජ මැදරත් එකයි දුගී පැලත් එකයි. තැනක් නොතැනක් නැතුව හොරු පනිනවා. ඒ ගැන හිතලා ආරක්ෂාව ගැන තවත් හොඳින් සැලකිලිමත් වුණොත් හරිනෙ. මේ මොහොතේ හොරුන්ව මට හසු වුණොත් මොනවද දන්නවද කරන්නේ?

* නැහැ?

මම ඔවුනට අනුකම්පා කරලා මුදා හරිනවා.

* ඒ මොකද?

මම පුවත්පත්වල දැකලා තියෙන විදිහට හොරු හොරකම් කරන්නේ නැති බැරිකමට. එදා වේල හොයා ගන්න වෙන්න ඇති අපේ ගෙදරටත් හොරු පැනලා තියෙන්නේ. මේ වෙන කොට සමහර විට මගේ ආභරණ විකුණගෙන දරුවන්ට පාන්, පරිප්පු ගෙනිහිල්ලා දීලා ඇති. ඒක හින්දායි මම ඔවුන්ට අනුකම්පා කරනවා කිව්වේ.

* ඔබ මෙවර පොසොන් පොහොයට දන්සැලක් සංවිධානය කරන්න හිතාගෙන හිටියා. මේ අලකලංචිය මැද ඒ පුණ්‍ය කටයුත්ත සිද්ධ වෙනවද?

අනිවාර්යයෙන්ම කරනවා. මොන දේ වුණත් මම කරන පින් අතේ වැඩ අත අරින්නේ නැහැ. මම කලික් කිව්වා වගේ මගේ රත්තරං බඩුත් දන් දුන්නා කියලා හිතනවා. එහෙම බලද්දී මම දන්සැල් දෙකක් දීලා.

* නයනගේ අඹ යාළුවා ගයාත්‍රි ඔබේ නිවසට හොරු පැනලා කියලා දැනගත්තාම මොනවද කිව්වේ?

ඇයටත් හරි දුකයි. ගයාත්‍රි දන්නවා මම මුදල් හම්බු කරන්නේ මගේ සැලොන් එකෙන් මගේ මහන්සියෙන් කියලා. වෙනදා වගේම මේ වෙලාවෙත් ඇය මාත් එක්ක හිටියා. මගේ හිත හැදුවා.

* මේ සිදුවීමත් එක්ක ඔබ ගැන තවත් සාවද්‍ය තොරතුරු පළවන්නට ඇති?

මොකද නැත්තේ. මගෙන් අහන්නේ නැතුව මේ සිද්ධිය ගැන නොයෙකුත් මාධ්‍යවලින් වාර්තා කරලා. එක පුවතක සඳහන් වෙලා තියෙනවා මගේ නිවෙසින් හොරු ලක්ෂ දොළහක් අරගෙන ගිහින්ලු. මේවා දැකලා හොරු මාව හොයාගෙන එයි අපේ ගෙදර ලක්ෂ දොළහක් තිබුණේ කොහෙද කියලා අහගන්න. මම අපේ හිත මිත්‍රයින්ගෙන් ඉල්ලීමක් කරනවා මගෙන් අහන්නේ නැතුව මේ සිද්ධිය ගැන කිසිම විස්තරයක් පළ කරන්න එපා කියලා.