වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ජයවීර හෝටලයෙන් රඟපෑම් ඉගෙන ගන්න ඇවිත්

ජයවීර හෝටලයෙන් රඟපෑම් ඉගෙන ගන්න ඇවිත්

නිමල් කරුණාතිලක

නිර්මාණයක් යනු සාමූහික කටයුත්තකි. එහි පිටුපස බොහෝ දෙනෙකුගේ ශක්තිය දහඩිය ගැබ්ව තිබේ . නිර්මාණයකදී ඇතැමුන්ගේ රුව අප දකිනමුත්, ඇතැමුන් කිසිදු දිනක කරළියට පැමිණෙන්නේ නැත.

Behind the Scene ඒ නොදකින පංගු කරුවන් සොයායන අපූරු චාරිකාවකි.

Behind the Scene තුළින් අද අප හඳුන්වා දෙන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ ශිල්පියකු ලෙස කටයුතු කරන යූ.ඩී.නිමල් කරුණාතිලකයි.

නිමල් ඔබ මේ ක්ෂේත්‍රයට යොමුවුණු අයුරු මතක් කරමින් අපේ කතාබහ අරඹමු ?

අපේ ගෙවල් කුරුණෑගල. මම පාසල් ගියේ කුරුණෑගල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහා විද්‍යාලයට. පාසල් කටයුතු අවසන් වෙලා රැකියාවක් සොයා ගැනීමේ අදහසින් බලංගොඩ නැන්දලාගේ ගෙදර ගියා. එහෙ නැවතිලා ජයවීර හෝටලයේ වේටර් කෙනෙක් හැටියට වැඩ කළා. ඒ කාලේ ඉදල පුරුද්දක් හැටියට සරසවිය පත්‍රය බලනවා. මේ පත්‍රයේ පලවෙලා තිබුණා නිශාන්ත අල්විස් මහතා නළු නිළියන් පුහුණු කරන පාඨමාලාවක් ආරම්භ කරනවා , ඒකට කට්ටිය බඳවා ගන්නවා කියලා. ඒ අනුව රංගනය පිළිබඳ හදාරන්න මමත් මෙතනට සම්බන්ධ වුණා. මාස හයක පාඨමාලාව ඉවර වෙලා සුපුරුදු රැකියාව කරගෙන හිටියා. මාස දෙකකට පස්සේ මට ලියුමක් ආවා නිශාන්ත මහත්තයගෙන්, ආදරණීය අම්මා කියන ටෙලියේ රඟපාන්න අවස්ථාවක් තිබෙනවා හැකිනම් සහභාගි වෙන්න කියලා. ඒ අනුව මම සුළු චරිතයක් රඟපාන්න සහභාගි වුණා. මීට අමතරව කාර්මික ශිල්පීන්ටත් මට හැකි උපරිමයෙන් උදව් කළා. මෙන්න මෙහෙම තමයි මම කලාවට යොමු වුණේ.

රංගනය පැත්තට යොමු වුණු ඔබ අද වනවිට ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ ශිල්පියකු ලෙස කටයුතු කරනවා. ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නේ?

මේ ටෙලියෙන්ම තමයි කාර්මික ශිල්පියෙකු වශයෙනුත් කටයුතු කළේ. ටෙලියට කාර්මික ශිල්පීන් අරගෙන තිබුණේ කළුබෝවිල ආර්.එස් වීඩියෝ ආයතනයෙන්. රෙකෝඩිස් විදිහට කටයුතු කළේ චන්දන මංචනායක මහත්තයා. මෙතුමා මගෙන් ඇහැව්වා දිගටම අපිත් එක්ක වැඩ කරන්න කැමැතිද කියලා. මමත් කැමැති වුණා. මාව ඒ ආයතනයට බඳවා ගත්තා. වසර හයක් වැඩ කළා. ලයිටින්, බූම් ඔපරේටර් රෙකෝඩිස් වශයෙන් කටයුතු කළා. චන්දන මංචනායක, සුජිත් නිශාන්ත මහත්වරු මගේ ගුරුවරු. අද වෙනකොට මම රෙකෝඩිස් ලෙස වැඩ කරන්නේ සිනේ ලින්ක් ආයතනයේ.

ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ ශිල්පියකු ලෙස පළමුවෙන් කටයුතු කළ ටෙලිය කුමක්ද?

වසූදා ටෙලියෙන් ආරම්භ කළේ , දැනට ටෙලි 35ක වැඩ කර තිබෙනවා.

නිමල් , ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ ශිල්පියකු ලෙස ඔබට පැවරෙන වගකීම කුමක්ද?

බාහිර ශබ්ද නොඇසෙන පරිදි ටෙලියට අවශ්‍ය දෙබස් පැහැදිලිව පටිගත කීරීමයි. රූ ගැන්වීමේදී ඒ දර්ශනය කිහිප දෙනෙක් බැලුවත් ශබ්දය අසන්නේ මම විතරයි. ඒ නිසා අවශ්‍ය ලෙස පටිගත කිරීමක් සිදුනොවුණොත් සම්පූර්ණ වගකීම මා සතුයි.

ඉදිරි සැලසුම් හා අනාගත බලාපොරොත්තුව කුමක්ද?

මට ඉලක්ක දෙකක් සපුරා ගැනීමට තිබෙනවා. ඉන් එකක් වෙන්නේ හොඳ කැමරා ශිල්පියෙකු වෙන්න. අනෙක තමයි ගායකයෙකු ලෙස කරළියට එන්න. මේ දෙකටම අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් ඉන්නේ. දැනට මම අසේල ඉන්ද්‍රලාල් මහතා යටතේ ගායනය පැත්ත හදාරනවා. ගීත තුනක නිර්මාණ කටයුතු අවසන්. තවත් කිහිපයක වැඩ කරමින් ඉන්නේ මේ සඳහා අවශ්‍ය කටයුතු කරන්න මට උදව් කරන්න කෙනෙක් හෝ ආයතනයක් කැමැති නම් මගේ දුරකථන අංක 0776270639 කතා කර මට උපකාර කරන්න.

වසර 11ක් මේ ක්ෂේත්‍රයේ නොයෙක් විෂයවලට බද්ධව කටයුතු කරමින් සිටින ඔබට සිදුවුණු අමතක නොවන සිදුවීමක් ගැන කියමු?

මල්කැකුළක් ඉකිබින්ඳ ටෙලියෙ මම වැඩ කළේ බූම් ඔපරේටර් වශයෙන්. රෙකෝඩිස් හිටියේ සුජිත් නිශාන්ත. එයාට අවශ්‍ය ලෙස බූම් එක හසුරුවන්න බැරි වුණු නිසා හැමෝම ඉදිරියේ මට බැන්නා. මගෙ හිත රිදිලා ලොකේෂන් එකෙන් යන්න යනකොට ට්‍රැක් ඔපරේටර් වශයෙන් කටයුතු කළ පාලිත ගොඩගේ මහත්තය ඇවිත් කිව්වා ඕව ඔච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි අපි වැඩ කරමු කියලා මගේ හිත හැදුවා. එදා පාලිත මහත්තයා නොහිටින්න අද මම මේ ක්ෂේත්‍රයේ නැහැ. මේ සිදුවීම මට කවදාවත් අමතක වෙන එකක් නැහැ.

මේ ගමන්මගේ මේ තාක් එන්නට ඔබට නන් අයුරෙන් උපකාර කළ සැවොම මතක් කරමු?

මගේ මව්පියන් ඇතුළු පවුලේ සවොම, බලංගොඩ ශ්‍රියාණී නැන්දා, මාම, නංගිල දෙන්නා, ජයවීර හෝටලේ අයිතිකරු ජයවීර මහත්තය ඇතුළු පවුලේ සැවොම, සිනේලින්ක් ආයතනයේ සැවොම, චන්දන මංචනායක, සුජිත් නිශාන්ත, අසේල ඉන්ද්‍රලාල්, පාලිත ගොඩගේ යන මහත්වරු සැමට ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා.