වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




උඩින් පේන දේ නෙවෙයි යට තියෙන්නෙ

උඩින් පේන දේ නෙවෙයි යට තියෙන්නෙ

කෝරලේ මහත්තයා වේදිකාවට ගෙනෙන පිනා සොයා රන්මිහිතැන්න ගං තෙරට යමු

පිනා මනාලෙස මට ගැළපුනා

ජූනි 14 දා වේදිකාවට

පොසොන් සඳ අහසට ඇවිත්. පිනා උන්නෙ ගඟ අයිනෙ. හඳ එළියෙ ගඟේ කෙළවරේ ඔහේ කරබාගෙන උන්නු පිනා හොයාගෙන මුදලාලිත් රෑ තිස්සෙ අවදි වෙලා. කදිර ගොයියා, කෝරලේ මහත්තයා, මැණිකෙ රන්මිහිතැන්නෙ අස්සක් මුල්ලක් නෑර පිනා හොයනවා. ඒ මදිවට නඟාලා ටිකත් ඇවිල්ලා. කොහොමිං කොහොම හරි ඉස්සෙල්ලම පිනා දැක්කෙ කෝරලේ මහත්තයා.

“අහවල් එකක් කරනවද මේ රෑයාමෙ ගඟ අද්දර”

“මං මේ පුංචි වැඩ පොඩිත්තක් කරනවා ඔන්න”

පිනා කිව්වෙ කහට පිරුණු දත් දෙක උල් කොරං. හඳ එළියෙ මුලින්ම පෙනුණෙ පිනාගෙ දත් දෙක විතරයි.

“මොකෝ කොරන්නෙ. කොරන දෙයක් අර එළි පහළියට ගිහිං කොරහං...”

“මං මේ කල්පනාවෙ හාමුදුරුවනේ”

“අහවල් එකක් ගැනද ඔය තරං කල්පනාව“

“ජුනි 14 වෙනිදා නොවැ... වැඩේ”

“මොන වැඩේද බොලං...

ඇයි කෝරලේ මහත්තයාට මතක නැතෙයි. අපේ කෝරලේ මහත්තයා වේදිකා නාට්‍යය එනවා නොවැ ටවර් රඟහලට හවස හයහමාරට.

අප්පොච්චේ ඒක නිච්චි නැතිවෙච්ච හැටි. කෝරලේ මහත්තයා කිව්වෙ ඇස් ලොකු කරං.

“ඔය විස්තරේ හැමෝටම දැනගන්න මුල ඉඳන් කිව්වනං නේද හොඳ පිනා.”

කදිරා කිව්වෙ තුවක්කුව බිම තබන ගමන්.

“ඕං එහෙනං මං කියන්නංකො කතාව. ඉඳගනිල්ලකෝ. මෙහෙමයි. රන්මිහිතැන්නෙ කොරලේ මහත්තයා හැදුවෙ අපේ පද්මසිරි කොඩිකාර මහත්තයනෙ. පිටපත ලියුවෙ ශ්‍රී නිමල් පද්මකුමාර. දවසින් දවස මේ ටෙලි නාට්‍යය ජනපි‍්‍රය වුණානෙ. ඒ බව තමුන්ලා දන්නවනේ. ඕං ඉතිං එක දවසක් කොඩිකාර මහත්තයා මට කියපි ‘මේක වේදිකා නාට්‍යයක් කොරානං නියමයිනෙ’ කියලා. මේ කාරණේ අපි දෙන්නා මීට ඉස්සරත් කතා කොරලයි තිබුණෙ. මමත් ඉතිං එක පයින්ම යෝජනාවට කැප වුණා. කොඩිකාර මහත්තයා මේකෙ දර්ශන පෙළක් ලියන්නෙයි කියලා මට බාර දුන්නා. දර්ශන පෙළ ලියලා ඉවරවුණු ගමන්ම එතුමා මගෙන් ඇහුවා පිටපත ලියමුද කියලා. මං පිටපතක් ලියුවා කියමුකෝ. පස්සෙන් පහු එතුමා ඇහුවා මේක අධ්‍යක්‍ෂණය කරන්නත් ඔයාට පුළුවන්නෙ කියලා. මං ඉතිං දෙපාරක් නොහිතා හාං කිව්වා.

වේදිකා නාට්‍යයකට ටෙලි නාට්‍යයේ ඉන්න චරිත ඔක්කොම ගන්න බෑ නොවැ. ඒ හින්දා චරිත හයක් තෝරගත්තා. කෝරලේ මහත්තයා, මැණිකෙ, පිනා, හීන් එතනා, කදිරා, කයිතං මේ උන්දැලා හය දෙනා දිගේ තමයි කතාව ගෙතෙන්නෙ.

සන්තෝසෙන් හිත පිරිලායි තියෙන්නෙ. කොඩිකාර මහත්තයා තමයි මේ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරන්නෙ. වචන දෙකක් නෑ එතුමා මට නිර්මාණෙ බාරදීලා සන්තෝසෙන් බලං ඉන්නවා.

ඒ සතුට තමයි මං මේ කට්ට කළුවරේ ඉඳන් වින්ෙඳ.

හොඳයි එහෙනං කියමුකෝ බලන්න මේකෙ මොන වගේ කතාවක්ද තියෙන්නෙ කියලා?

ඒ පාර ප්‍රශ්නෙ මුදලාලිගෙං.

මුදලාලි අපි මෙදා නිර්මාණය කොරන්නෙ සුදු ආණ්ඩුව ගැන කතාවක්. ප්‍රහසනය ඇතුළෙ ගැඹුරක් තියෙන කතාවක් තමයි මෙදා වේදිකාවට ගේන්නෙ. හරියට මේ ගඟ වගේ. උඩින් පේනදේ නොවෙයි යට තියෙන්නෙ. ඒ හන්දා මේක ටිකක් වෙනස් අත්දැකීමකුත් වේවි කියලා විශ්වාසයි. කෝරලේ මහත්තයා බලපු හැමෝටම ඒ ආදරේ කරන චරිතවලින් කීපදෙනෙක් එදාට දකින්න පුළුවන් වේවි. ඒ හන්දා කෝරලේ මහත්තයා බලන ආදරේ කොරන හැමෝම මේක බලන්න ඒවි.

ටෙලි නාට්‍යයේ හිටිය හැමෝම අරං වේදිකා නාට්‍යයක් කොරන්න බැරි හන්දා තමයි චරිත හයක් තෝරාගෙන පිටපත ලියුවේ. ඕං අනෙක් ඈයෝ එක්ක තරහකටනං නෙවෙයි.

අපිව බලන්න කට්ටිය එයි නේද පිනා.

මැණිකෙ කතාවට එකතු වුණේ ඈත දෙමට ගහ ළඟ ඉඳලා.

“නැතුව මැණිකෙ...අද අපේ රටේ අරුත්බර නිර්මාණවලට ලොකු තැනක් තියෙනවා. ඒ වගේම කලාවට ආදරේ කොරන සංවේදීම පිරිසක් තමයි මේ නාට්‍යය බලන්න එන්නෙ. ඒ වගේම රන්මිහිතැන්නෙ කෝරලේ මහත්තයා හැමෝටම හුරුයි පුරුදුයිනෙ. ඒ හින්දා ඉතිං හැමෝම ඒවි කියලා හිතෙනවා අපි බලාන යන්න.

“ටෙලි නාට්‍යයක් වේදිකාවට එනවා කියන්නෙ මාර වැඩක්නෙ... හීන් එතනත් ඇවිත් කළුවරේම...

ඒකනං එහෙම තමයි. ලේසියක්, පහසුවක් වගේම අපහසුවකුත් තියෙනවා. මොකෝ ටෙලි නාට්‍යයේ ඉන්න හැමෝමලා වේදිකාවට ගේන්නත් බැහැ. ඒ ඒ චරිත නැතුව කතාව ගලාගෙන යන්න ක්‍රමයක් හදන්න තියෙන්නෙ හැබැයි ඉතිං ;ම්ක මෑත කාලෙ අලුත් අත්දැකීමක්.

දැන් කොහොමෙයි ටෙලි නාට්‍යයේ වැඩ අස්සෙ රට වටේ යන්නෙ. කයිතං ට සිහිය ආවෙ දැං....

මෙහෙමනේ. අපි ටෙලි නාට්‍යය කළේ කාල සටහනකටනේ. ඒ හින්දනේ නාට්‍යය සාර්ථක වුණෙත්. මේකත් එහෙමයි. කාල සටහනකට අනුව තමයි වැඩේ සිද්ධ වෙන්නෙ. කොඩිකාර මහත්තයත් එක්ක සාකච්ඡා කරලා අපි සාර්ථක ගමනක් යන්න තමයි සැලසුම් කරලා තියෙන්නෙ.

මේ වෙද්දිත් රටේ එක එක තැන්වලින් නාට්‍යයට ආරාධනාත් ඇවිල්ලා තියෙනවා. එකමුතුවෙන් වැඩේ කොරං යං.

මේකෙ ඉන්න කට්ටිය ගැන කියන්නංකො දැනගන්න.

ආයෙත් මුදලාලි...

“අපේ විජේරත්න වරකාගොඩ මහත්තයා තමයි පුරුදු ලෙසට කෝරලේ මහත්තයට පණ දෙන්නෙ. එතුමාට ඉතිං වේදිකාව අතිශය හුරු පුරුදු තැනක්. අනෙක කෝරලේ මහත්තයා චරිතයත් එතුමාට ඉතාමත් සමපයි. මැණිකෙ ලෙසට රඟපාන්නෙ ශි‍්‍රයාණි මහවත්ත. ඇයත් ලංකාවෙ කලාව ඇසුරු කරන ඇත්තෝ හොඳින්ම දන්නවා. හීන් එතනා විදියට කරළියට එන්නෙ නිමාෂා ද සිල්වා. කයිතං ගාමිණී සිල්වා. කදිරා ඉතිං කවදත් අපේ හිතවත් වසන්ත කුමාරවිල. හැමදාමත් ඉතිං පිනා මං...

මොකෝ පිනා වෙච්ච එක දුකයිද?

හීන් එතනා පිනා දිහා බැලුවෙ කළුවර අස්සෙන්.

හප්පේ නෑ. මං පිනා වුණේ අපේ උත්තරීතර රංගන ශිල්පී ගැමුණු විජේසූරිය සූරීන්ට පස්සෙ. එතුමා රඟපෑ චරිතය තමයි මං පස්සෙ හඬ කැව්වෙ. ඒ අතර තුරේ කොඩිකාර මහත්තයගෙ ඇඳුනුම් කමට ශ්‍රී නිමල් මහත්තයා එක්ක එකතු වෙලා ටෙලි නාට්‍යය හදන්න මූලික වුණේ. මං හරියටම වසර විසි පහක විතර ඉඳලා පිනාව ආශ්‍රය කළා. පිනා මනාලෙස මට ගැළපුනා. ඇතතටමපිනාවගේ චරිතයක් ලැබිච්ච එක වාසනාවක්. ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න ලැබිච්ච එක ඊටත් වඩා වාසනාවක්.

ඉතිං මහරෑ වේගනත් එනවා. තව මොනවැයි.

“තව මුකුත් නෑ නොවැ. ජුනි 14 වෙනිදා හවස 6.30 ට ටවර් රඟහලේ තමයි අපේ වැඩේ තියෙන්නෙ. මේක අපි හැමෝගෙම දහදිය, මහන්සිය එකතුවෙලා තුනුනු අමුතු වැඩක්. එදාට කෝරලේ මහත්තයා ටෙලි නාට්‍යයට ආදරේ කරන බොහෝ දෙනෙක් එතනදි හමුවේවි කියලා මං විශ්වාස කරනවා. හරිනේ....

පිනා අයෙත් ගඟ දිහා බලාගෙන සඳ දියේ දඟ කරන දිය රැලි ගනින්න පටන් ගත්තා. හාත්පසම කළුවරෙන් වැහිලා. සත්තු කෑගහන සද්දෙත් එන්න එන්නම වැඩිවෙනවා.

“යං....දැන් ගම්මානෙට ගෙහුං කහට ඩිංගිත්තක් බීලා නිදාගමු...ඉක්මනටම 14 වෙනිදා ඒවි... ඉවසපල්ලා... ඉවසපල්ලා....

වෙද මාමා කතාවට එකතුවුණේ මැද හරියෙදී....

ඇත්ත 14 වෙනිදා ඉක්මනට ඒවි....

අද 12 වැනිදා..

උතුම් පොසොන් පෝයදා...