වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ලාස් ෆොන් ට්‍රයර්-සීමාරහිත ආශා සමඟ ජීවිතයේ පැතිකඩක්

ලාස් ෆොන් ට්‍රයර්-සීමාරහිත ආශා සමඟ ජීවිතයේ පැතිකඩක්

වැහි බිඳු බිඳු එකිනෙක ඇද වැටෙයි. ගඩොල් ඇතිරූ බිත්ති තෙමාගෙන රූරා වැටෙන ජලය මහ පොළවට පතිත වේ. මහළු මිනිසෙකු සිය නවාතැනින් නික්ම වෙළඳසැලකට ළඟා වෙනු අපට පෙනේ. ඔහු පාන් ගෙඩියක් ගෙන එළියට බසිද්දී දකිනුයේ ගැහැනියක් බිම වැටී සිටින අන්දමය. පළමුව අපට ඇය පෙනෙනුයේ අනතුරකින් මිය ගිය කාන්තාවක හැටියටය. ආගන්තුකයා ඇය වෙත නැඹුරු වෙයි. ඇය මිය ගොස් නැත. ඇයගේ දෑස විවර වෙයි.

මේ වූ කලී කාණ්ඩ දෙකකින් මෙන්ම පැය හතරක සමස්ත ධාවන කාලයකින් යුත් නිමිපොමේනියා චිත්‍රපට ඇරැඹෙන අයුරුය.

අවුරුදු විස්සේදී සමාජවාදියකුව නොසිටින්නාත් හතලිහේදී සමාජවාදියකුව සිටින්නාත් යන දෙදෙනාම එක හා සමාන මෝඩයන් ලෙස සළකනු ලබති. දේශපාලන අර්ථයන්ගෙන් ගත් කළ පමණක් නොව පොදු සාමාන්‍ය ජීවිතයේදී ද එය පොදු කරුණක් වෙයි. වයස විස්සේදී මුළු ලෝකයම ගමන් ගන්නා ක්‍රමය වැරැදි යැයි සිතා එය වෙනස් කළ යුතු යැයි සිතන බොහෝ දෙනා අවුරුදු හතළිහ වන විට ලෝකය එතුවක් ගමන් කළ ආකාරයටම එකතුª වී සිටිති. ගුණදාස අමරසේකරයන්ගේ ගත්ධබ්බ අපදානය කෘතියේදී මේ ‘සන්තෑසිය’ මනාව විග්‍රහ කරන්නේය.

තවදුරටත් සුපිරි තරු හෝ චිත්‍රාගාර අනවශ්‍ය බැව් පෙන්වා දෙමින් බයිසිකල් තීව්ස් චිත්‍රපටය හරහා සිනමා ලෝකයේ අමරණීය නිර්මාණයක් බිහි කළ විට්ටෝරියා ඩි සිකා දශකයක් ගත වන්නට මත්තෙන් සොෆියා ලොරෙන්, මර්සෙලෝ මන්ත්‍රොසියාන් ආදී සුපිරි තාරකා යොදා ගනිමින් සන්ෆ්ලවර් චිත්‍රපටය නිර්මාණය කළේය. හැටේ දශකයේ බිහි වූ ප්‍රංශ නව රැල්ල සම්ප්‍රදායන් බිඳ හෙලන්නට පටන් ගත්තේ එතෙක් පැවැති සිනමාව අප්පොච්චිලාගේ සිනමාව යැයි හෙළා දකිමිනි. එහෙත් දශකයක් ගත වන්නට මත්තෙන් ඔවුහු සම්ප්‍රදායන්ගේ මහප්පලා වූහ. ලාස් ෆොන් ට්‍රයර් නම් සිනමාකරුවා අයත් වනුයේ ද මේ ගණයට යැයි අමුතුවෙන් කිව යුතු නොවේ. ලාස් ෆොන් ට්‍රයර් 1995 වසරේදී ‘ඩොග්මා’ 95 සිනමා සංකල්පය හරහා ලෝකයේ අවධානය දිනා ගත්තේය. එදවස ඩෙන්මාර්කයේ බිහි වූ ඩොග්මා සංකල්පය ලෝක සිනමාවේ අලුත් ඉසව් සොයන ගැටවරයන්ට මහත් ආශ්වාදයක් ගෙන දුන්නේය.

ඩොග්මා 95 යනු කලාවේ නව මං සොයන සිනමාකරුවන්ගේ එකතුවෙන් තැනුණු සිනමා ව්‍යාපාරයක් විය. එහි නිර්මාතෘවරුන් වනුයේ ලාස් ෆොන් ට්‍රයර් සහ තෝමස් වින්ටර්බර්ග් දෙදෙනාය. ඒ වන විට ට්‍රයර් 39 වියේ පසු වූ අතර වින්ටර්බර්ග් 26 හැවිරිදි වියේ පසු විය. මේ වන විට ට්‍රයර් කැපී පෙනෙන සිනමාකරුවකුව සිටියේය. ඔවුහු සිය ඩොග්මා 95 සංවිධානය යටතේ සිනමාවේ සම්මත කතා, රඟපෑම් හා තේමාවන් සියල්ල ප්‍රතික්ෂේප කළහ. සංගමය සඳහා නිශ්චිත රටක සිනමාකරුවන් අයත් නොවූව ද එහි ප්‍රතිපත්ති මාලාව ගරු කරන ලොව ඕනෑම සිනමාකරුවකුට එහි සාමාජිකත්වය දැරිය හැකිව තිබිණ. ඒ අනුව දර්ශන තලය සඳහා පරිබාහිර සැරසිලි නැත. තෝරා ගත් දර්ශන තල උපයෝගි කර ගන්නවා විනා පිටස්තර කිසිවක් එයට ගෙන එන්නේ නැත. ශබ්දය උපයෝගි කොට ගන්නේද දර්ශන තලයෙන්මය. චිත්‍රපටය සහමුළුන්ම රූ ගත වන්නේ හස්තගත කැමරාවෙන් පමණි. කෘත්‍රිම හෝ අස්වාභාවික ආලෝක භාවිතයක් නැත. එමෙන්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයෙකුගේ නම සඳහන් වනුයේ නැත. එහෙත් ඩොග්මා 95 ආරම්භයේම එහි නිර්මාතෘවරුන් පවා තමන්ගේ න්‍යායන් උල්ලංඝණය කළහ. ඒ අනුව ද සිලබරේෂන් නම් වින්ටර්බර්ග්ගේ චිත්‍රපටයේදී කෘත්‍රිම ආලෝකය භාවිතා කළේය. ට්‍රයර් දි ඉඩියට්ස් චිත්‍රපටයේදී සංගීතය භාවිත කළේය. කෙසේ හෝ වේවා දස වසරක් ගත වන විට ට්‍රයර් සහ වින්ටර්බර්ග් යන දෙදෙනාම එම ප්‍රතිපත්තියෙන් බැහැර වූහ.

ලාස් ෆොන් ට්‍රයර් ගේ පියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදියකු වූ අතර මව කොමියුනිස්ට් පාක්ෂිකාවක වූවාය. එමෙන්ම ඔවුන් දෙදෙනාම නිරුවත් සමාජයක සාමාජිකයෝ වූහ. එබැවින් ළමා කාලයේම එබඳු කඳවුරුවල අත්දැකිම් ලාස් ෆොන් ට්‍රයර් අත් වින්ඳේය. මාපියන් ආගම් ඇදහීමක් නොකළ අතර ට්‍රයර් ගේ ළමා විය නිදහස් මතයන් සමඟ හැදුණු එකක් විය. ඔහුගේ මුල් නම ලාස් ට්‍රයර් වන අතර ෆොන් යන නාමය යොදා ගත්තේ විශිෂ්ට ඝණයේ සිනමාකරුවන් වන එරික් ෆොන් ස්ට්‍රොහෙයිම් සහ ජොශෙෆ් ෆොන් ස්ටර්න්බර්ග්ට ගෞරවයක් හැටියටය.

තම සිනමා නිර්මාණයක් සඳහා ස්ට්‍රොහෙයිම් සහ ස්ටන්බර්ග් සෘජුව බලපෑ බව ඔහු නිතර කියා සිටියේය. එමෙන්ම ලාස් ෆොන් ට්‍රයර් ගුවන් යානා සඳහා අසීමිත භීතියෙන් පෙලෙන්නෙකි. එබැවින්ම ඔහුගේ චිත්‍රපට සියල්ල රූ ගැන්වනුයේ ඩෙන්මාර්කයේ සිට ගොඩ බිමින් ගමන් කළ හැකි ස්ථානවල පමණි. වර්තමානයේ ලොව සිටින විශිෂ්ට ඝණයේ සිනමාකරුවකු ලෙස සලකනු ලබන ෆොන් ට්‍රයර්ට 1997 වසරේදී ඩෙන්මාර්ක රජය මඟින් පුරවැසියකුට පිරිනමන ඉහළම සම්මානය පිරිනැමුවේය. එහෙත් දස වසරක් ගත වන්නට මත්තෙන් ඩෙන්මාර්ක රජ පවුලට විරෝධය දැක් වූ ඔහු එම නම්බු නාමය ආපසු හරවා යැවීය.

නිම්ෆොමේනියා යනු මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ අතිශය ශෘංගාරාත්මක කාම රංගයන් ඇතුළත් වර්ගයේ චිත්‍රපටයකි. එහි ප්‍රධාන චරිතය නැතහොත් ජෝ මේ ලිපිය ආරම්භයේදී බිම ඇද වැටී සිටින ගැහැනියයි. මේ චිත්‍රපට මාලාව ට්‍රයර් විසින් හඳුන්වා දෙන ලද්දේ පරිහානියක සිනමා ත්‍රිත්වය ලෙසය. එකිනෙකට සමීප නොවන්නේ නමුදු ලාස් ෆොන් ට්‍රයර් විසින් නිර්මාණය කරන ලද ඇන්ටික්‍රිස්ට් (2009) සහ මෙලන්වෝල්ෂා (2011) යන චිත්‍රපට යුගලයන්හිම තවත් දිගුවක් ලෙස ඔහු එය හඳුන්වයි. මේ චිත්‍රපට ත්‍රිත්වයේම ක්ලෙයාර් හා ජෝ යන නාමයන්ගෙන් යුතුව වැඩිහිටි චරිතය රඟනුයේ චාලට් ගේන්ස්බරෝයි. නිම්ෆොමේනියා චිත්‍රපටය පුරා ජෝ නම් ගැහැනිය අවිවාහක මහල්ලකු වන සෙලිග්මන් ඉදිරියේ දිග හරිනුයේ සිය අතීත දිවිය පිළිබඳවය.

සෙලිග්මන්ග්ගේ ආදරය දිනූ සුප්‍රකට ඉංග්‍රීසි ලේඛක අයිසැක් බෝල්ටන්ගේ ද කමිප්ලීට් ඇන්ග්ලර් කෘතිය මෙන්ම බිත්තියේ එල්ලා ඇති බිලී කොක්ක ජෝ ගේ වෘතාන්තයට මානයක් ගෙන එන්නේය. එය ඉතා ශෘංගාර එකකි. ළමා වියේ සිට ඇතිවන කුතුහලය සමඟ ඇය පෙළඹෙනුයේ ජීවිතය සොයා යන්නටය. නිමක් නැති මිනිසුන් සමඟ සම්මත සාධු චරිතයන් ඉක්මවා යන ඇය ජීවිතය කේන්ද්‍ර කොට ගත්තේ ඇයගේ නොතිත් ආසාවන් සන්තර්පනය සමඟය. ඇතැම් අත්දැකීමක් ඉතා බිහිසුණුය. එයට තැනක් පොලක් නොමැත. ළමා වියේ සිට වර්ධනය වන ඇගේ ආසාවන් හමුවේ එය මෙල්ල කරන්නට මනෝ විද්‍යාඥයකු වෙත යොමු කෙරුව ද එයින් මෙල්ල වන්නට ඇය අකැමැතිය. මේ වෘතාන්තය ඇය දිග හරිනුයේ මුළු රැය පුරාය. එය එක් අතකින් අරාබි නිසොල්ලාසය බඳුය. ඇයගේ වෘතාන්තය අසා සිටින මහල්ලා අත්දකින්නේ කුමක්ද?

ක්‍රියාශිලී ගැහැනියකගේ ලිංගික ජීවිතය පිළිබඳ වෘතාන්තය අසා සිටින මිනිසුන් එයින් කම්පනයට පත් වන්නේය. ජෝ විසින් පවසන පරිදි ඇය නරක මානව ගති ඇත්තියකි. මහල්ලා විසින් ඇය ඔහුගේ නිවහනට ගෙන යනු ලබනුයේ පොලීසිය සහ වෛද්‍යවරයකු හමුවීම ඇය ප්‍රතික්ෂේප කරන කල්හිය. මේ චිත්‍රපට වෘතාන්තය අරාබි නිසොල්ලාසය බඳු එකිනෙකට යා වෙන සිද්ධි මාලාවක් එළිදරව් වනුයේ මහළු සෙලිස්ටන් ඇගේ කතාව නොකඩවා අසා සිටින්නට අභිරුචියක් දක්වන්නට පටන් ගැනීමත් සමඟය. ඔහු ජීවත් වනුයේ පූජකයකුට හා සමාන දිවි පෙවෙතක් ගත කරමිනි. එහෙත් ජීවිතය නිරාවරණය කරනුයේ අපට යමක් ඉතුරු කරමිනි.

ඩෝග්මා 95 චිත්‍රපට සංස්කෘතිය අනුක්‍රමයෙන් බැහැර කරන ට්‍රයර් චිත්‍රපටය පුරා ගෙන එන නළු නිළියන් බහුතරය සුප්‍රකට සිනමා තාරකාවන්ය. තවදුරටත් හස්තගත කැමරාව පමණක් ඔහුගේ රූපය ගොඩ නැගීමට ප්‍රමාණවත් නොවේ. මිනිසුන්, මිනිසුන්ගේ හැඟීම් අතර සිර කර ගනු ලබයි. එයින් එහා ජීවිතය දෙස එබී බලන්නට ලාස් ෆොන් ට්‍රයර් උත්සුක වෙයි. එහෙත් අප ජීවිතය දෙස දකිනුයේ සමස්ත ජීවිතයම නොවේ. එබැවින් එය උපේක්ෂා සහගතව විඳ ගත යුතුය. තමා විසින්ම අනුදත් සිනමා න්‍යායන් බිඳ හෙලමින් ගොස් ෆොන් ට්‍රයර් පවසනුයේ ද එයයි.