වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ටෝච් එකෙන් ගත්ත පින්තූර පෙළක්

ටෝච් එකෙන් ගත්ත පින්තූර පෙළක්

ඉන්ද්‍රනාථගේ ආලෝක පින්තාරු හෙට සිට 16 දක්වා

ඉන්ද්‍රනාථ තේනුවර ලංකාවේ ඡායාරූප කලාවේ සුවිශේෂ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ නිර්මාණකරුවකු යයි කීම වරදක් නොවෙයි. දිනෙන් දින දියුණු වන ඡායාරූපකරණයේ තාක්ෂණය සහ ඒ ඒ තාක්ෂණික භාවිතාව පිළිබඳ ගවේශණශීලී බුද්ධියකින් පරිණත වූ ඉන්ද්‍රනාථ වෙනස්ම ආකාරවල ප්‍රදර්ශන සමඟින් නිබඳවම අප හමුවෙයි.

මෙවර ඉන්ද්‍රනාථ අපට ලබා දෙන්නේ ආලෝක පින්තාරුය. සියළුම ස්ථාන ගෘහස්ථ විදුලි පන්දම්වලින් ආලෝකමත් කළ ලොව ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනය වන ආලෝක පින්තාරු ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු ලංකාව තුළ පවත්වන ප්‍රථම ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය ද වෙයි.

මීට පෙර සොබා රූ, මංගල්‍ය උත්සව ඡායාරූප, පැනොරාමා වැනි ප්‍රකට ප්‍රදර්ශන අපට ගෙන ආ ඉන්ද්‍රනාථ මෙවර ගෙනෙන ආලෝක පින්තාරු සුවිශේෂ වූ ඡායාරූප ප්‍රදර්ශනයකි.

ලංකාවේ ප්‍රකට ඓතිහාසික ස්ථාන කිහිපයක් සහ අප්‍රකට පෞරාණික ස්ථාන කිහිපයක් ගෘහස්ථ විදුලි පන්දමින් ආලෝකමත් කර ලබා ගත් අලංකාර ඡායාරූප ආලෝක පින්තාරු හි ඇතුළත් වෙයි.

ගණිත ගුරුවරයකු, ඡයාරූප ශිල්පය පිළිබඳ ගුරුවරයකු, ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියකු මෙන්ම ග්‍රන්ථ රචකයකු ද වන ඉන්ද්‍රනාථ තේනුවර මේ පවත්වනු ලබන්නේ තමාගේ සිව්වන ඒක පුද්ගල ප්‍රදර්ශනයයි. ජූනි 13, 14, 15 සහ 16 යන දිනයන්හි ජේ. ඒ. ඩී. පෙරේරා කලාගාරයේදී ප්‍රදර්ශනය පැවැත්වෙයි.