වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




එදා හැඬූ හැටි

එදා හැඬූ හැටි

පසුගිය සතියෙන්...

එදා මේ දේවල් කියපු ශිල්පියා අද ජීවතුන් අතර නැතත් පසු කලෙක ඔහු මගෙත් රවීගෙත් සමීපතම හිතවතෙක් වුණා. ඔහු විහිළුවෙන්, සිනහවෙන් ජීවත් වන හොඳ පුද්ගලයෙක් බව මම එදා දැනගෙන හිටියේ නැහැ. ඔහු මිය යන තුරුම අපිට බොහොම ගෞරවණීය විධියට සලකපු ලෙන්ගතු මිතුරෙක්.

ඉතින් මේ සිද්ධිය නිසා මං කිව්වනේ මී මුරේ ගිය ශිල්පීන්ගේ නම් මතකයේ රැඳුණේ නැහැ කියලා. ඒ සිද්ධිය මතක තිබුණ ශිල්පියෙක් ළඟදී දවසක මට හම්බ වුණානේ. ඒකත් පුදුම දෙයක්. මේ අවුරුදු හතළිස් දෙකක පමණ කාලයක් එයා හම්බ වෙලා කතා කරලා දැන හැඳුනුම්කම් තිබුණත් එදා මාත් එක්ක රඟපෑවේ ඔහුයි කියලා මම දැනගෙන හිටියේ නැහැ.

විජේරත්න වරකාගොඩ

ළඟදී දවසක විජේරත්න වරකාගොඩ මහත්තයාගේ උපන් දිනය වෙනුවෙන් ඉතා අලංකාර උත්සවයක් ලෑස්ති කරලා තිබුණා. කොළඹ තරු පහේ හෝටලයක බෝට්ටුවක් තුළ හිත මිතුරන් සියලු දෙනා අසුන් ගෙන සිටියා. එතනදි මට ඉදිරියෙන් සිටියේ නිශ්ශංක දිද්දෙනිය ශිල්පියා සහ ඔහුගේ බිරිඳ. අපි කතා කර කර ඉන්න කොට නිශ්ශංක අයියගේ බිරිඳ කිව්වා අපි පෙම්වතුන් කාලේ නිශ්ශංක මට ඔයා ගැන කියලා තියෙනවා කියලා. මට පුදුම හිතුණා.

මම ඇහුවා ඔය දෙන්නා බඳින්න කලින් නිශ්ශංක අයියා මාව අඳුනනවද, දැකලා තියෙනවද කියලා.

නිශ්ශංක අයියා ඇහුවා ඇයි ප්‍රීතිට මාව පොඩ්ඩක්වත් මතක නැද්ද?

නිශ්ශංක දිද්දෙනිය

මම කිව්වා ඒ කාලේ මම අයියව දැකලවත් හම්බ වෙලාවත් නැහැනේ. ඉතින් කොහොමද මතක තියෙන්නේ කියලා.

අයියෝ ප්‍රීති මී මුරේ ගියා මතකද?

ඔව්.

‘ඉතින් මී මුරේදී ඔයත් එක්ක පිරිමි චරිතය රඟපෑවේ මමනේ. ඔයාට කොහෙද ඒක මතක තියෙන්නේ, ඔයා දවසක්ම අඬ අඬා හිටියනේ. අඬපු එකවත් මතකද?

‘අනේ අඬපු එක නම් අද වගේ මතකයි. ඔයා හිටියා කියලා පොඩ්ඩක්වත් මතක නැහැනේ’ මම කිව්වා. සිනමාවේ හිටපු අවුරුදු දෙකක් වැනි ඉතාම සුළු කාලයකදී වේදිකාවේ හිටපු ප්‍රබල නළුවො එක්කත් මට රඟපාන්න ලැබිලා තියෙනවා කියලා හිතෙන කොට මට පුදුම සතුටක් දැනෙනවා.

මී මුරේ ගිහින් ආවට පස්සේ බලාපොරොත්තු නැති මොහොතක අලුත් තරුණ නළුවා හවසක අපේ ගෙදර ආවා. එයා ආවේ තරංගා කියලා චිත්‍රපටයකට කොළඹින් පිට යන බව කියන්න. මට හරියටම මතක නැතත් රවී මට කැමතියි කියන අදහස ඉදිරිපත් කළෙත් එදා විය යුතුයි. එහෙම කියලා රවී කිව්වා මගේ කැමැත්ත තිබුණොත් එයා විවාහ වෙන්නත් තීරණය කරලයි තියෙන්නේ කියලා. එහෙම කිව්වත් මම හිතුවා එයා මට විශාල බොරුවක් කරනවා කියලා. මී මුරේදි අහපු දේවල් නිසා මම හිතුවා මාවත් රවට්ටන්න හදන්නේ කියලා.

රවී දෙතුන් සැරයක්ම මගෙන් උත්තරයක් ඇහුවත් මී මුරේ සිදුවීම් මුකුත්ම නොකියා අපි දෙන්නා ගැළපෙන්නේ නැති බව විතරක් කිව්වා වගේ තමයි මතක. ඇත්තටම ඒ මොහොතේ මම හීනෙකින්වත් හිතුවේ නැහැ රවී මාව බඳින්න හිතාගෙනමයි ඒ අදහස ඉදිරිපත් කළේ කියලා.

මට වඩා ලස්සන ප්‍රසිද්ධ පොහොසත් නිළියෝ, ගෑනු ළමයි රවීට කැමැත්තෙන් ඉන්න වෙලාවක නිකං කමකට නැති ගෑනු ළමයෙක් ගාවට ගිහින් මං ඔයාට ආදරෙයි, මං ඔයාව බඳීන්න කැමැතියි කිව්වම ඒ කෙල්ල විශ්වාස කරයිද? ඒ කෙල්ල හිතන්නෙම මෙයා මාව රවට්ටන්න හදනවා කියලනේ. මමත් ඉතින් බොහොම සාමාන්‍ය හිතක් තියෙන කෙනෙක්නෙ. මමත් හිතුවේ ඒ විදියටමයි.