වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ඉතිහාසය හදයි ද? හැදෙයි ද?

ඉතිහාසය හදයි ද? හැදෙයි ද?

සුදත් හා සුගත් සිංහලේ අවසන් රජ දහනට පිවිසෙති

ඉතිහාසය සිනමාවට නැඟීම අභියෝගාත්මක කාර්යයකි. එහෙත් දැලි පිහියෙන් කිරි කෑ හැකියයි සිතෙන ඕනෑම අයකුට එම අභියෝගය බාර ගැනීමට තහනමක් නොමැත. අවාසනාවකට මෙන් ඉතිහාසය උඩින් පල්්ලෙන් අත පත ගෑ අපේ බොහෝ සිනමාකරුවන්ට සිදු වූයේ දිව කපා ගන්නටය. එවන් පසුබිමක සුගත් සමරකෝන් හා සුදත් රෝහණ තම සිනමාත්මක ප්‍රවේශය තුළ ඉතිහාසයට යම් සාධාරණයක් ඉටු කළ සිනමාවේදීන් දෙපළකැයි මම අනුමාන කරමි. සුදත් රෝහණ කලකට ඉහත ‘සුදු කළුවර’ මහ තිර සිත්තම හරහා ඒ බැව් අපට සනාථ කළ අතර සුගත් සමරකෝන් මෑතකදී ‘විජය – කුවේණි’ ඔස්සේ දැවැන්ත සිනමා නිර්මාණයක ආශ්වාදය ලාංකේය ප්‍රේක්ෂකයා වෙත රැගෙන ආවේය. ‘ඇහැලේපොළ කුමාරිහාමි’ සුගත් සමරකෝන්ගේ නවතම චිත්‍රපටයයි. එකී ඓතිහාසික පසුබිමම තේමා කර ගනිමින් සුදත් රෝහණ ද ‘සෙංකඩගල රාජසිංහ’ නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ කටයුත්තට මේ වන විටත් මුල පුරා තිබේ. සුගත් හා සුදත් අද අප සමඟ මෙම සංවාදයට එක් වන්නේ එය ද නිමිත්තක් කර ගනිමිනි.
 

මගේ ශ්‍රී වික්‍රම බිමල්

- සුදත්

‘සෙංකඩගල රාජසිංහ’ නමින් ඔබේ දෙවැනි සිනමා නිර්මාණයේ වැඩ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. මෙවැනි ඓතිහාසික කතා පුවතක් තෝරා ගැනීමට බලපෑ විශේෂ කාරණාවක් තිබුණාද?

කාලීන වශයෙන් මේක තුළ තිබෙනවා ලොකු වැදගත්කමක්. 1815 උඩරට ගිවිසුම මුළු ලාංකේය ඉතිහාසයටම බලපෑ සාධකයක්. 1815 ඉඳන් ලබන වසරේ ඒ කියන්නේ 2015 ට මේ ගිවිසුම අත්සන් කර වසර දෙසීයක් ගත වුණත් අද වෙන කොටත් ඒ අධිරාජ්‍යවාදී බලපෑම් විවිධ අයුරින් අපට එල්ල වෙනවා. දැන් ජිනීවා වගේ කතන්දර ඒ බලපෑම්වල ප්‍රතිඵල. අපට අධිරාජ්‍යවාදී බලපෑම් තිබුණේ බොහෝ කලකට පෙර ඉඳන්. නමුත් අපට වැඩි බලපෑමක් එල්ල වුණේ ඉංග්‍රීසි පාලන සමයේ. මේ මොහොතේ මම උත්සාහ කරන්නේ ලංකාවට පමණක් නෙවෙයි ජාත්‍යන්තරයටත් අපේ මේ ඓතිහාසිත කතා පුවත සිනමාව ඔස්සේ රැගෙන යන්න.

කුමක්ද එහි අරමුණ?

අදටත් අධිරා්‍යවාදීන් විසින් ගෙන යන මේ කුමන්ත්‍රණ, ආක්‍රමණ පිළිබඳ හොඳම උදාහරණය තමා මේ අවුරුදු දෙසීයකට කලින් ඇති වුණ උඩරට ගිවිසුම. නිර්මාණකරුවෙක් හැටියට මම දැක්කා මෙහි තිබෙන කාලීන වටිනාකම. මේ හරහා ලාංකේය ජනතාවට අපේ අතීතය මතක් කර දෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවට, එදත් අපට තිබුණ මේ තර්ජන, කෙනෙහිලිකම් ගැන අවබෝධයක් ලබා දෙන්නට මේ චිත්‍රපටය හරහා මම උත්සාහ කරනවා.

මේ චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය ලෙස ඔබ තෝරා ගන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ?

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බවට පත් වුණේ කන්දසාමි කුමාරයා. 1798 ඉඳන් 1815 උඩරට ගිවිසුම අස්සන් කරන තුරු මේ රට පාලනය කළේ ඔහු. ඒ කියන්නේ වසර දාහතක්. 1815 දී ඉංග්‍රීසීන් මේ ජයග්‍රහණය ලබා ගන්නේ අපේ, අපේ මිනිසුන් තුළ ගැටුම් ඇති කරලා, ඔවුන් කොටවලා ලේ වැගිරීමකින් තොරව බුද්ධිය මෙහෙයවලයි ඔවුන් එදා ඒ ගිවිසුමට අත්සන් කරන තැන දක්වා එන්නේ. සිංහලයා බේදබින්න කරලා, ඔවුන් අසමගි කරලා, බලලෝභීත්වය ඇති කරලා තමයි ඔවුන් මේ කූට උපක්‍රමය සාර්ථක කර ගන්නේ.

රාජසිංහ රජුවත් ඔවුන් සිය ග්‍රහණයට හසුකර ගන්නවා?

ඔව්. ඔහු අවසානයේ ක්‍රියා කරන්නේ උම්මත්තකයෙක් වගේ. ඇහැලේපොල කුමාරිහාමි, ලොකුª බණ්ඩාර, මද්දුම බණ්ඩාර ඇතුළු පිරිස මරා දමා ඒ සිදු කරන සමූහ මිනිස් ඝාතන, ස්වාමීන් වහන්සේලා ඇතුළු රටවැසියන් ඝාතනය කිරීම, ප්‍රභූවරුන් මරා දැමීම එහි ප්‍රතිඵල. ශ්‍රී වික්‍රම රාජසිංහ වඩුග රජ කෙනෙක්. ඉංග්‍රීසින් ඔහුට මත්පැන් හුරු කරනවා. මත් ලෝලියකු බවට පත් කරවනවා. රජු රටවැසියන්ගෙන් බදු අය කරන කොට ඉංග්‍රීසින් මිනිස්සුන්ට තෑගි බෝග දෙනවා. එහෙම තමයි ඔවුන් තම ඉලක්කය කරා ඉතා සූක්ෂම ලෙස යන්නේ.

‘සෙංකඩගල රාජසිංහ’ සඳහා ඔබ ඇසුරු කර ගත්තේ කෙබඳු ඓතිහාසික මූලාශ්‍රයන්ද?

පසුගිය කාලේ ඓතිහාසික කතා ඇසුරෙන් නිර්මාණය වූ ඇතැම් චිත්‍රපටවල ඉතිහාසය විකෘති කර තිබෙනවා මම දැක්කා. ඇත්තෙන්ම මේ චිත්‍රපටයට මම පාදක කර ගන්නේ සත්‍යය පදනම් කර ගත් සිදුවීම්, ජනප්‍රවාද, ලිඛිත වාර්තා, මුඛ පරම්පරාගත තොරතුරු සහ වියත් මත. ඒ කියන්නේ ආචාර්ය, මහාචාර්යවරු, ඉතිහාසඥයෝ, ඒ වගේම ගරුතර සංඝරත්නය ඇතුළු පිරිස් සමඟ මම මේ සම්බන්ධව විශාල වශයෙන් සාකච්ඡා කළා.

මෙහි තිර පිටපත මම හිතන්නේ ලියැවුණේ සෑහෙන කලකට පෙරාතුව?

ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් 1979 වසරේ ලියූ තිර පිටපතක් මේක. හැබැයි 1979 එතුමා මේක ලියන කොට වඩා අද වෙන කොට අපට තියෙන තොරතුරු වැඩියි. ඒ නිසා මම ඒ තිර පිටපත ප්‍රවර්ධනය කළා.

ඒ කියන්නේ සංවර්ධනාත්මක තිර පිටපතක්?

ඔව්. ඇත්තෙන්ම මේ දිනවලත් මම ඉතිහාසය පිළිබඳ ආචාර්ය, මහාචාර්යවරු, වියතුන් සමඟ සාකච්ඡා කරමින් එය තවදුරටත් සංවර්ධනය කරනවා. මේ සියලු තොරතුරු, වාර්තා තිබුණාට අපි මේක සිනමාත්මකවනේ ඉදිරිපත් කරන්නේ. අද හුඟාක් තැන්වල ඉතිහාසය විකෘති කරලා පෙන්වනවනේ. ඒ නිසා අපේ අනාගත පරපුරට විශේෂයෙන්ම පාසල් දරු, දැරියනට 1798 සිට 1816 දක්වා වූ කාල සීමාවේ සිදුවීම් හැකිතාක් දුරට සත්‍යය පදනම් කරගෙන තමයි මම මේ චිත්‍රපටය ගෙන එන්නේ. අපේ අවසන් රජතුමා ගැන ඔබ මෙතෙක් අසා තිබෙන කරුණුවලට වඩා වෙනත් මානයක් මේ සිනමා නිර්මාණය හරහා විවරණය වේවි.

රාජසිංහ රජු පිළිබඳ ඔබ හෙළි කළ පෙර කී කරුණුත් සමඟ ‘කළු චරිතයක්’ හැටියට තමයි එකී භූමිකාව ඔබේ චිත්‍රපටය තුළ දිගේලි වන්නේ?

සමහර විට ශ්‍රීී වික්‍රම රාජසිංහ රජුගේ සුදු පැතිකඩක් නොතිබුණා නෙවේ. නමුත් ඒ සුදු පැතිකඩ කළු වෙන්නේ කොහොමද කියන එකත් මම මේ නිර්මාණයේ යම්, යම් තැන්වලදී පෙන්වනවා. මේ වඩුග රජුගේ පීඩනයෙන් වගේම ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගෙන් සිදු වුණ තාඩන, පීඩනවලින් එදා සිංහලයෝ නොසෑහෙන්න බැට කෑවා. ඔවුන් මේ දෙපැත්තෙන්ම තැලුණා. මේ නිසා තමයි 1818 කැරැල්ල ඇති වෙන්නේ. ඒක සිංහලයා අතින්ම පැන නැඟුණ කැරැල්ලක්. ඒ පීඩනය එළි දකින එක තමයි 1818 කැරැල්ලෙන් සිදු වුණේ.

මේ චිත්‍රපටයට ඔබ එකතුª කළ නිර්මාණාත්මක දේවල් නැද්ද?

ඉතිහාස කතාවක් සිනමාවට නැඟීමේදී නිර්මාණකරුවා විශේෂ වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනෑ. ඉතිහාසය අපි සිනමාවෙන් පෙන්නන කොට දුවා, දරුවන් හිතනවා මේක තමයි ඇත්ත කතන්දරේ කියලා. ඉතිහාස පත පොතට වඩා රූපාවලියක් තුළින් දකින දේ මතකයේ තැන්පත් වෙන ප්‍රවණතාවය වැඩියි. නිර්මාණාත්මක දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් අපට හිතුමතේ ඒ කතන්දරේ ආගිය අතේ ගෙනි යන්න බෑ.

නිර්මාණකරුවා තුළ ස්වයං වාරණයක් තිබිය යුතුයි?

ඔව්. නමුත් අපි හුඟක් වෙලාවට දැකලා තියෙන්නේ ඉතිහාසය අනවශ්‍ය විදිහට විකෘති කිරීමක්. විශේෂයෙන්ම වර්තමානයේ නිර්මාණය වන බහුතරයක් චිත්‍රපටවල අපිට ඕනෑ තරම් ඉතිහාස කතා, බෞද්ධ කතා තියෙනවනේ. ඉතිං ඒවා අරගෙන චිත්‍රපට කිරීමේ රැල්ලක් විතරයි අද මම දකින්නේ.

ඉතිං, ඔබත් ඒ රැල්ලට නතුවෙලා නේ?

නෑ. රැල්ලට නතුවීමක් නෙවේ. මම කරන්නේ අසංවර, අක්‍රමවත්, අසංවිධිත විදිහට කෙරෙන මේ ක්‍රමවේදය නිවැරැදි, ඉතිහාසයට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරන තැනකට ගේන්න.

බොරුකාරයන්ට කරන අභියෝගයක්?

අභියෝගයක්. ඇත්තටම මම පසුගිය මාස කීපය පුරාම මේ ගැන හැදෑරුවා. රජ මාළිගාව, පවා මම ඉදි කරන්නේ එදා මැප් අරගෙන. එදා සිටි චරිත පවා මම ප්‍රතිනිර්මාණය කරන්නේ ඉතාමත් සැලකිලිමත්වයි. මම රැල්ලට යන කෙනෙක් නොවේ. මගේ ඉතිහාසය ගත්තොත් හැමදාම මම ඓතිහාසික කතා තමයි පුංචි තිරය හරහා නිර්මාණය කරලා තියෙන්නේ?

ඔබගේ පළමු චිත්‍රපටයෙන් පවා?

‘සුදු කළුවර’ චිත්‍රපටයෙනුත් මම කතා කළේ අධිරාජ්‍යවාදීන් ගෙනා ‘මුඩුබිම් පනත’ සම්බන්ධව. ඉතින් මම හිතනවා මට යම් කිසි අයිතිවාසිතමක් තිබෙනවා මේ චිත්‍රපටය නිර්මාණය කරන්න. ඒ කියන්නේ වෙන කෙනෙකුට ඒ අයිතිය නෑ කියන එක නෙවෙයි.

මෙහි නළු, නිළියන් තෝරා ගැනීමේදී පවා ඔබ විශේෂ පරිශ්‍රමයක් දැරූ බව දැනගන්න ලැබුණා?

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන තන්ත්‍රය නිමා වන්නේ ඔහුට අවුරුදු තිස් පහේදී. ඉතින් ඔහු තරුණ රජෙක් වෙන්න ඕනෑ. ඔහු රජකමට පත්වන්නේ අවුරුදු දහ අටේදී කන්දසාමි කුමාරයා හැටියට. අවුරුදු දාහතක කාලයක් ඔහු රජ කරන්නේ. ඉතින් මෙතනදි මම ඇත්ත රජුගේ ස්වරූපය සහ ඔහුගේ වයස් ප්‍රමාණය ගණනය කරලා තමයි මේ බිමල් ජයකොඩි ඒ චරිතය සඳහා තෝරා ගත්තේ. මම හිතනවා බිමල්ගේ ඇත්ත වයස් ප්‍රමාණය රාජසිංහ රජුට සාපේක්ෂව ගත්තාම ඉතාම ගැළපෙනවා සහ සාධාරණයි කියලා.

වයස කියන්නේ නළුවකුට අත්‍යවශ්‍ය සාධකයක්ද?

නිර්මාණකරුවෙකුට ඊට එහාට යන්න පුළුවන්. මම කියන්නේ හරි තැන ඉඳලා හරි දේ කරන කෙනෙක් හැටියට මම ඒ දේවල් ගැන පවා සැලකිලිමත් වුණා. දැන් සනත් ගුණතිලක රඟපාන්නේ පිළිමතලාවගේ චරිතය. සනත්ගේ සමේ පැහැය, ඔහුගේ පෞරුෂය වගේ දේවල් එක්ක මට හිතුණා මේ චරිතයට වඩාත් සුදුසු ඔහු කියා. අනෙක් නළු, නිළියන් කලබල නොවී තවමත් මම සොයමින් ඉන්නවා. කොහොම වුණත් අපේ ප්‍රවීණ සහ නවක නළු, නිළියෝ රැසක් ‘සෙංකඩගල රාජසිංහ’ ට සම්බන්ධ වෙනවා.

සුගත් සමරකෝන් ‘ඇහැලේපොළ කුමාරිහාමි’ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර තිබෙනවා. එතකොට ඔබ සිනමාවට නඟන්නේත් ඒ ඓතිහාසික පුරාවෘත්තය. අභියෝගයක් නෙවෙයිද?

මම හිතනවා ඒක මට ලොකුª අභියෝගයක් නෙවෙයි කියලා. මොකද නිර්මාණකරුවෝ දෙන්නෙක්, දෘෂ්ටීන් දෙකක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අමරනාත් ජයතිලක මහත්මයා ‘සිරිපාල හා රන් මැණිකා’ චිත්‍රපටය කරනකොට ‘මරුවා සමඟ වාසේ’ කළා ටයිටස් තොටවත්තයන්. එකම කතාවක්. හැබැයි දැක්මවල් දෙකක්. මම රාජසිංහ රජ්ජුරුවන්ට හෝ ඇහැලේපොළට හෝ වෙනත් චරිතයකට ලඝු වෙන්නේ නෑ. කන්දසාමි කුමරු ශ්‍රී වික්‍රම නමින් රජ වී ඔහු රටින් පිටුවහල් කරන තැන දක්වා මම මේ කතාව ගෙනි යනවා. නමුත් මගේ මූලික සංකල්පය තමයි අධිරාජ්‍යවාදී ආක්‍රමණය කියන එක.

සහෝදර නිර්මාණ ශිල්පියකු ලෙස ඔබ සුගත් සමරකෝන් දකින්නේ කොහොමද?

ඔහු වේදිකාව හරහා විශාල පන්නරයක් ලැබු කලා ශිල්පියෙක්. ‘විජය කුවේණි’ වැනි දැවැන්ත චිත්‍රපටයකින් ඔහු අපේ සිනමාවට දායක වෙනවා. මුදල් කියන කාරණාව පදනම් කරගෙන චිත්‍රපට හදන යුගයක ඔහු මෙබඳු අභියෝගාත්මක කාර්යයකට මුල පිරීම සතුටක්.


මගේ ශ්‍රී වික්‍රම ජැක්සන්

- සුගත්

විජය – කුවේණිගෙන් පසු ඇයි ඔබ ‘ඇහැලේපොළ කුමාරිහාමි’ නමින් චිත්‍රපටයක් කරන්නට අදහස් කළේ?

‘විජය – කුවේණි’ මහා වංශයේ එන ලංකාවේ පළමුවැනි රජුගේ කතාව. ඇහැලේපොළ කුමාරිහාමි’ අන්තිම රජ්ජුරුවන්ගේ කතාව. ඒ වගේම මේ අපේ ලංකා ඉතිහාසයේ ශෝචනීය ඉරණම් දෙකකට මුහුණ පෑ ගැහැනුන් දෙදෙනෙකුගේ කතාව. ඒ කතා පුවත් ශෝචනීයයි වගේම ඉතා සංවේදියි.

ඒ කරුණු පමණම ද එකී නිර්මාණ සඳහා ඔබට අනුප්‍රාණ සපයන්නේ?

නෑ. ඇත්තෙන්ම තවත් විශේෂිත කරුණක් තිබෙනවා. එක්තරා රජයක් විසින් අපේ ඉතිහාසය මීට කලෙකට පෙර පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කළා. ඒක මොන තරම් සාහසික, සාපරාධී ක්‍රියාවක්දැයි කියා මට හිතුණා. ඒ හරහා මගේ සිතට නැ¼ගුණේ විශාල කම්පනයක්. අන්න ඒ කම්පනයත් එක්ක තමයි මම මෙබඳු සිනමා නිර්මාණ සඳහා පෙළඹෙන්නේ. යම් කිසි කෙනෙක් රටේ ඉතිහාසය දන්නේ නෑ කියන්නේ උගේ අම්මා, තාත්තා අඳුරන්නේ නෑ කියන එකනේ. අපේ අත්තා, මුත්තා, කිරිකිත්තා අමතක කරන්න කියලානේ එදා ඒ මුග්ධ දේශපාලකයෝ ඒ වගේ තීන්දුවක් ගත්තේ.

කලාකරුවෙක් විදිහට ඔබ හැදී වැඩෙන්නේ එබඳු යුගයක?

ඔව්. ඇත්තෙන්ම මගේ පළමුවැනි වේදිකා නාට්‍යය මම නිර්මාණය කළේ 1976 වසරේ. ඊට පස්සේ ‘කොමාන්ඩෝ දියසේන’, ‘දේශපාලුවා’, ‘උතුරේ රාහුල හිමි’ වගේ වේදිකා නාට්‍යය. ඒවායෙන් මම කතා කළේ ඒ ගඳ ගහන දේශපාලනය. පසුගිය කාලේ මම වේදිකාවෙන් බැහැරව සිටියත් නැවතත් අගෝස්තු මාසයේදී ‘දේශපාලුවා’ සමඟ කරළියට එනවා.

සිංහලයේ අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ කතා පුවත තේමා කරගෙනයි ඔබ මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. මේ කතා පුවත පසුපස තවත් සුවිශේෂී චරිත රාශියක් තිබෙනවා. ඒත් ඇයි ඔබ ‘ඇහැලේපොළ කුමාරිහාමි’ ලෙස චිත්‍රපටය නම් කළේ?

‘ඇහැලේපොළ කුමාරිහාමි’ කියා නම් කළාට මේ චිත්‍රපටයේ ‘රාජසිංහ’ රජු ප්‍රධාන චරිතයක් හැටියට නිරූපණය වෙනවා. ඊළඟට ඇහෙලේපොළ නිලමේගේ චරිතය, එතකොට වීර මද්දුම බණ්ඩාර. ඒ විතරක් නෙවේ, තවත් සුවිශේෂ චරිත රැසක් මේ චිත්‍රපටයට ඇතුළත් වෙනවා. බ්‍රවුන්රිග්, ඩොයිලි වගේ ඉංග්‍රිසි ආණ්ඩුකාරවරුන්ගේ චරිත පවා. පැය දෙකක් වැනි කාලයකදී මෙවැනි ප්‍රධාන චරිත රැසක් සම්පිණ්ඩණය කරලා තමයි මෙහි තිර රචනය මම සකස් කර, චිත්‍රපටය නිර්මාණය කළේ. ඇත්තෙන්ම ඒක අපහසු කාර්යයක් වුණා.

කොහොමද මේ හැදෑරීම ඔබ කළේ?

කොහොමත් මම ඉතිහාසය හදාරණ කෙනෙක්. ඒ අතර මම තර්ක බුද්ධියෙන් ගොඩ නඟන දේවලුත් තියෙනවා. මුඛ පරම්පරාවල, වංශ කතාවල එන සිදුවීම් හා ඉතිහාසඥයන් හෙළි කළ කරුණු ඇතුළු මේ රටේ දැන උගත් වියතුන් රචනා කළ පොත් පත් සහ ජනප්‍රවාද ගවේෂණය කරලා, පරිශීලනය කරලා මේ කතන්දරය මම පෙළ ගැස්සුවා.

තර්ක බුද්ධිය හරහා ඔබ ගොඩ නඟන දේවල් කලා කෘතියට කෙසේ වෙතත් අපේ ඉතිහාසයට සාධාරණයක් ඉටු කරනවාද?

ඇහැලේපොළ කියන කොටම මේ පාවාදීමක් ගැන කතා කරනවානේ. දැන් අපේ මිනිස්සුන්ට කාවද්දලානේ තියෙන්නේ ඇහැලේපොළ රට පාවා දුන්නා කියලා. මගේ ගවේෂණයේ දී මම සියල්ල හදාරලා තර්ක බුද්ධියෙන් ආවා මගේ තීරණයට. අර කුවේණි මිනී මස් කෑවේ නැහැ කියලා මම කියනවා. ඒ වගේ මම කියනවා ඇහැලේපොළ රට පාවා දුන්නේ නැහැ කියලා. ඔහුව එතැනට ගෙනාවා. සිංහලයෝ හිත හොඳ මිනිස්සුනේ. පෘතුගීසි ලංකාවට ආපු දවසේ ඉඳන් මේ රට ආක්‍රමණය කරපු සියලු විදේශිකයන් එයින් ප්‍රයෝජන ගත්තා.

‘සිංහලයා මෝඩයා කැවුං කන්න යෝධයා’ කිව්වෙත් ඔවුන්මයි?

ඒ හිතාමතාම අපිව අපහාසයට ලක් කරන්න කියපු දේවල්. දැන් හැම පොලීසියෙම ඉන්නවා බණ්ඩලා. කවුද මේ? බණ්ඩාර යන මේ රටේ කුලවන්ත පැළැන්තියකට තමයි ඒ විදියට බණ්ඩා කිව්වේ. සමහරු කිව්වා ‘යමං බණ්ඩො වෙසක් බලන්න’ කියලා. එතකොට මේ බණ්ඩාරලා, කුමාරිහාමිලා කන්ඩෙම් කරන්න තමයි අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ට උඩ ගෙඩි දුන් දේශද්‍රෝහී, බෞද්ධ විරෝධී ඇතැම් කළු සුද්දන් උත්සාහ කළේ. ඒ කන්ඩෙම් කරපු බණ්ඩාරලව කුමාරිහාමිලාව ආපහු උස්සලා ගන්න තමයි මේ වෑයම. අද අපේ දරුවන්ගේ වීරයෝ බැට් මෑන්ලා, සුපර් මෑන්ලා. එහෙම නැතිනම් බෙන්ටෙන්, ස්පයිඩර් මෑන්. ඒත් මද්දුම බණ්ඩාර තරම් ළමා වීරයෙක් ලෝකෙ වෙන කොහෙවත් හිටියේ නෑ. ඒ අභිමානවත් ඉතිහාසය අපි වර්තමානයට ගේන්න ඕනෑ. සිනමාකරුවකු හැටියට මගේ යුතුකම එයයි.

අද මේක රැල්ලක් බවට පත් වෙලා. බොහෝ සිනමාකරුවන් උත්සාහ කරන්නේ ඉතිහාසය නමැති සරු පසේ තමන්ගේ පැළයත් රෝපණය කර ගන්න?

තමන් කැමැති දෙයක් කරන්න කෙනෙකුට නිදහසක් තියෙනවා. ඒ නිසා මට අනෙක් අයගේ දේවල් ගැන කිසිම දෙයක් කියන්න බැහැ. මම අවුරුදු දෙකක් තිස්සේ ගවේෂණය කරලයි ‘ඇහැලේපොළ කුමාරිහාමි’ රචනා කළේ. එක් එක් අයට විවිධ කෝණවලින් මේ චිත්‍රපටය දිහා බලන්න පුළුවන්. ඒත් මට පෙනුණ කෝණය හරහා තමයි මේ චිත්‍රපටය මම නිර්මාණය කළේ. හැබැයි එකක් කියන්න ඕනෑ, අපේ ප්‍රේක්ෂකයෝ හරි බුද්ධිමත්. ඉතිහාසය අරගෙන චිත්‍රපටයක් හදලා හොඳට හම්බ කරන්න පුළුවන් කියලා කවුරු හරි නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂවරයක් හිතනවා නම් මම කියනවා ඒක නම් මුලාවක්.

ඒත් එහෙම අයත් අද අධ්‍යක්ෂවරු වෙලා ඉන්නවනේ?

බුද්ධිමත් ප්‍රේක්ෂකයා නිවැරැදි දේ හඳුනා ගනියි. කොහොම වුණත් සිනමා නිර්මාණ සහ සිනමා කෘති කියලා දෙකක් තියෙනවානේ. මම කරන්නේ සිනමා නිර්මාණ.

එතකොට සිනමා කෘතියක් කියන්නේ?

මොනවා හරි කතාවක් අරගෙන චරිත ටිතක් තෝරාගෙන ඇඳුම් අන්දවලා රඟපාවන එක තමයි සිනමා කෘතිය. ඉතිහාස කතාවක් නම් ඒක ඒ විදිහටම රඟදැක්වීම. ඒත් සිනමා නිර්මාණය ඊට වෙනස්.

‘විජය – කුවේණි’ චිත්‍රපටයේ ඔබ කළේ නළු, නිළියන් පිරිසක් තෝරාගෙන ඇඳුම් අන්දා, රඟපෑමක් කර ගැනීම නෙවෙයිද?

අදටත්, හයවැනි ශ්‍රේණියේ ඉතිහාස පොතේ තියෙන්නේ ‘කුවේණි’ මිනීමස් කන යකින්නක් කියලා. ඉතින් මම කියනවා කුවේණි යකින්නක් නෙවෙයි කියලා. ඉතිහාස කතාව අරගෙන ඉතා පරෙස්සමෙන් මහා වංශයට නිසි ගෞරවය දෙමින් තමයි මම මගේ නිර්මාණ පරිකල්පනයට එන්නේ. ඒක මගේ දෘෂ්ටිය.

කලාව ඉතිහාසයට වඩා දාර්ශනික යැයි ඇරිස්ටෝටල් ප්‍රකාශ කර තිබුණත් කලාකරුවාට පුළුවන්ද තම අභිමතය පරිදි ඉතිහාසය වෙනස් කරන්න?

ඇත්තෙන්ම කලාකරුවා කියන්නේ දාර්ශනිකයෙක්. අපි ඉතිහාසයේ දේ අරගෙන ඊට යමක් කලාකරුවන් වශයෙන් එකතු කරනවා. එතැන මනුෂ්‍ය සහ සහබන්ධතා තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ගේ ජන විඥාණය කුමක්ද කියා තිබෙනවා. කලාකරුවාට නිදහස තියෙනවා කිව්වට අර වඳුරට දැලි පිහිය හම්බ වුණා වගේ කපා ගන්න බෑ. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනෑ. ඒක චිත්‍රයක් අඳිනවා වගේ බොහොම සියුම්ව කරන්න ඕනෑ වැඩක්.

සුදත් රෝහණ විසිනුත් ‘සෙංකඩගල රාජසිංහ’ නමින් චිත්‍රපටයක් තනන්නට නියමිතයි. එතකොට මේ චිත්‍රපට දෙකටම පාදක වන්නේ එකම කතා ප්‍රවෘත්තියක්. මොකද ඒ ගැන හිතෙන්නේ?

සුදත් රෝහණ කලා ලෝකයේ මගේ හිතවත් මිතුරෙක්. මම ආදරය කරන ඉතිහාසයට ඔහුත් ආදරය කරනවා. ඒක මට සතුටට කරුණක්. අප දෙදෙනා මේ නිර්මාණ දිහා බලන කෝණ වෙනස් වෙන්න පුළුවන්. ඒ මොන කෝණෙන් බැලුවත් ඔහුත් මාත් කරන්නේ එකම රාජකාරිය. ඒක නිසා අපේ ඉතිහාසයට ඔහු සාධාරණයක් ඉෂ්ට කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ තුළ ඔහුට මගේ සුබ ප්‍රාර්ථනාවන් හිමි වෙනවා.

ඔබේ චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතයක් වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සුදත්ගේ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය. එකම වකවානුවක, එකම චරිතයක් තවත් අධ්‍යක්ෂවරයකු විසින් රූප මාධ්‍යයට නැඟීම සිනමා කරුවකු හැටියට ඔබට අභියෝගයක් නෙවෙයිද?

මගේ ශ්‍රි වික්‍රම රාජසිංහ ජැක්සන් ඇන්තනි. ජැක්සන් ඇන්තනි නමැති දැවැන්ත පෞරුෂයකින් හෙබි රංගන ශිල්පියා මම දකින විදිහට ‘ මරාසාද්’ වේදිකාවෙන් තමයි ඔහුගේ හොඳම රංගනය ඉදිරිපත් කළේ. එබඳු විශිෂ්ට රංගනයක් ඉන්පසු ඔහුගෙන් මම දැක්කේ ‘ශ්‍රී වික්‍රම රාජසිංහ’ චරිතය හරහා. මම හිතනවා ජැක්සන් රංගන ශිල්පියකු ලෙස උපරිම දෙයක් මේ චරිතයට සිදු කර තිබෙනවා. ඒක මගේ ආත්මාර්ථකාමී සිතිවිල්ලක් වෙන්න පුළුවන්. ඒත් ඒ විශිෂ්ට රඟපෑම ඉදිරියේදී අපේ ප්‍රේක්ෂකයෝ දැක බලා ගෙන මගේ අදහසට එකඟ වෙයි කියන විශ්වාසය මා තුළ තිබෙනවා.

‘කුවේණි’ ලෙස රගපෑ දුලානි අනුරාධාම තමයි ඇහැලේපොළ කුමාරිහාමි වෙන්නෙත්?

දුලානිගේ රඟපෑම් අති විශිෂ්ටයි. ඇය බටහිර සිනමාවේ කේට් වින්ග්ස්ලට්, ජූලියා රොබට් වගේ ප්‍රතිභාවකින් යුත් නිළියක්. ඇගේ දක්ෂතාවය නිසාමයි මේ චරිතයට ඇය තෝරා ගත්තේ. වෙනත් කිසිම බාහිර සාධකයක් ඊට බලපෑවේ නෑ.