වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




තත්පරයට වට හතරක වේගයෙන් කැරකිලා ජාත්‍යන්තරයෙන් මුල් තැනට

තත්පරයට වට හතරක වේගයෙන් කැරකිලා ජාත්‍යන්තරයෙන් මුල් තැනට

නර්තනයට මනා හපන්කම් දක්වන ලාල් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘දිව්‍යාංජලී – 2014’ නර්තන ප්‍රසංගය මෙම මස 12 වැනිදා එනම් අද දින සවස 6.00 ට මහරගම ශ්‍රී ලංකා යූත් රඟහලේ ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ. ඔහුගේ රංගායතනයේ සිසු - සිසුවියන්ගේ කලා කුසලතා ඔප් නැංවීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම නර්තන ප්‍රසංගය පිළිබඳත්, ලාල් තිලකරත්නගේ කලා දිවිය පිළිබඳත් අදහස් කිහිපයක් මෙලෙස ඔහු සරසවියට ගෙනහැර පෑවේය.

ඔබ කරන්නට යන මේ නැවුම් කටයුත්ත කුමක්ද?

කාලයක් ලංකාවටම පමණක් සීමා වුණු නර්තනය හා බෙර වාදනය අද වන විට මුළු ලෝකයේම ව්‍යාප්ත වෙලා. එහෙම වීමේදී ජාත්‍යන්තරයට නර්තනය හා බෙර වාදනය අරගෙන යන්න බොහොම මහන්සි වුණු පිරිසක් අප අතර සිටිනවා. ඔවුන් ඇගයීමට ලක් කිරීම මේ නර්තන ප්‍රසංගය පැවැත්වීමේ එක් අරමුණක්. මෙම ප්‍රසංගය පැවැත්වීමේ අනෙක් අරමුණ වන්නේ ලාල් තිලකරත්න රංගායතනයේ සිසු - සිසුවියන්ගේ කලා කුසලතා එළි දැක්වීම සඳහා වේදිකාවක් නිර්මාණය කරදීමයි. අද දින සිසු - සිසුවියන් හැත්තෑ දෙනෙක් පමණ ශ්‍රී ලංකා යූත් රඟහලේ වේදිකාවේ තම දක්ෂතා එළි දක්වනවා. උඩරට, පහත රට, සබරගමු සම්ප්‍රදායවල නර්තන හා බෙර වාදන මෙහිදී ඉදිරිපත් කෙරෙන බවත් කියන්න ඕනෑ.

සම්මානයෙන් පුද ලබන කලාකරුවන් අතරට ගැනෙන්නේ කවුරුන්ද?

වේදිකාවේදී පුද ලබන ශිල්පින් අතරට එකළොස් දෙනෙකු ඇතුළත් වෙනවා. එහිදී සම්ප්‍රදාය රැක ගනිමින් ප්‍රසාංගික කලාව ජාත්‍යන්තරයට රැගෙන ගිය ශිල්පීන් හත් දෙනෙක් වගේම සබරගමු, පහතරට, උඩරට නැටුම් සම්ප්‍රදායයන් ආරක්ෂා කරගත් ශිල්පීන් සිව් දෙනෙකුටත් විශේෂ සම්මාන ප්‍රදානයත් සමඟ ඔවුන්ව ඇගයීමට ලක්වෙනවා.

ඒ අතරට ජනනාත් වරකාගොඩ, උදය ප්‍රිය කුමාර, අජිත් ජන ශාන්ත පෙරේරා, චන්ද්‍රසිරි හඟරාපිටිය, සුසන්ත රූපතිලක, සමන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න රූපතිලක, සී. වී. යොහාන් පුංචි නිලමේ, සී. වී. ඒ. එන්. ධනවර්ධන නිලමේ, කේ. ප්‍රියන්ත කුසුම්සිරි, එච්. එච්. ප්‍රියන්ත කරුණාරත්න කියන ශිල්පීන් ඇතුළත්. මේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගේ සම්මාන ප්‍රදානය පිළිබඳ කතාබහ කිරීමේදී දෙපාර්ශවයක් විසින් ඒ සඳහා අනුග්‍රහකත්වය දැක්වූවා. ඒ චන්න – උපුලීගේ ප්‍රධානතත්වයෙන් පණීභාරත පදනම හා රොජර් සෙනෙවිරත්න මහතායි. ඔවුන් පිළිබඳ මා සඳහනක යෙදෙන්නේ මේ උතුම් කාර්යයට එවැනි ආකාරයෙන් දායක වීම පිළිබඳ ඔවුන්ට ස්තුති කිරීමක් වශයෙන්.

ඔබ නර්තනයට පිවිසෙන පසුබිම ගැන විස්තරයක් කළහොත්?

එදා අද වගේ කලාවට පිවිසීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. බොහොම අපහසුවෙන් තමයි ඒ මාර්ගය මා පාදා ගත්තේ. මගේ ගම රත්නපුර. නර්තනය පිළිබඳ මා මුලින්ම අධ්‍යාපනය ලබන්නේ නිමල් වීර කලායතනයෙන්. මගේ මුල් ගුරුවරු වෙන්නේ සී. දිසානායක, ශාන්ත දිසානායක යන ගුරු පියවරුයි. ඊට පස්සේ මා ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වෙනවා. කාලයක් පාසල් ගුරුවරයෙක් විදියටත් ඉන් පස්සේ ජාතික රූපවාහිනි සංස්ථාවේ නර්තන කණ්ඩායමෙත් සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරනවා. ලංකාවේ ප්‍රවීණ ශිල්පීන් කිහිප දෙනෙකු යටතේම නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියා. මා දැන් නිදහස් නර්තන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.

පසුගිය කාලයේ ජාත්‍යන්තරයේදී ඔබ ඇතුළු කණ්ඩායමක් ඇගයීමට ලක්වුණා නේද?

ජර්මනියේදී තිබුණු ජාත්‍යන්තර නර්තන තරගයකදීයි එය සිදු වුණේ. රටවල් 99 ක් මේ තරගය සඳහා සහභාගි වී සිටියා. මේ සඳහා චන්න විජේවර්ධන ප්‍රමුඛ කණ්ඩායමට මමත් ඇතුළත් වුණා. අප සියල්ලන්ගේ දක්ෂතා නිසා ඒ රටවල් අතර පළමුතැනට එන්නට අපට හැකියාව ලැබුණා. එහිදී චන්න විජේවර්ධන කිව්වේ උඩරට සම්ප්‍රදායේ ක්‍රියාකාරකම් හැටියට හැෙඟන විශේෂ වූ කැරැකීමේදී තත්පරයට වට හතරක වේගයෙන් වැඩිම වෙලාවක් කැරැකීමට මා දැක් වූ දක්ෂතාවයත් ඒ ජයග්‍රහණයට හේතු වුණු බවයි. මේ තරම් වේගයෙන් කැරැකීමට මට හැකි වූණේ මා ලැබූ පුහුණුවේ ප්‍රතිඵලයක් වශයෙන්.

ඉදිරි කටයුතු සංවිධානය වී තිබෙන්නේ කොහොමද?

නිදහස් නර්තන ශිල්පියෙක් විදියට කටයුතු කරන ගමන් මා සතු දැනුම අනාගත පරපුරට බෙදා හදා දීමට මා වඩාත් කැමැත්තෙන් සිටිනවා. ඒ සඳහායි මා ලාල් තිලකරත්න රංගායතනය ආරම්භ කළේ. එහි සාර්ථක්වය සඳහා කටයුතු කිරීම මගේ අනාගත බලාපොරොත්තුවයි.