|
දිලිප් කුමාර්ගේ ජීවිත කතාව එළි දකී
ෂාරුක් ඛාන් නොපැමිණෙයි
අමිතාබ් පොතේ ඡේදයක් කියවද්දී, අමීර් එහි කවියක් ගැයුවේය. ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ නළුවාගේ ජීවිත කථාවෙන් පේලි කිහිපයක් කීමට එක් විය. තිරයේ පෙම්වතිය වූ වෛජයන්තිමාලා ආදරණීය නළුවා ගැන ගෞරවයෙන් වචන කිහිපයකින් සභාව ඇමතුවාය. බිරිය සයිරාබානු මේ සියල්ල සිදුවන අතරේ ඔහු අසලින්ම සිට ඔහුට සවියක් වූවාය. උත්සවය පැවැත්වුණේ තරු පහේ හෝටලයකය. ජීවන චරිත කථාව දොරට වැඩීම තව තවත් මිහිරි වුයේ දිලිප්ගේ ජනප්‍රියම ගීත ජාවඩ් අලි සහ ෂාන් ගැයීමෙනි. සල්මන් ඛාන්, හේමා මාලිනී, ටීනා, අනිල් අම්බානි, කමල් හසන්, පි‍්‍රයංකා චොප්රා, පරිනීති චොප්රා, විද්‍යා බාලන් ඇතුළු තරු රැසක් පිරිවරාගෙන පැවැති දොරට වැඩීමේ උළෙල සම්මාන රාත්‍රියකටත් වඩා සොඳුරු විය. දිලිප් සහ සයිරා පුතකු ලෙසට සලකන ෂාරුක් ඛාන්ට මේ සුබ අවස්ථාවට සහභාගිවීමට නොලැබුණි. ජ්‍යෙෂ්ඨ නළුවාගේ කෘතිය දොරට වැඩීමට නියමිතව තිබුණේ අනූ එක් වැනි උපන් දිනය යෙදී තිබුණු පසුගිය දෙසැම්බර් 11 වැනි දිනටයි. තමන් ගැන වැරැදි තොරතුරු පළ වීම චරිතාපදානය ලිවීමට ප්‍රධාන හේතුව බව පොත දොරට වැඩීමේදී ඔහු පැවසුවේය. සිය රංගනයේ සාර්ථකත්වයට මනෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ද හේතු වූ බව දිලිප් නොපැකිළව කියා සිටියේය. ශෝකාන්ත වීරයා වී සිටි ඔහු, විකට සිනමාපට රංගනයට පිවිසියේ බ්‍රිතාන්‍ය මනෝ වෛද්‍යවරයකුගේ උපදෙස්වලට අනුවයි. මේලා, දේව්දාස්, අන්දාස්, ඩීඩාර්, දාග් වැනි සිනමාපටවලින් පසුව අසාද්, කොහිනූර්, නයාදෝර් වැනි සිනමාපටවල ඔහු දකින්න ලැබුණේ ඒ නිසයි. කාමිනී කෞෂාල් සහ මධුබාලා සමඟ බැඳී පෙම ගැන වියපත් විශිෂ්ටයා නොබියව කථා කරයි. මෝගල්-ඊ-අසාම් රූගත කරද්දී මධුබාලාත් ඔහුත් අතර වචනයකුදු හුවමාරු වී නැත. දිලිප්ට වඩාත් ආදරය කළ මධුබාලාගෙන් ඈත්වීමට සිදු වූයේ මධුබාලාගේ පියා නිසාය. සියලු පෙම් බන්ධන බිඳී ගිය පසු ඔහු තමන්ට වඩා වසර විසි දෙකක් බාල සයිරා බානුගෙන් විවාහවීමට කැමැතිදැයි විමසා තිබේ. ඇය කෙළින්ම විමසා ඇත්තේ ‘තරුණියන් කී දෙනකුගෙන් ඔබ මෙසේ අසා තිබෙනවාදැයි’ කියායි. දිලිප්ගේ මේ පෙම් පටලැවිලි ගැන සේම ඔහුගේ සිනමා ජීවිතයේ රසමුසු සිදුවීම් ගැන ද ‘දිලිප් කුමාර් : වස්තූන් සහ සෙවණැලි’ චරිතාපදානය බොහෝ රසවත් තොරතුරු ගෙන එයි. |