වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ගම දඹුල්ල, දැන් දෙහිවල

ගම දඹුල්ල, දැන් දෙහිවල

රන්ජා සමඟ සිනමාවට එන නිපුණි
මාව සිනමාවට ගෙනාවේ රන්ජන් රාමනායක
මටත් වැරදුණ තැන් තියෙනවා

‘රන්ජා’ සිනමා සිතුවමේ ටානියාට පණ පොවමින් හෙළ රිදී අඹරට පායා ආ අලුත්ම තාරකාව ඇයයි. රංගනයට පමණක් නොව නිවේදනයට ද හපන්කම් පානා මේ සුරූපිනිය කලකට ඉහත දී නර්තන ශිල්පිනියක් ලෙසින් ද අපට වඩාත් සමීප වුණා.

නිපුණි විල්සන්.

මෙතැන් සිට සටහන් වන්නේ ඇගේ වතගොතයි.

* නිපුණි ටානියාව කොහොමද ඔබට හිමිවන්නෙ?

මේ චරිතයට මාව සුදුසුයි කියලා යෝජනා කරලා තියෙන්නෙ රන්ජන් රාමනායක අයියා. ඔහුගේ රෙකමදාරුවට මාව රන්ජා හි නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ සුදේශ් වසන්ත පීරිස් ඇතුළු පිරිස ස්ක්‍රීන් ටෙස්ට් එකකට කැඳෙව්වා. ඉන් ඔවුන් මාව ටානියා ගේ චරිතයට සුදුසු බවට තීරණය කළා. ඔන්න ඔහොමයි මං රන්ජාට සම්බන්ධ වන්නේ.

* ඔබ රන්ජාට කලින් රංගනයෙන් දායක වූ නිර්මාණ ගැන කතා කළොත්?

මාව රංගනයට ගන්නෙ චන්ද්‍රරත්න මාපිටිගම සර්. ඔහුගේ ‘බාගෙට නෑයෝ’ ටෙලි නාට්‍යයේ මං මුලින්ම රඟපෑවේ. ඊට පසුව ‘ආදරියේ, අහස් ගව්ව’ ආදී නාට්‍යවල රඟපෑවා. එතැනින් පසුව මං ටෙලි නාට්‍ය රඟපෑම අතහැරියා.

* ටෙලි නාට්‍ය රංගනය එපා වුණාද?

අපෝ එහෙම දෙයක් හින්දා නෙවෙයි. මට ෆුල් ටයිම් නිවේදිකාවක් විදියට වැඩ කරන්න හිරු නාළිකාවෙන් කතා කළා.

* ඊට කලින් ඔබ ස්වර්ණවාහිනියේ නේද නිවේදන කටයුතු කළේ?

ඔව්, මගෙ නිවේදන ජීවිතය ඇරැඹෙන්නේ ස්වර්ණවාහිනියෙන්. බුද්ධක කුලසේකර මහත්මයා තමයි එහි නිවේදිකාවක විදියට වැඩකරන්න මට ආරාධනා කළේ.

* එතකොට ඔබ නර්තන ශිල්පිනියක් ලෙස ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර් වැඩසටහනේ සිටියා?

මං ඒ වැඩසටහනේ චිලී සහ හේමාල්ගේ පාට්නර් විදිහට නර්තන අංග ඉදිරිපත් කළා. මගේ කලා ජීවිතය ආරම්භ කරන්නෙත් නර්තන ශිල්පිනියක් ලෙසින්. ඒ දෙරණ රියැලිටි ෂෝ එකකින්. දෙවනුවයි ස්ටාර් ඩාන්ස් ස්ටාර් තරගයට සහභාගි වුණේ. එහිදී මාව බුද්ධික මහත්මයා දැකලා නිවේදනයට කතා කෙළේ. මං අවුරුදු දෙකක් ස්වර්ණවාහිනියේ හිටියා.

* මොනවද ඔබ ඉදිරිපත් කළ වැඩසටහන්?

වින්දනීය උදෑසන සහ සුරූපි

* දැන් ඔබ ස්වර්ණවාහානියේ නැහැ නේද?

වර්තමානය වනවිට මං හිරු නාළිකාවේ නිවේදිකාවක්.

* ඇයි නිපුණි ස්වර්ණවාහිනියෙන් ඉවත් වුණේ?

මං එහි වැඩ කළේ පාර්ට් ටයිම්. සතියකට දිනක් විතර ඇවිත් ජොබ් එකක් කරනවාට වඩා සතියේ දින පහේම ඔෆිස් එකක වැඩකරන්නයි මගෙ ආසාව වුණේ. මට හිරු එකට කතා කළේ ෆුල් ටයිම් වැඩකරන්න. මගෙ කැමැත්තත් ඒකම හින්දා සතුටින් ඒ ආරාධනාව බාරගත්තා.

* මේ වගේ වෘත්තියක යෙදෙන ගමන් රඟපාන්න පුළුවන්ද?

බැහැ තමයි. ඒ හින්දා මං තීරණය කළා චිත්‍රපටවල විතරක් රඟපාන්න.

* නිපුණි රඟපාන්නෙ චිත්‍රපටවල විතරයි කියලා දැනගත්තාම ටෙලි නිර්මාණකරුවන් ඔබට කතාකරන එකක් නැහැ.?

නිවේදන වෘත්තිය කරන ගමන් ටෙලි රඟපාන්න අමාරුයි. ඒවට අඩගැහැව්වට පසුව මට යන්න බැරි වුණොත් ඒ නිර්මාණ කරුවන් අපහසුතාවට පත්වෙනවා. චිත්‍රපටයක් දෙකක් රඟපාලා මෙහෙම ඉන්න එක හොඳයි. අනික චිත්‍රපටයෙන් චිත්‍රපටයට චරිතත් වෙනස් වෙනවනේ. ටෙලි නාට්‍ය කරනවා නම් ඒ සඳහා කැපවීමක් තිබිය යුතුයි. මට එහෙම කරන්න බැහැ කියලා මං දන්නවා.

* නිපුණි වැඩිපුරම ආසා කොටට අඳින්නද?

එහෙම විශේෂයක් නැහැ. මට ගැලපෙන ස්ටයිල් මං කරනවා.

* ඒත් ඔබ රන්ජා චිත්‍රපටයේ සහ ඡායාරූපවලට පෙනී සිටීම්වලදි වැඩිපුරම ඉන්නෙ භාගෙට ඇඳගෙන?

ඒ ඒ වෙලාවන්වලදී ඊට අවශ්‍ය විදිහට මං අඳිනවා. තරුණ කාලෙදි විලාසිතා කරන්නෙ නැතුව වයසට ගිහින් විලාසිතා කරන්නද අනේ.

* ඔබ අඳින, පලඳින ආකාරයෙන් මිනිස්සු ඔබ ගැන වැරැදියට හිතන්න තියෙන ඉඩ කඩ වැඩියි?

ඇඳුමෙන් මිනිස්සු මනින එක වැරැදියි. මං ගැන දන්න අය මං මොනවගේද කියලා දන්නවා. මුළු ලෝකෙම මං ගැන වැරැදියට හිතුවට මට කමක් නැහැ. දන්න අය මාව දන්නවනේ. මට ඒ ඇති.

* නිපුණිගෙ ජීවිතයේ වැරැදුන තැන් මොනවද තියෙන්නෙ?

මං හිතන්නේ ඕනම කෙනෙකුගෙ ජීවිතයේ වැරැදීම් තියෙනවා. ඒක මටත් පොදුයි. මට පැමිණි බාධක මට ආශීර්වාදයක් විදිහට මං බාරගත්තෙ. එතකොට ජීවිතය ගෙවන්න පහසුයි.

* ඔබ වෘත්තිමය නිවේදිකාවක්. වර්තමානයේ නිවේදිකාවන්ට චෝදනාවක් තියෙනවා සිංගිලිෂ්වලින් කතා කරනවා කියලා?

මාත් එහෙම තමයි කතා කරන්නේ.

* ඒ මොකද? ඔබ සමහර සිංහළ වචන දන්නෙ නැති නිසාද?

මං සිංහල දන්නවා. ඉංගී‍්‍රසි වචනපාවිච්චි කරමින් නිවේදනය කිරීම මගෙ ස්ටයිල් එක. අවශ්‍යතැන්වලදි ඉංගී‍්‍රසි වචන පාවිච්චි කරන්න මං පසුබට වන්නේ නැහැ. මට ආදරය කරන ප්‍රේක්‍ෂකයොත් කැමැති මං එහෙම කතා කරනවාට.

* ඔබ සිංහලෙන්ම නිවේදනය කළොත් ඔබ වටා ඉන්න ප්‍රේක්‍ෂකයන් වැඩිවේවි යැයි විශ්වාස කරනවාද?

ඔව්, එහෙම වෙන්න පුළුවන්.

* එහෙනම් ඇයි එහෙම කරන්නෙ නැත්තෙ?

දැන් මගෙ විදිහක් මං හදාගෙන ඉවරයි.

* නිපුණිගෙ ගම කොහේද?

දඹුල්ල. දැන් පදිංචිය දෙහිවල.

* කවදද අන්තිමට ගමට ගියේ?

පසුගිය සිංහල අවුරුද්දට.

* ගමේ අය ගමේ නිළිය දිහා වැරැදි කෝනයෙන් බලපු අවස්ථා නැතිද?

ඒ අය දන්නවා මං කොහේ ගියත් අම්මාවත් එක්කගෙන යන්නෙ කියලා. ඒක නිසා කතා හදනවා අඩුයි.

* ඔබේ පවුලෙ විස්තර?

තාත්තා නම් මං පොඩි කාලෙදිම නැති වුණා. අම්මයි අයියලා දෙන්නයි අක්කයි මගෙ පවුලෙ ඉන්නෙ.

* නිපුණිගෙ පාසල?

නුවර හිල්වුඩ් විද්‍යාලය.

* උපන් දිනය?

1990 ජුනි 22

* ඔබ ගැන කෙටියෙන් හැඳින්වුවොත්?

හොඳ දේට හොඳ නරක දේට හරිම සැර කෙනෙක්.

* රන්ජා චිත්‍රපටයේ ඔබ එක්තරා දර්ශනයක් බොහොම අසීරුවෙන් රඟපෑවලු. ඒ ගැන කියමින් මේ කතාවට විරාමයක් තබමු?

මං රන්ජන් අයියට ඉංගී‍්‍රසි උගන්වන දර්ශනයක් තිබුණා. ඒ අතරතුරදී කරන්ට් ගිහිල්ලා කළුවර වෙනවා. ලයිට් එද්දි රන්ජන් අයියා මාව ඇඳක දාලා පෙරළනවා. අන්න ඒ දර්ශනය කරන්න බැහැ කියලා මං ලොකු පෙරළියක් කළා. මට හරියට බය හිතුණා. ඒත් පසුව මං තේරුම් ගත්තා මං කරන වැඩෙන් නිෂ්පාදන කණ්ඩායම අමාරුවෙ වැටෙනවා කියලා. පසුව එම දර්ශනය හොඳට කළා. එදායින් පස්සෙ මං හිතුවා ඕනෑම දර්ශනයක් රූ ගත කරන්න කලින් ඒගැන ඕනෑවට වඩා හිතන එක නවත්වන්න ඕන කියලා.