වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




Fit එක වැඩි වුණාම Hit වෙනවා

Fit එක වැඩි වුණාම Hit වෙනවා

ටකරං කඩ මණ්ඩියේ ටාසන් බාප්පා ගැන කතාබහක්

පට්ට පතුරු යන්න වහින වෙලාවෙ මං කට්ට කාගෙන ඇවිත් නතර වුණේ ගුණේ මාමගෙ ටකරං කඩේ. හීතලේ ගැහි ගැහි උන්නු සෙනඟ අස්සෙ කීප දෙනෙක් වෙලාව බල බල ගහනවා ප්ලේන්ටියක්. සමහරු වැඩි සීනි, සමහරු අඩු සීනි, සමහරු මැද සීනි තවත් එකෙක් කහට. එක එකාගෙ ටේස්ට් එක වෙනස් වුණාට හැමෝගෙම කනේ තිබුණෙ ලදරං ෆිජ්එක උඩ තියෙන අබලං රේඩියෝව දිහාවට. මාත් ගල් බනිසක් ගිල ගිල ඉඳගත්තෙ ලෑලි බංකුවෙ බිත්තියේ කෙළවර ජනේලෙ ළඟ. සීරුවට තවම වැස්ස. ගිල ගන්න බැරි තරං ගුලිවෙච්ච ගල් බනිසට වතුර ටිකක් වැටුණාම උගුරෙන් පහළටම ලිස්සලා ගියේ ටික වෙලාවකට වැස්සත් අමතක කරලා.

වෙලාව හවස තුනහමාරයි.

වැහිබර ලකුණු නිසාම මට දැණුනෙ හයට විතර ඇති කියලයි.

“මුදලාලි ශ්‍රී එෆ්. එම්. නේද අල්ලලා තියෙන්නෙ”...

සරොන් කොටයක් ගහපු හීන් මාමා ඇහුවෙ දුම් පාරක් කඩේ ඇතුළට යවන ගමන්.

“තව ටිකකින් ටාසන්ගෙ කතා යනවනේ”...

ඔෆිස් ඇරිලා එන ධනවර්ධන උන්නැහේත් මැද්දට පැන්නා.

‘අපිත් අහනවා ඔෆිස් එකේදි’

ටානියා කිව්වෙ කට උල් කරලා.

හැමෝගෙම කැමැත්ත ටාසන් අහන්න. මොකටද සෙකන්ඩ් වෙන්නෙ. මේ තුන් දෙනාම මගෙ යාළුවොනෙ.

සන්තෝෂයට පත් කිරීම පුණ්‍ය කර්මයක්.

“ඔයාලා ප්‍රෝගැම් එක අහනවද?

මං ටිකක් හයියෙන් ඇහුවෙ ලකුණක් දාගන්න හිතාගෙන.

“මේ තුන් දෙනාම මගේ යාළුවො....

“ආ එහෙමද? වැඩසටහන නං හරිම ලස්සනයි. මේ තුන්දෙනා ඉතිං අපි කවදාවත් දැකලා නෑනෙ.

දැන් මට කතාවට වෙලාව

ටාසන් ගෙ නම චතුර ලක්මාල් පෙරේරා. නුවන් සම්පත් ප්‍රේමතිලක තමයි ආකාශ්. අර චරිත ගොඩකට පණ දෙන බබා තමයි දුලීප් සුරේෂ්. මේ තුන්දෙනා සෙට්වෙලා තමයි වැඩේ දෙන්නෙ. තුන්දෙනාම මගෙ වයසෙ විතර ඇති.

මං කියාගෙන ගියේ වතුර වගේ.

දැන් කටටිය ටිකක් මගෙ අතට හැරුනෙ ටාසන් බාප්පට තිබුණු ඉන්ටරෙස්ට් එක නිසාමයි.

“මුලින්ම චතුරගෙ හිතේ තමයි මේ වගේ වැඩසටහනක් ගැන අදහස ඇවිත් තියෙන්නෙ. චතුර කියන්නෙ නිර්මාණශීලී කොල්ලෙක්. ඉන් පස්සෙ ඒක ගුවන් විදුලි නාළිකාවක පටන් ගත්තා. පස්සෙන් පහු තමයි ශ්‍රී එෆ්. එම්. එකට ආවෙ. ශ්‍රී එකේදි ආකාශ්ගෙ ජවයයි දුලිප්ගෙ ශක්තියයි එකතුවෙලා ප්‍රෝගැම් එක මාර හිට් වුණා. හිට් වෙන්න හිට් වෙන්න මේ කට්ටියත් ෆිට් වුණා. ෆිට් වෙන්න ෆිට් වෙන්න තවත් හිට් වුණා. ඒ නිසා ලංකාවෙ පැය තුනක අලුත් ගුවන් විදුලි සංස්කෘතියක් හැදුවෙ මේ තුන්දෙනා.

මං ටිකක් වේගයෙන් කියාගෙන ගියා. මීට ඉස්සර වෙලා මේ තුන්දෙනා එක්කම පැය ගණං වරු ගණං කතා කරලා එකතු කරපු දේවල් දැන් වැල නොකැඩී එනවා උගුර ළඟට.

“මේ අය එක එක්කෙනා සමච්චලේට ලක්කරනවනේ. ප්‍රශ්න එහෙමත් එනවා ඇති නේද?

හීන් බණ්ඩා මාම ඇහුවෙ බුලත් කෙළ තලිය වැහි වතුර පාරට එකතු කරන ගමන්.

“මේ තුන්දෙනා හම්බවෙලා දවසක් මට මරු කතා ටිකක් කීවා. ලංකාවෙ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් දවසක් ටාසන්ට හමුබවුණාලු හෝටලයකදි. ඊට ඉස්සර දවසක ටාසන් ප්‍රෝගැම් එකෙන් මේ දේශපානඥයාට ගහලා තිබුණලු. ටිකක් මැර ටයිප් එකේ නිසා ටාසන් වැඩිය මූණ දෙන්න ගියේ නෑලු. ඉතිං එතනට ආපු තව ගොයියෙක් “අපේ මැතිතුමා දන්නවද මේ කවුද කියලා” අහලා බාප්පගෙ පිටෙන් ඇදලා සෙනඟ අස්සෙන් ගතතලු දේශපාලනඥයා ළඟට. දන්නෙ නැහැනේ කවුද මේ මහත්තයා. දේශපාලනඥයා නිවී පැහැදී ඇහුවලු.

“මේ තමයි ශ්‍රී එෆ්. එම්. එකේ ටාසන් බාප්පා”. චතුරට තරු පෙනුනලු.

“උඩින් බනින හැමෝම හිත යටින් හිනාවෙනවා.

“නියමයිනෙ තරුණයා .... මං ඔහේට කතාකරන්න ඕනෙ කියලමයි හිටියේ. ඔහේලගෙ ප්‍රෝගැම් එක නම් මරේ මරු. මේ ...මට තව සින්දුවක් ගහනවකෝ හිනායන්නත් එක්ක. ඒක මාර පබ්ලිසිටිය පුතේ....” දේශපාලනඥයාගෙ කතාවට පස්සෙ ටාසන්ට දැනුනෙ අයිස් කැට වරුසාවක් ඔළුවට වැටුණා වගේ කියලා එක දවසක් චතුර මට කිව්වා.

ගොඩක් මිනිස්සු මේ අයට තැන් තැන්වල බැන බැන යනවනේ. මං දවසක් මේකත් ඇහුවා හම්බවෙච්ච වෙලාවක. ඒකට ඒ අය දුන්නෙ මෙන්න මේවගේ උත්තරයක්.

“උඩින් බනින හැමෝම හිත යටින් හිනාවෙනවා. හිනාවෙවී අහලා උඩින් තමන්ගෙ ප්‍රබුද්ධ කම පෙන්වන්න අපට බනිනවා. ඒත් ප්‍රබුද්ධ ගණයේ හැමෝම වගේ අපට කතාකරලා අඩුපාඩු පෙන්නලා දීලා හොඳ කියනවා. අපි කරන්නෙ පින් කමක්. පීඩනයෙන් තෙරපිලා ඉන්න කෙනෙක් ඉන් මුදවලා සන්තෝෂයට පත් කිරීම පුණ්‍ය කර්මයක්. මේ බනින හැමෝම අපේ ප්‍රෝගැම් එකෙන් රිලැක්ස් වෙලා අපටම බනිනවා.

තවමත් චුරු චුරු වරුසාව. හතරට තව ටික වෙලාවකුත් තියෙනවා. ආයෙමත් කඩපිලේ කතාව ටාසන් ගැන. මෙයාලට හරිම ජොලි වැඩ වෙනවා ඇති නේද? සිරි මල්ලි කතාවට එන්ටර් වුණේ කිරි අළුවා කෑල්ලක් රස බලමින්.

“ඔව්, ඔව්, ගුවන් විදුලි ශබිදාගාරය ඇතුළේ තුන්දෙනා සජීවීවනේ මේ වැඩසටහන කරන්නෙ. ඉතිං ඉස්සෙල්ලා සැලසුමක් හදාගන්නවලු කොහොමද කරන්නෙ කියලා. ඒත් ටික වෙලාවක් යද්දී තුන්දෙනා තුන්දෙනාට විහිළු කරගනිමින් යද්දි ට්‍රැක්එක මාරු වෙනවලු. එක එක්කෙනා කියන කතාවලට එක එක්කෙනාට හිනා යන නිසා කටවල් වහගෙන මූණ බලාගන්නෙ නැතුව තමයිලු කට්ටිය වැඩේ කරන්නෙ. ආකාශ්ට හිනා යනවා කියන්නෙ වැඩේ හරියටම හරි කියලයි ටාසන් බාප්පා කියන්නෙ. තව සමහර වෙලාවට තුන් දෙනාට හිනාව නවත්ත ගන්න බැරි වෙනවලු. මේ වගේ මාර දේවල් හැමදාම වෙනවා කියලා තමයි ඒ තුන්දෙනා කියන්නේ.

තුන්දෙනාට විහිළු කරගනිමින් යද්දි ට්‍රැක්එක මාරු වෙනවලු.

වැඩේ දිගටම ඇදෙයි නේ...

බංකුව අයිනෙ වැස්ස දිහා බලන් හිටිය සමන් ගොයියා ඇහුවෙ එකපාරටම.

ඔව්, ළඟදී වැඩසටහන වෙනස් කරනවා කියලයි කිව්වෙ.තුන්දෙනාම දක්‍ෂයොනේ දුලිප් සංගීත සංයෝජනය අතින් දක්‍ෂයා. ආකාශ් එහෙමත් නැත්නං නුවන් ප්‍රේමතිලක ඉදිරිපත් කිරීමට වගේම ශ්‍රාවකයා නිරතුරුවම රඳවාගන්න දන්න කෙනෙක්. ටාසන් බාප්පත් ඉතිං නිර්මාණශීලියිනෙ. මේ තුන්දෙනාම ශ්‍රී ඔෆ්. එම්. එකේ තනතුරු දරන හොඳ ලිවීමට කියවීමට වගේම තර්ක විතර්ක ගොඩනගන්නත් දක්‍ෂයන්. මේ තුන්දෙනා එකතුවෙලා ඉදිරියේදි වැඩසටහනට අලුත් අයත් එකතු කරන්න හිතාගෙනලු ඉන්නෙ.

මං කතාව නවත්තනකොට හතරයි.

මේ දැන් අපි ටාසන් බාප්පා අහමු.

මුදලාලි රේඩියෝ එක වැඩි කළේ වැස්ස ඇවිත් ටකරං වලට වැටෙන සද්දෙ පරද්දන්න.

සුපුරුදු වාදනේ සමඟ ටාසන් බාප්පා ඇවිත්. හැමෝටම හිනා අරන් ඔවුන් තුන්දෙනාම ඇවිත්.