වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් නම් මම එකිනෙකට වෙනස්

දැන් නම් මම එකිනෙකට වෙනස්

උපාලි කීර්තිසේන

නළුවෙකු නැතිව මා නළුවෙකු වුණා

උපාලි කීර්තිසේන ඔබ හමුවට පැමිණෙන්නේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු ලෙසිනි. ඒ රංගන භූමිකාවට අමතරව වෙනස් වූ චරිතවලට ඔහු පණ පෙවූ අවස්ථා ද නැතිවා නොවේ. සිතම්බර සළු ටෙලි නාට්‍යයෙහි රතු මලයා ලෙස ඔහු රඟපෑ චරිතය ද ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ හිරු දහසක් යට බන්දුගේ චරිතය ද එවැන්නකි. වසර විසි දෙකක් තරම් කලක් රංගන ක්ෂේත්‍රයෙහි විසූ ඔහු අධ්‍යක්ෂණය නම් නැවුම් කටයුත්තට ද පිවිසෙන වගක් අපට දැනගන්නට ලැබිණි. ඒ පිළිබඳත් ඔහුගේ රංගන චාරිකාව පිළිබඳත් ඔහු අප සමඟ මෙසේ සඳහනක යෙදුණි.

ඉතිං ජෝකීනු අයියෙ කොහොමද?

චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සකිසඳ සුවාරිස්’ ටෙලි නාට්‍යයේ මම රඟපෑව ඒ චරිතය බොහෝ දෙනෙකුගේම මතකයේ රැඳුණු චරිතයක්. බොහෝ දෙනෙක් තවමත් මාව අමතන්නේ ජෝකීනු අයියා කියලා. ඒක ගැන මට සතුටුයි.

මේ දවස්වල පුංචි තිරයේ විකාශනය වන ටෙලි නාට්‍ය කිහිපයකටම ඔබව නැතිව බැරි වෙලා නේද?

ඒ ගැන නම් මම ස්තුති කරන්නේ ඒ ඒ ටෙලි නාට්‍යවල අධ්‍යක්ෂවරුන්ටයි. ‘සබඳ බබානිස්’, ‘පාරා වළලු’, ‘කළු අරලිය’ වගේ ටෙලි නාට්‍ය කිහිපයේම මගේ රංගනය රසිකයන්ට දැකගත හැකියි.

මෙවර ඔබට රඟපාන්න ලැබුණු චරිත එකිනෙකට වෙනස් වග පෙනෙනවා?

ඇත්තටම ඔව්. හාස්‍ය උපදවන චරිත තමයි මට බොහෝ විට ලැබුණේ. ඒත් මම ‘පාරාවළලු’වල කරන්නේ බටහිරකරණයට නැඹුරු වුණු ජෙරම් කියන පුද්ගලයකුගේ චරිතයක්. ‘කළු අරලිය’ ටෙලි නාට්‍යයෙත් සිල්වා කියන සිකියුරිටි කෙනෙක්ගේ චරිතයක්. වැඩිපුර පුරසාරම් දොඩවන මේ චරිතය මට ලැබුණු චරිතවලින් වෙනස්ම චරිතයක්.

ඔබ රඟපානවා පමණක් නෙවෙයි ගීතත් ගයනවා?

රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ ඉගෙන ගත්ත මම පාසල් කාලයේදී ඉගෙන ගත්තේ සංගීතයයි. මගේ සංගීත ගුරුතුමා වුණේ ටී. එම්. ජයරත්න මහතායි. ඔහුගෙන් ස රි ග ම ප ධ නි ස කිව්ව මම රඟපෑම ගැන හිතලාවත් තිබුණේ නැහැ. ඒත් පාසලේදී කළ ගීත නාටකයකදි ළමයෙක් ඇවිත් හිටියේ නැහැ. ඒ චරිතය කරන්න කියලා ඒක පුරුදු කළ ගුරුතුමා මට කිව්වා. මම ඒ චරිතය රඟපෑවා. අවසානයේ ඒ චරිතය රඟපාමින් ගීත කියන්නත් මට සිදු වුණා. රඟපෑම ගැන ආශාවක් මගේ හිතේ ලියලන්න හේතු වුණේ ඒ සිද්ධිය තමයි.

එදා පටන් ඔබ නළුවෙක් වෙන්න මහන්සි වුණාද?

ඇත්තම කිව්වොත් මට නළු උණ වැළඳුණා. මම සරසවිය පත්තරේ බලලා ඒවායේ ගිය අයැදුම් පත්‍රවලට පෝස්කාඩ් යැව්වා. ඒ විදියටයි නළුවෙක් වීම ආරම්භ වෙන්නේ.

මුලින්ම රඟපෑමෙන් සම්බන්ධ වෙන්නේ වේදිකාවෙන්ද?

ගාමිණී කොස්තාගේ වේදිකා නාට්‍යයකටයි මම මුලින්ම රංගනයෙන් සම්බන්ධ වෙන්නේ. නමුත් කාලයක් යන විට මම රංගනයත් හදාරනවා. ඒ සංස්කෘතික අමාත්‍යාංශයෙන් ජෝන් ද සිල්වා එකේ කළ තරුණ රංග ශිල්පායතනයෙන්. ඒක කළේ සිරිතුංග පෙරේරා. රඟපාන්න, අධ්‍යක්ෂණය, පිටපත් රචනය කියන සෑම අංශයක්ම එතනදි අපට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ පංතියේදී මට මතක විදියට ජයලාල් රෝහණ, පාලිත සිල්වා, රොජර් සෙනෙවිරත්න වගේ අද රංගනයෙන් හොඳ තැනක සිටින රංගන ශිල්පීන් පවා සිටියා. ඒ සියලු කටයුතු අවසානයේ මට හිතුණා වේදිකා නාට්‍යයක් ලියන්න. ඒකට මට උදව් කළේ පාලිත සිල්වා. ඒ වේදිකා නාට්‍ය ‘සොල්දර ගෙදර’ කියලා වේදිකා ගත වුණා. මේ නාට්‍යයේ ලිලියන් එදිරිසිංහ, පර්ල් වාසුදේවි, දේවිකා කරුණාරත්න කියන අය රඟපෑවා. කාලයක් යද්දී මට එහි වියදම දරන්න බැරිව මම ලොස්ට් වුණා. ඒත් කාලයකදී මේ නාට්‍යයයි ‘සල්ලි’ කියන වේදිකා නාට්‍ය දෙකම මම යුද්ධය කාලයේ උතුරේදී වේදිකා ගත කළා.

යුද්ධය අතරේ වේදිකා නාට්‍ය වේදිකා ගත කරන්නේ කාටද?

විශේෂයෙන්ම උතුරු - නැගෙනහිර කඳවුරුවල මේ වේදිකා නාට්‍ය වේදිකාගත වුණේ සොල්දාදුවන්ටයි. සාමය ලැබුණටත් පස්සේ මුලින්ම අපේ කණ්ඩායමයි උතුරේ වේදිකා නාට්‍යයක් රඟ දැක්වූවේ. එහෙම කළා කියලා අපි කිසිම මුදලක් ඔවුන්ගෙන් අය කළේ නැහැ. නොමිලේ නාට්‍ය පෙන්නුවා. අවසානයේ ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොයි තරම් අපූරු ද කියලා අපට දැනුණා. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ 12 වැනිදාට මේ වේදිකා නාට්‍යය දර්ශන වාර දාහක් සම්පූර්ණ කළා.

ඇත්ත ද ඔබ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා කියන්නේ?

මේ වනවිට මගේ රංගන ජීවිතයට වසර 22 ක් පමණ වෙනවා. දිගු කාලයක් ගත වුණ නිසා මොකක් හෝ අලුත් යමක් කළ යුතු බව සිතුවා. ඒ සඳහා පිටපත ලිවීමට අවශ්‍ය තේමාව මා මේ වන විටත් සිතා අවසාන නිසා වගේම පිටපතේ කටයුතුත් බොහෝ දුරට අවසානයි. ප්‍රවීණ නළු නිළියන් කිහිප දෙනෙකුටත් මෙහි රඟපාන්න ආරාධනා කළා. ඔවුන් සියලු දෙනාගෙන් අනුමැතිය ලැබුණා. ඒ අතර ආධුනික නළු නිළියක් කිහිප දෙනෙකුත් සමඟ කටයුතු කරන්නටත් මම බොහොම කැමැත්තෙන් ඉන්නවා. රඟපාන්න කැමැත්තක් දක්වන ආධුනික අය සිටිනවා නම් ඒ අයට මගේ ටෙලි නාට්‍යයේ අවස්ථාවක් ලබා දෙන්න මම කැමැතියි. ඒ වගේම ඒකාකාරී ටෙලි නාට්‍ය රැල්ලෙන් ඈත් වෙලා වෙනස්ම ටෙලි නාට්‍යයක් නරඹන්නන් වෙතට රැගෙන එන්නත් ඉන් මා අදහස් කරනවා. මේ සියලු බලාපොරොත්තු සමඟ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ළඟදීම ආරම්භ කිරීමටත් මා අදහස් කරගෙන සිටිනවා.

වර්තමානයේදී අපට දක්නට ලැබෙන්නේ බොහෝදෙනා අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට පිවිස සිටින බවයි. ඔබ ඒ භූමිකාවට උචිතද?

මම රංගන ක්ෂේත්‍රයට පිවිසිලා දිගු කාලයක් නිසා අත්දැකීම් රාශියක් මා සතු බව නම් සත්‍යයක්. ඒ අත්දැකීම් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට මට අපූරු උදව්වක් වන බව මා දන්නවා. නමුත් මගෙත් අඩුපාඩු තිබිය හැකියි. මොකද තවම මම ඒ අංශයෙන් ප්‍රවීණත්වයට පත් නොවුණු කෙනෙක් නිසා. ඒ අතරම මෙය නිෂ්පාදන කටයුතු කරන්නෙත් මා බව ද පැවසිය යුතුයි. ඒ වගේම මේ කාරණයත් කියන්න ඕනෑ. යමෙකුට මට කතා කරන්න අවශ්‍ය නම් 0714802452 යන දුරකතන අංකයට කතා කිරීමෙන් එය කළ හැකියි.