|
ඩ්‍රැකියුලා චිත්‍රපට පිළිබඳ කතා මාලාවලේ පිපාසිතයන්ගේ පුනරාගමනය ‘ලස්ට් ෆොර් අ වැම්පයර්’
සමාජයට කල එළි බසින ඉහළ පෙළේ නව යෞවනියන් ගේ චර්යා රටා, ඇවතුම් පැවතුම් සහ ගති සිරිත් එම පෙළැන්තියනට සරිලන පරිදි පුහුණු කිරීම මෙම පාසල විසින් සිදු කරනු ලබන ප්‍රධාන රාජකාරිය වෙයි. පාසලට අලුතින් ඇතුළත් වූ යොවුන් තරුණියන් අතර වූ ‘මිර්කාලා හෙරිට්සන්’ අනෙක් සියල්ලන් අබිබවා කැපී පෙණුනේ ඈ සතු අයස්කාන්ත රූ සපුවට අමතරව සිත් වසඟ කරවන සුළු සරාගී බැල්මත් නිසාවෙනි. පිරිමින් පමණක් නොව කාන්තාවන්ද ඇගේ රූ සිරියෙන් වශීවන බව සනාථ කරමින් පැමිණි මුල් සතියේදීම තම නේවාසිකාගාරයේ කාමරය බෙදා හදා ගන්නා යෙහෙළිය වූ සුසන් සමඟ ඈ අනියම් ඇසුරක් ආරම්භ කළාය. යක් දෙස්සියන් පිළිබඳ ප්‍රවාද අළලා ග්‍රන්ථකරණයේ නියැළෙන ප්‍රවීණ ගත්කතුවරයකු වන රිචඩ් ලෙස්ට්‍රේන්ජ් ද පාසල වෙත පැමිණෙන්නේ මේ අතරතුරය. ‘මිර්කාලා’ දුටු සැනින් තරුණ රිචඩ් ගේ සිත කාන්දමක් මෙන් ඈ වෙත ඇදී යන්නේ ඇගේ මනරම් රූ සපුවේ මහිමයෙනි.
කාන්ස්ටයින් නම් ප්‍රභූ පරපුරට අයත් ගරා වැටුණු පෞරාණික මන්දිරයක් පාසලට තදාසන්න
භූමි භාගයක ඇති අතර එම පෙළපතේ ප්‍රභූවරුන් ලේ උරාබොන වැම්පයවරුන් ලෙස ගැමියන් අතර
ජන ප්‍රවාදයක් පවතියි. ගමේ අවන්හලේ සේවය කරන තරුණියක් ගෙලෙහි සියුම් දත් සලකුණු
දෙකක් සහිතව මියගෙස් සිටි අයුරු දකින රිචඩ්, කාන්ස්ටයින්වරුන් පිළිබඳ තොරතුරු
ගම්මුන් වෙතින් අනාවරණය කර ගනියි. කාන්ස්ටයින් සිටු පරපුර ගැන නිරීක්‍ෂණයේ යෙදෙන පාසල් ප්‍රධානාචාර්යවරයා වන ගයිල්ස් බාට්න්, ‘මිර්කාලා’ එම පරපුරේ කාමිලා කාන්ස්ටයින් නම් අමනුෂ්‍ය දූතිකාව ගේ නැවත පහළ වීමක් බව සොයා ගනී. එහෙත් එම රහස වැළලී යන්නේ එක්තරා රාත්‍රියක බාට්න්, මිර්කාලා ගේ ගොදුරක් බවට පත්වී මිය යෑමෙනි.
මේ අතර මිර්කාලා සහ ඇගේ යෙහෙළිය සුසන් අතර වූ සමලිංගික සබඳතාව ගැන ඉව වැටුණු පාසල් නැටුම් ගුරුවරිය වූ ‘ජෙනී’ රිචඩ් හට අනතුරු ඇඟවීම් කරන්නේ ඈ ඔහු ගැන විමසිල්ලෙන් සිටි හෙයිනි. එහෙත් ඒ කිසිවක් කනකටවත් නොගන්නා රිචඩ් රහසේ මිර්කාලා හමුවී රිසිලෙස පෙම් සුව විඳීම සිරිතක් කොට ගනියි. හදිසියේම පාසල් නේවාසිකාගාරය කැලඹෙන්නේ මිර්කාලා ගේ යෙහෙළිය සුසාන් ගේ අබිරහස් අතුරුදන් වීමෙනි. පසුව ඇගේ මළ සිරුර පාළු ළිඳක් තුළ තිබී සොයා ගන්නා විට ඇගේ ගෙලෙහි සියුම් දත් පහර දෙකක් දක්නට ලැබෙයි. ඇගේ මරණයද එක්වන්නේ ගමේ සෙසු තරුණියන්ගේ අබිරහස් මරණ ලැයිස්තුවට ය.
ඒ වනවිට මිර්කාලා ද ඇගේ දෙමාපියන් ගේ කැඳවීමෙන් මැදුර වෙත ගොස් සිටියි. මැදුර වැටලූ ගම්මු ඇවිලූ ගින්නෙන් මැදුර හාත්පස ගිනි ජාලාවලින් වට වෙද්දි මිර්කාලා සොයා ආ රිචඩ් ද මැදුර තුළ ගින්නට මැදිවෙයි. තම පෙම්වතිය බේරා ගැනීමට වෙර දරන රිචඩ් හා මිර්කාලා අතරට කඩා වැටෙන ගිනිබත් වූ බාල්කයකට මිර්කාලා යටවීම නිසා කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයට පත්වන රිචඩ් මිර්කාලාට අත්වූ ඉරණම ගැන කම්පාවට පත්ව සිටියි. ගින්නට මැදිව සිටින රිචඩ් ගම්මුන් විසින් බේරා ගන්නේ ඔහු පිළිබඳ ඇල්මෙන් යුතුව ඔහු පසුපස ආ ‘ජෙනී’ ගේ මැදිහත් වීමෙනි.
බුර බුරා නැඟෙන ගිනි ජාලාවලින් මැදුර වෙළී යද්දී මැදුර තුළින් යම්කිසි අමනුෂ්‍ය
හඬක් දෝංකාර දෙයි. ඒ ‘ගින්නෙන් අපට කිසිදු හානියක් කළ නොහැක’ යනුවෙනි. ‘ලස්ට් ෆොර්
අ වැම්පයර්’ චිත්‍රපටයේ සිදුවීම් දාමය පෙළ ගැසී ඇත්තේ ඉහත සඳහන් අයුරිනි.
1 කාන්ස්ටයින් වැම්පයර් පරපුර පාදක කරගනිමින් නිෂ්පාදනය වුණු තුන් ඈඳුතු චිත්‍රපටවලින් මෙයද එකක් වන අතර අනෙක් චිත්‍රපට වන්නේ ‘වැම්පයර් ලවර්ස්’ සහ ‘ට්වින්ස් ඔෆ් ඊවිල්’ ය. මෙම චිත්‍රපට තුනෙහි කතා පුවත් එකකට එකක් බැඳී නොමැති අතර විවිධ කතා තේමා ඔස්සේ විකාශනය වී තිබීම විශේෂත්වයකි. එහෙත් චිත්‍රපට තුනටම පොදු වූ එකම සාධකය ලෙස පෙනී යන්නේ රූමත් තරුණියන් අතර වන සමලිංගික චර්යාවන් හුවා දැක්වීම පමණි. ඒ අනුව මෙම චිත්‍රපට ත්‍රිත්වය විවිධ වාරණයන්ට ලක්විය. කතා පුවත්වලට සරිලන පරිදි ප්‍රධාන චරිත සඳහා සරාගී පෙනුමෙන් යුත් රූමතියන් යොදා ගැනීමට නිෂ්පාදකවරු සැලකිලිමත් වී ඇත. රූබර යූටී ස්ටෙන්ස්ගාඩ් ප්‍රධාන නිළි චරිතය වන ‘මිර්කාලා’ ලෙස රඟපෑමට යොදාගෙන ඇත්තේ ඒ අනුවය.
පාසල් නැටුම් ගුරුවරිය, ජෙනී ලෙස
රඟපාන සුසානා ලී ද එවන් රූමතියකි. මිර්කාලා ට පෙම් බඳින රිචඩ් ගේ චරිතය රඟපෑවේ
මයිකල් ජොන්සන් විසිනි. පිපා ස්ටීල්, මිර්කාලා ගේ සමලිංගික යෙහෙළිය ගේ චරිතය
නිරූපණය කළ අතර හෙලන් ක්‍රිස්ටි, ජූඩි මැතිසන්, ක්‍රිස්ටන් ලින්ඩ්හෝම් ඇතුළු
රූමතියන් රැසක් සෙසු පාසල් ශිෂ්‍යාවන් ගේ චරිත රඟපෑහ. ප්‍රධානාචාර්ය වරයා වන
ගයිල්ස් මාර්ට්න් ලෙස රැල්ෆ් බේට්ස් ද, බාබරා ජෙෆඩ්, හෙරිට්සන් ආර්යාව ලෙස ද රංගනයට
එක්විය. ‘මිර්කාලා’ හෙවත් ප්‍රධාන නිළි චරිතයට මුලින් තෝරාගෙන තිබුණේ ‘වැම්පයර් ලවර්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ඉන්ගි‍්‍රඩ් පිට් වන නමුදු යම් කිසි අප්‍රකාශිත හේතුවක් මත ඈ එම චරිතය ප්‍රතික්‍ෂේප කළාය. ඩ්‍රැකි්‍යුලා චිත්‍රපටවල යාවජීව නළුවකු වන පීටර් කුෂීන් ද තම බිරිඳ ගේ තදබල රෝගී තත්ත්වය හේතුකොට ගෙන රඟපෑමෙන් ඉවත් විය. චිත්‍රපටයට සංගීතය සැපයුවේ හැරී රොබින්සන් විසිනි. ඩේවිඩ් මුයර් ගේ කැමරාකරණයෙන් සහ ස්පෙන්සර් රීව් ගේ සංස්කරණයෙන් චිත්‍රපටය වර්ණවත් විය. දුර්වල නිෂ්පාදනයක් ලෙස විචාරක ප්‍රතිචාරයන්ට ලක් වුවත් 70 දශකයේ තිරයට ආ පැරැණි භීෂණ චිත්‍රපට පි‍්‍රය කරන්නන් හට අන්තර්ජාල වේබ් අඩවි හරහා සහ යූ ටියුබ් ඇසුරින් ‘ලස්ට් ෆොර් අ වැම්පයර්’ චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව උදාකරගත හැකි බව සඳහන් කරන්නේ සතුටිනි.
ලබන සතියේ ‘කොපෝලා ට හමු වූ ඩ්‍රැකි්‍යුලා’.
|