වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




T o p T e n

T o p T e n

ප්‍රේමණීය පුවතක් මුල් තැනට ස්පයිඩර් මෑන් ඉවතට

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි මෙම සතියේ අංක එක දිනා ගන්නේ ජෝෂ් බෝන් අධ්‍යක්‍ෂණය කළ The Fault in Our Stars  චිත්‍රපටය යි. පසුගිය ජුනි 06 වැනිදා සිට අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළ මෙම චිත්‍රපටය සති අන්තය වනවිට දී ඩොලර් මිලියන 48.2 ක ආදායමක් උපයා තිබුණි. ප්‍රේමණීය කතා පුවතක් රැගත්  The Fault in Our Stars හි ෂෙලින් වූඩ්ලි, අන්සෙල් එල්ගෝර්ට්, නැට් වොල්ෆ් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

ගෙවී ගිය සතිය පුරාවට බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ පෙරමුණ ගෙන සිටි මන:කල්පිත ක්‍රියාදාම පවුලේ චිත්‍රපටයක් වන Maleficent දෙවැනි ස්ථානයට පැමිණ සිටියි. එය පසුගිය සති අන්තයේ දී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 33.5 කි. පසුගිය ජුනි 06 වැනිදා සිට අමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ  Edge of Tomorrow  චිත්‍රපටයට තෙවැනි ස්ථානය හිමි වී තිබේ. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙය ඩව්ග් ලීමන් ගේ අධ්‍යක්‍ෂණයකි. ටොම් කෲස්, එමිල් බ්ලන්ට්, බිල් පැක්ස්ටන් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. පසුගිය සති අන්තය වනවිට දී එය ඩෝලර් මිලියන 29.1 ක ආදායමක් උපයාගෙන තිබුණි.

බ්‍රයන් සින්ගර් අධ්‍යක්‍ෂණය කළ X-Men : Days of Future Past චිත්‍රපටය සිව්වැනි ස්ථානය දක්වා පහළ බැස තිබේ. පසුගිය සතියේ දෙවැනි ස්ථානය හිමිව තිබූ එය දැන් ගත කරන්නේ අමෙරිකානු ප්‍රදර්ශනයේ තෙවැනි සතිය යි. සති අන්තයේ දී එය ඩොලර් මිලියන 14.7 ක ආදායමක් වාර්තා කළේය. සීත් මැක්ෆ‍්‍රාලෙන් අධ්‍යක්‍ෂණය කළ ඒ A Million Ways to Die in the West චිත්‍රපටයට හිමි වන්නේ පස් වැනි ස්ථානය යි. සති අන්තය වන විටදී එය ඩොලර් මිලියන 7.2 ක ආදායමක් ලබා තිබුණි. විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Godzilla සති අන්තයේ දී ඩොලර් මිලියන 6 ක ආදායමක් වාර්තා කරමින් හයවැනි ස්ථානය හිමිකර ගත්තේය.

නිකොලස් ස්ටෝලර් අධ්‍යක්‍ෂණය කළ Neighbors චිත්‍රපටය ඩොලර් මිලියන 5.2 ක ආදායමක් උපයා හත්වැනි ස්ථානයට පැමිණි චිත්‍රපටය යි. හාස්‍යමය චිත්‍රපටයක් වන ෆ්‍රෑන්ක් කොරාසි අධ්‍යක්‍ෂණය කළ Blended  චිත්‍රපටයට හිමි වී ඇත්තේ අටවැනි ස්ථානය යි. ජෝන් ෆෙව්රේව් අධ්‍යක්‍ෂණය කළ Chef නමවැනි ස්ථානයටත් ක්‍රෙග් ගිල්ස්පි අධ්‍යක්‍ෂණය කළ  Million Dollar Arm  චිත්‍රපටය දසවැනි ස්ථානයටත් පත්වී තිබේ. පසුගිය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ රැඳී සිටි The Amazing Spider Man 2  චිත්‍රපටය සහ The Other Woman චිත්‍රපටය මෙවර ඉවතට ගොස් තිබේ.