වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




යොමා මුදුනෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ

යොමා මුදුනෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ

- රඹුකන සිද්ධාර්ථ හිමි

ගේයපද රචකයකු  තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

අතීතය පිළිබඳ මතකය අවධි වන්නේ ගිහි අපගේ සිතෙහි පමණක් නොවේ. පැවිදි උතුමෙකුට වුව ද එසේ සිය මතකයෙහි අතීත සිතුවිලි අවධි වීම වැළැක්විය හැකි නොහැක්කකි. පොසොන් පෝදා සිය සිතෙහි බැඳි අතීත මතකය ගෙන හැර පාන්නට මෙවර මතක ගීී පොතට සහභාගි වන්නේ ගේය පද රචක හිමි නමක් ලෙස ජනාදරයට පත් රඹුකන සිද්ධාර්ථ හිමියි.

පොසොන් පෝය උදාවන්නට තව ඇත්තේ හෝරා කිහිපයක් පමණි. එනමුදු පොසොන් සඳ අහස අරා නැඟී දිලුනෙන්, පොසොන් සඳ කිරණෙන් නැහැවුණු පරිසරයෙන් පළ වූයේ අමුතුම සිරියාවකි. ඒ සිරියාවෙන් ඔද වැඩුණු ගහ කොළවල සිරි සිරිය මගේ සිතට කතා කරන්නේ යැයි මට සිතෙයි. කවුළුවෙන් මා වැඩ සිටින ලැඟුම් ගෙට ඇතුළු වන සඳ කිරණ දෙස මම බලා උන්නෙමි. එය භාවනාවකට අපූරු නිමිත්තක් නොවේදැයි මට සිතුණේ ඉබේටමය. මම ලැඟුම් ගෙයෙන් මිදුලට බැස්සෙමි. සඳ කිරණ වැදී දිලිසෙන බෝපත් මඳනල හා මුසුවීම නිසා තාලයට නැටවෙන්නේ වන්නමක පද සිහිපත් කරමිනි. මඳනල හමන වේගය මඳක් වැඩි වූයෙන් දෝ ඝන්ඨාර කුළුණේ වූ ඝාන්ඨාරය සෙමෙන් පැද්දෙන්නේ සිහින් හඬක් නංවමිනි.

හෝරා කිහිපයකට පෙර උවැසි - උවැසියන්ගේ පා පහස ලැබූ බෝ මළුව දැන් නිශ්චලය. ඉඳීකටුවක් වැටුණ ද ඇසෙන තරමට නිශ්ශබ්ද වූ පරිසරය ස්වභාව දහමේ අපූරු නිමැවුමක් නොවේදැයි මගේ සිත මට මොර ගෑවේය. ඒ පරිසරයේ වූ සුන්දරත්වයෙන් නිරාමිස ප්‍රීතියක් ලැබූ මගේ මතකයට පිවිසියේ බුදුපියාණන් වහන්සේ හා පරිසරය පිළිබඳ මතකයයි. විවිධ අවස්ථාවලදී උන්වහන්සේ පරිසරයෙහි වූ රමණීයත්වය භික්ෂූන් වහන්සේලාට දේශනා කළ අයුරු මට මැවී පෙනෙන්නට වූයේ නිතැතිනි. මම නැවතත් ලැ¼ගුම් ගෙට පිවිසෙන්නට පා එසැවීමි. ලැ¼ගුම් ගෙයෙහි මේසය මත තිබූ දිනපතා පුවත්පත මා නෙත ගැටුණේ අහම්බයෙනි.

‘සැමියා බිරිය මරා දමයි’

එහි වූ පුවත මගේ සිත සසල කළේ විගසිනි. තත්පර කිහිපයකට පෙර නිසල වූ සිත සසල විය. පසුගියදා කියැ වූ එවැනි අදහස් රැගත් විවිධාකාර සිතුවිලි එකින් එක යටි සිතෙහි පෙරළි කරන්නට වූයේ මටත් නොදැනීමය. මම නැවතත් කවුළුව අතරෙන් එබී බැලීමි. ඊළඟට මා නෙත ගැටුණේ සඳකැන් දහරෙන් නෑවෙන සෑ රඳුන්ගේ කොතයි. එය මුළු පරිසරයම ආලෝකවත් කළේ රන් පැහැයෙන් බබළමිනි. ඒ සිතුවිල්ලෙන් ඈත් වූ සිත තවත් සිතුවිල්ලක් කරා ගමන් කළේ අසුරු සැනෙණි. ඒ මේ සොඳුරු වූ සමාජය විෂම වූ අයුරු සිහිපත් කරමිනි.

‘ඇත්තටම දැන් අම්මා, තාත්තාව පවා දරුවන්ට විශ්වාස නැහැ. දරුවන්ට ආරක්ෂාව දෙන්න ඕනෑ ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්න දරුවන්ට සිදු වෙලා’

මම මටම මුමුණා ගතිමි. මගේ සිතට පිවිසියේ බුදුපියාණන්ගේ රූපකායයි.

‘අනේ උන්වහන්සේට වඩින්නට සුදුසුම කාලය මෙය නොවේද?’

යැයි මම මා සමඟම තර්ක කළෙමි. එක් වරම මගේ සිතට පිවිසියේ මෙම ගීතයයි.

නිදුකාණනේ
නිදුකාණනේ

යොමා මුදුනෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ
යොමා මුදුනෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ

සිතෙන් සිතට රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවෙන් මුවඟ ගලනා නාග විස
උනුන් නසාලන අසිරි බලන්නට
උනුන් නසාලන අසිරි බලන්නට
යොමා මුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ

නෙතින් නෙතඟ ගැටෙනා රාග සිත
ලෙවන් වෙතින් පිසදා හරින්නට
බියෙන් සැකෙන් නැඟෙනා තාප ගිනි
දයා දියෙන් සනහා නිවන්නට
දයා දියෙන් සනහා නිවන්නට
කාලයයි නිදුකාණනේ
දීීපයයි නිදුකාණනේ
දේශයයි නිදුකාණනේ
වඩිනු මැන නිදුකාණනේ
 

ගේය පද – කුමාරදාස සපුතන්ත්‍රි

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය - සුනිල් එදිරිසිංහ

 

මේ ගීතය ගයන සුනිල් එදිරිසිංහයන්ගේ සුපහන් ස්වරය මට ඇසෙන්නාක් බඳු විය. සිත නිවී සැනහෙන ‘නිදුකාණනේ’ ගීතය ශ්‍රවණය කිරීමේ භාග්‍ය උදාවන්නේ මා සරසවියෙහි අධ්‍යාපනය ලබමින් සිටි අවධියෙහිය. ගීත සාහිත්‍යයෙහි සිළුමිණ වූ 70 දශකයේදී බිහි වූ මෙම ගීතයට මා කෙතරම් ප්‍රිය කළේ ද යත් එකල නිතරම මෙන් මගේ මුවගේ රැඳී තිබුණේ මෙම ගීතය බව මට හොඳට මතකය. මෙලෙස අප මතකයේ රැඳවීමට තරම් මේ ගීතයේ පද කෙතරම් අර්ථවත් අයුරෙන් ගැයෙන්නේ ද, ඒ තරමටම අර්ථවත් ලෙස කුමාරදාස සපුතන්ත්‍රි පද ගොතා තිබීම ද අපූරුය.

ඒ අනුව මිනිසුන්ගේ සිත්වල තිබෙන්නා වූ රාග, මෝහ, කෝප, තණ්හාව ආදී සිතුවිලි නිසා ඔවුන් කොපමණ විපතකට පත් වී සිටින්නේ දැයි අපට පෙනෙයි. ඔවුන්ගේ සිතෙහි නැඟි කෝපයෙන් උනුන් දවාලන අයුරුත්, උනුන් නැසෙන අයුරුත් අපගේ නෙතට දෘශ්‍යමාන වෙයි. එවැනි වූ මිනිසුන් අතරට වඩින්න යැයි බුදුපියාණන්ට කරන ඇරැයුම අපගේම ඇරැයුමක් නොවේදැයි මට සිතෙයි. සත්‍ය ලෙසම මේ කාලය බුදු කෙනෙකුන් වැඩිය යුතු කාලයම නොවේදැයි ඒ ඇරැයුමෙන් මම සසලව සිටිමි. ඒ මා පැතුම ද එයම වන බැවිනි. මේ උතුම් පොසොන් පෝ දිනයේ අපගේ ඒ පැතුම සඵල වන්නේ නම් යැයි සිතේ. එවැනි පැතුමක් සඵල වේ යැයි සිතීමට තරම් මේ ගීතය ප්‍රබල වෙයි. අපව එවැනි සිතිවිල්ලක් අතරට රැගෙන යන්නට තරම් රෝහණ වීරසිංහගේ සංගීතය ද ඊට අනුබල දෙන්නේ අපූරු ලෙසිනි. මේ ගීතය මගේ මතකයේ සඳා රැඳීමට තරම්, මා හදවත පතුලෙහිම තැන්පත් වීමට තරම් ප්‍රබල ලෙස ඒ සංගීතය මගේ මතකයේ රැදී ඇති බව ද කිව යුතුමය. ඒ නිසාම මම මේ ගීතය බෙහෙවින් ප්‍රිය කරමි.

මගේ සිත් බැඳි අනෙක් ගීතය වන්නේ මෙයයි. ඒ ගීතයට ද මම බෙහෙවින් ආදරය කරමි.

අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට පවරා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ
හිඳ හිනැහෙන්නේ
අපෙ අප්පච්චී

අපා දෙපා සිව්පාවුන්
ගෙන එන වින වළකන්නට
සනසා නුඹ අප වට කර
ඬු වැට වෙච්චී
මහ කැළේට ඇස් මානං
අපෙ අප්පච්චී

ජීවිතයේ බඹර හෙලේ
පැණි හොයලා රූටන්නේ
හිත හයියට කලවැල් පොට
වර පොට වෙච්චී
විරිය පාරමිතා පුරන
අපෙ අප්පච්චී
 

ගේය පද - වෛද්‍ය ගයාමන් දිසානායක

සංගීතය - සමන්ත පෙරේරා

ගායනය – ක්‍රිශාන්ත එරන්දක

 

දයාබර අප්පච්චී,

ඔබගේ මතකය මට අමතක නොවන බණ පදයක් සේ මා සිත පතුලෙහි තැන්පත් වී ඇත්තේ මටත් නොදැනිමය. මේ පසුගිය බක් මාසයේ 15 වැනිදා ඔබ මෙලොවෙන් සමුගෙන වසර පහළොවකටත් වඩා වැඩි කාලයක් බව මගේ මතකයේ ලියැ වී තිබේ. ඒ සිදුවීම පෙළ මට අද ද සිහිපත් වන්නේ ඊයේ, පෙරේදා සිදුවීම් පෙළක් අයුරෙනි.

ඔබ මියගිය පුවත ඇසූ එකල මා සිත සසල වූ බව අමුතුවෙන් කිවයුතු නැත. ඔබගේ දෙණ අසල පවුලේ සියල්ලන් ඉකිබිඳ හඩා වැටෙද්දී මම හදවතෙන් හඬා වැටුණෙමි. මිය ගිය ද ජීවත්ව සිටිද්දී ඔබ කෙරෙහි වූ ගාම්භීර ස්වභාවයේ අඩුවක් ඔබගේ දෙණෙහි මම නුදුටීමි. ඔබ හා සම්බන්ධ සිතුවිලිවලින් මම ව්‍යාකූල වී සිටියෙමි. ව්‍යාකූල බව අතරෙන් අතීතයේ වූ බොහෝ සිදුවීම් එකින් එක මගේ මතකයට නැගුණේ රූප පෙට්ටියක රූප රාමු මෙන්ය.

ඉන් වඩාත් මා මතකයෙහි තැන්පත් වී ඇත්තේ මා ශාසනයෙහි මහණවීමට කැමැති බව නිවෙසට පැමිණ අම්මා සමඟ පැවසූ අවස්ථාවයි.

‘අම්මේ මට මහණ වෙන්න ඕනෑ. ඒත් අම්මගෙයි අප්පච්චිගෙයි කැමැත්ත නැතිව බැහැ’

ඔබ ඒ වදන් අසා සිටියා විනා මගේ සිත රිදෙන කිසිදු වචනයක් එවේලෙහි නොතෙපලූ බව මට සිහිපත් වෙයි. එනමුදු අප්පච්චී ඔබ ඊට අකැමැති බව ප්‍රකාශ කර තිබුණේ අම්මා සමඟය. දින සති ගෙවී ගියේය. ඔබගේ කැමැත්තට අනුව මම භික්ෂු ශාසනයට ඇතුළත් වීමි. ඔබ මිය යන එකල තරුණ භික්ෂුවක්ව සිටි මට ඔබ පිළිබඳ ශෝකයෙන් ඈත්වීමට පිළිසරණ වූයේ බුදුපියාණන් දෙසූ බණ පදයකි. ඔබගේ දෙණ අසල හිඳිමින් මම ජීවිතයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කළෙමි. අද ද ඔබගේ මතකය සිහිපත් වන විට සිතෙහි ඇති වන ශෝකය මා සනසන්නේ ඒ අනිත්‍යතා ධර්මයයි. එවිට මගේ හදවතට සිහිපත් වන මේ ගීතය ද ශෝකයෙන් ඈත්වීමට මට අපූරු ඔසුවකි.

පියෙකු පිළිබඳව, ඔහුගේ හැඟීම පිළිබඳව ලියැවුණු ගීත අපගේ ගීත සාහිත්‍යයෙහි ලියැ වී තිබෙන්නේ මඳ වශයෙන් බව සැබෑවකි. එසේ ලියැවුණු සොඳුරු ගේය පද බැඳුමක් වූ මේ ගීතය මගේ හදවත පතුලෙහිම සදාකල් පවතින පිය ගුණ ගීයකි. පියෙකුගේ හදවතක සැබෑ තතු හෙළි කරන ගයාමන්ගේ අපූරු ගී පැබැඳුම වඩාත් අර්ථවත් කිරීමට ක්‍රිශාන්ත එරන්දකගේ මියුරු ස්වරයත්, සමන්ත පෙරේරාගේ මියුරු සත්සරත් හේතු වුවා යැයි මම කියමි. මේ නිසාම මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කරමි. ආදරය කරමි.