වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ස්ටැන්ලිට ඕ පොසිටිව් වකුගඩුවක් ඕනෑ

ස්ටැන්ලිට ඕ පොසිටිව් වකුගඩුවක් ඕනෑ

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලේ
පලා ඇවිත් . . . සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලේ

 

හරිම ලස්සන සිංදුවක් නේද? අමිත් . . .

මොකද නැත්තේ. නියම චිත්‍රපට ගීත කියන්නේ මෙව්වට තමා. ඒ සිංදු අහද්දි ඉබේටම චිත්‍රපට දර්ශන පෙළ මතක් වෙනවා.

මම හිතන්නේ මේ සිංදුව තියෙන චිත්‍රපටයත් එඩිට් කළේ ස්ටැන්ලි අයියා.

එක වෙන්න ඇති සද්දෙට සිංදුව දාගෙන ඉන්නේ. අතීතයත් මතක් වෙනවා ඇති.

අපි දැන් ගිහින් කතා කළොත් ඩිස්ටර්බ් වෙයි ද දන්නේ නැහැ.

කෝකටත් කියලා දොරට තට්ටුවක් දාලා බලන්නකෝ.

දොර විවර කරගෙන පිටතට පැමිණියේ කාන්තාවකි.

ස්ටැන්ලි බිරිය ඕෂධී සමඟ

ස්ටැන්ලි අයියා ඉන්නවද?

ඔයාලා?

අපි ‘සරසවිය’ පත්තරෙන්.

පින් සිද්ධ වෙනවා ස්ටැන්ලි අයියව බලන්න ආපු එකට. එන්නකො ඇතුළට. ස්ටැන්ලි . . . බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා.

ඇගේ හඬින් අපි බලාපොරොත්තුව සිටි ඔහු සාලයට පැමිණියේ තරමක අපහසුවෙනි.

අනේ ඕෂධී මට මේ අයව වැඩි නිච්චියක් නැහැනෙ.

මෙයාලා සරසවිය පත්තරෙන්.

අහ් . . . සමාවෙන්න පුතේ හැඳින්නෙ නැති වුණාට. මට අසනීප වුණාට පස්සේ කල්පනාවත් ටිකක් මදි. අනික මම මේ තත්ත්වෙන් ඉන්නවා කියලා කවුරුවත්ම දන්නේ නැති තරම්.

අපට කිව්වේ උදයකාන්ත අයියා.

එහෙමද? උදයකාන්ත උදේ හවා මම ගැන හොයලා බලනවා. ඒ වගේම මහීල් පෙරේරා, හරිත් නන්දසිරි කියන දෙන්නත් එහෙමයි.

ඉතින් ස්ටැන්ලි අයියේ ළඟදී නිර්මාණයකට දායක වුණේ නැද්ද? අපට මතකයි ඉස්සර චිත්‍රපට ගණනාවකම සංස්කරන ශිල්පියා හැටියට ස්ටැන්ලි ද අල්විස් යන නම නිරන්තරයෙන්ම සනිටුහන් වුණා.

ඔව් පුතා. මම ඔයාලා එන්න කලින් අහ අහා හිටියේ මම එඩිට් කරපු හංස විලක් චිත්‍රපටයේ ගීතයක්. ඒකට සම්මාන පවා ලැබුණා. අන්තිමේට සංස්කරණය කළේ සිරි කුලරත්නගේ රාස්ස කැලේ. ඊට පස්සේ තමයි දැනගත්තේ . . . .

ස්ටැන්ලිගේ චිත්ත පීඩාව මට සහ අමිත්ට හොඳටම දැනිණ. එහෙත් අප දෙදෙනා ඔහුම යළි හඬ අවදි කරන තුරු නිහඬව සිටියෙමු.

මාව හදිසියෙම ලෙඩ වුණා. මොකක්ද වුණේ කියලා මට හිතා ගන්නවත් බැහැ. බැරිම තැන වෛද්‍යවරයකු මුණ ගැහෙන්න මම තීරණය කළා. ඔහු පරීක්ෂණ ගණනාවක් කොට තීරණය කළා මගේ වකුගඩු දෙකම නරක් වෙලා කියලා. අදටත් මම හරිම අමාරුවෙන් ඉන්නේ. බෙහෙත්වලට මාසෙකට අසූ පන් දහසක් විතර වැය වෙනවා. ඒ විතරක් නෙවෙයි, කොච්චර පිපාසාව ආවත් මට ඕන ඕන තරමට වතුර

ස්ටැන්ලි ලද සම්මානයන්ට මැදිවී

බොන්නත් බැහැ.

ස්ටැන්ලි අයියා එලෙස කතා කරද්දී ඔහුගේ ප්‍රිය බිරිය ඕෂධීගේ නෙතු කඳුළින් තෙත්වනු අපි දුටිමු. ඇය ක්ෂණිකව නිවස තුළට ගියේ දුක දරා ගන්න බැරි තැන විය හැකිය.

මගේ නෝනා මට හරි ආදරෙයි. එයා උදේ හවා මම ගත්තුª සම්මාන ටික පිහදදා අඬනවා. එයාට ගොඩක් දුක මට වැඩ කරන්න පුළුවන් කාලේ ලෙඩ වෙලා මම එක්තැන් වෙච්ච එකට. මටත් දුකයි. ඒත් මම ඒ දුක පිටතට පෙන්වන්නේ නැහැ.

ස්ටැන්ලි අයියේ ඔයා කොයි කාලේ විතර ද ක්ෂේත්‍රයට එන්නේ. කැමැති ද ඒ අතීතය මතක් කරන්න?

මම කොච්චර ලෙඩ වුණත් මොහොතකට හරි ඒ අමාරුකකම් නැති කර ගන්නේ අතීතය මෙනෙහි කරලා. එච්චරටම මම ඒ කාලයට ආදරෙයි. මම උපතින් කතෝලික. ඒ හින්දාම අපේ ගෙදරට ඥානාර්ථ ප්‍රදීපය පත්තරය ගත්තා. එහි පළ වෙලා තිබුණා කලා පෙළ කියලා සිනමා වැඩ මුළුවක් ගැන. මගේ මතකයේ හැටියට ඒ 1967 අවුරුද්ද. ඒ කාලේ තරුණයෝ බහුතරයක් සිනමාවට උනන්දුයි. මාත් එහෙම්මමයි. ඒ උණට කලා පෙළ අයැදුම් පත්‍රයක් දැම්මා. ඒ වැඩමුළුව මෙහෙය වූයේ ජී. ඩී. එල්. පෙරේරා, ආචාර්ය තිස්ස අබේසේකර, ඩී. බී. නිහාල්සිංහ වැනි මහත්වරු. එය අවසන් වූවායින් පසුව ජී. ඩී. එල්. මහත්තයා රෝමියෝ ජුලියට්ලගෙ කතාව නම් වූ වීඩියෝ නිෂ්පාදනයක් කළා. මාත් ඊට දායක වුණා.

සංස්කරණය පැත්තෙන්ද?

නැහැ. මම එහි ඇඳුම් පැළඳුම් බාරව හිටියේ. මට මුලින්ම සහාය සංස්කරණ ශිල්පිියෙක් හැටියට දායකවන්න ලැබුණේ විමල් වෛද්‍යසේකර අධ්‍යක්ෂණය කළ තරංගා චිත්‍රපටයේ. කලක් සහායට ඉඳලා පසුවට අත්දැකීම් අරගෙන සංස්කරණ ශිල්පියකු වුණා. හංස විලක්, සුරබිඳෙන, දඩයම, මාරුතය, කාංචනා, බිත්ති හතර, කැඩපතක ඡායා මා අතින් සංස්කරණය වුණු චිත්‍රපට අතරින් කිහිපයක්.

ඉස්සර අද වගේ ලෙහෙසි නැහැ නේද චිත්‍රපටයක් සංස්කරණය කරන්න?

ඇත්තම කිව්වොත් මම ආස නැහැ අද තියෙන ඩිජිටල් තාක්ෂණයට. අපි වැඩ කරන කාලේ කතුරෙන් කපලා එඩිට් කලේ. කපන දේ හරියටම කපන්න ඕනෑ. සෙලෝලයිඩ් පටියක පොඩි කෑල්ලක් කැපුණොත් ඒක ආයෙ අමුණන්න බැහැ. මම හිතන්නේ චිත්‍රපටයක අධ්‍යක්ෂ හා සමානයි සංස්කරණ ශිල්පියා. ඔහුගේ කාර්යය හරියට කළේ නැත්නම් චිත්‍රපටය ෆේල්. ඒ බව දැනගෙන අපි චිත්‍රපටයක වැඩ ඉවර වෙනකම්ම ගෙදර ගියේ නැහැ. වැඩෙත් එක්කමයි හිටියේ. මේ හේතුව නිසයි ඒ කාලේ චිත්‍රපට ගොඩක් ජනප්‍රිය වුණේ. අද චිත්‍රපට දුවන්නේ නැත්තේ එකමුතුව වැඩ කිරීමක් නොමැති හින්දයි. මේ වෙලාවේ සේන සමරසිංහ මහත්තයාව මතක් කළ යුතුමයි.

ස්ටැන්ලි අයියා මේ ඉන්න විදිහෙන් ෆොටෝ දෙක තුනක් ගත්තට කමක් නැතෙයි?

අමිත් විමසයි.

අනේ කමක් නැහැ. ඕන තරමක් ගන්න.

ස්ටැන්ලි කමිසයේ බොත්තම් හදා ලක ලැහැස්ති වෙයි.

ආයෙත් ඉස්සර වගේ වැඩ කරමු නේද ස්ටැන්ලි අයියේ?

කොච්චර නම් ආසද එහෙම වැඩ කරන්න. මට දැන් වයස අවුරුදු හැට අටක්. මේකත් වයසක්ද ළමයෝ. මට ඇහැකි ආයෙත් වැඩ කරන්න. ඉක්මනට අසනීපෙ හොඳ කර ගන්න හදන්නේ ඒකයි මම.

තම ජීවිත කාලයෙන් අඩකටත් වඩා වැඩියෙන් කලාව වෙනුවෙන් කැප කළ ස්ටැන්ලි ද අල්විස් අද බොහෝ සෙයින් අසරණව ඇතත් ඔහු නිරන්තරයෙන් ඒ කරදර අමතක කොට සිනාසෙන්නේය. ඔහු නොකීව ද මා මෙය අවසන සටහන් කරන්නේ ස්ටැන්ලිට යුතුකමක් වශයෙනි. තමන්ට සල්ලි නොදී මඟ හැරියාය කියා ස්ටැන්ලි වැඩ කළ චිත්‍රපටයන් හී නිර්මාණකරුවන්ට කිසිදු දොසක් ඔහු කීවේ නැත. ඔහු එතරම්ම මහත්මා ගති ගුණයන්ගෙන් හෙබි අයෙකි. මේ මොහොතේ ස්ටැන්ලිගේ සහෘදයන්ගෙන් අපි ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු. ඔහු පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් තවත් බොහෝ කාලයක් ඔහුව ජීවත් කරන්නට හැකියාව ලැබෙනු ඇත. ඔහුගේ වකුගඩු වර්ගය ඕ පොසිටිව් වේ. 0714947105 මේ ස්ටැන්ලිගේ දුරකතන අංකයයි. ඔහුට කතා කරන්න. ඔබේ වචන නොඅනුමානව ස්ටැන්ලිව මොහොතකට හෝ සුවපත් කරනු ඇත.