වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




මේක අමු මර්සියක්

මේක අමු මර්සියක්

මුව පුරාම සිනා කැන්දූ – හැදෙයි මෙලෙස
මයි නේම් ඉස් බන්දු

මද පොද වැහි ඇද හැලුනද තවමත් මුළුමනින්ම රස්නය පහව ගොස් නැත. ගමන උදෑසන නවයට ඇරඹීමට නියමිතව තිබුණද වැහි බර ලකුණු ඇති කළ රිය තද බදය ගමනට පැය එකහමාරකට කල් දැමුවේ අනවසරයෙනි. කවරදාකවත් පිටු පෑ නොහැකි කාලගුණයේ අණසකට යටත්ව ගමන ඇරඹුවේ මුළුමනින්ම තද වැහි නිමාවීමෙන් අනතුරුවය.

‘ඒ පැත්තට තද වැහි. උදේ ඉඳන් කිසිම දෙයක් කරන්න බැරි වුණා. දැන්නම් පායලා ඇති.’

රියැදුරුගේ මුල් වදන් පෙළ සිතට අසතුටක් ගෙන ආවද කතාවේ නිමාව බලාපොරොත්තු සහගත සුඛාන්තයක් වීම අපට ගෙන ආවේ නොනිමි බලාපොරොත්තු පෙළකි.

ඩී. ආර්. විජයවර්ධන මාවතින් ගමන් ඇරඹි අපගේ රථය කොට්ටාව, හෝමාගම පසුකොට ක්‍රමයෙන් ඉදිරියට ඇදෙයි. ඉදිරි වීදුරුව මතට ඉඳහිට අනවසරයෙන් වැටෙන වැහි බිඳිති සුළඟ හා එක්ව බිඳී විසිරෙයි.

පාදුක්ක පාරේ ඇරඹුමත් සමඟ වැටුණු හිරු එළිය අපට ගෙන ආවේ මහා අස්වැසිල්ලකි. මේ බලාපොරොත්තුවේ එළිය යට දැන් චිත්‍රපට කණ්ඩායම තම කටයුතු අරඹණු ඇතැයි අපි උපකල්පනය කරමින් ගමනේය.

කෙත් වතු, ඇල පහර, දිය කඳුරු පහු කරමින් රථය වේගවත් ගමනකය.

‘ගමේ කඩයකින් ප්ලේන්ටියක් බීලා යමු’.

අනගි යෝජනාව තිස්ස ගෙනි. කුඩා කඩමණ්ඩියක නැවතී අපි ගමේ ආරයේ කහට කෝප්පයක රස වින්ෙඳ් ගැමියන් සමඟ වැස්ස පිළිබඳ සංවාදය අරඹමිනි. කිසිදු මොහොතක නිම නොවන ස්වභාව දහමේ කතාන්දරය මොහොතකට නිම කළ අපි නැවත ගමනේය. අප මේ සොයා යන්නේ බන්දු ගේ පාරම්පරික වලව්වයි.

පිටකොටුවේ නාට්ටාමි කෙනෙකු ලෙස සෙවය කරන බන්දු මේ වලව්වට පැමිණ ඇත්තේ ප්‍රයෝගයකටය. වලව්ව තමාගේ යැයි පවසමින් ධනසිරි මුදලාලි ගේ දියණිය විවාහපත් කර ගැනීමේ මූලික සැලසුම සිදුවන්නේ මේ අප සොයා යන වලව්වේය. කපුවා, පූසා, අංජු, සංජු සහ ධනසිරි මුදලාලි දැන් වලව්වට පැමිණ ඇතිවාට සැක නැත. දැන් සැලසුම අකුරට සිදුවනවා නියතය.

මේ අපූරු චිත්‍රපටය සුරංග ගේ දෙවැනි චිත්‍රපටයයි. ‘රජ හොරු’ අධ්‍යක්‍ෂණය කරමින් ලාංකේය සිනමා උද්‍යානයේ පිපුණු සුරංග මෙවර තෝරාගෙන ඇත්තේ වෙනස්ම කතා තේමාවකි. ‘මයි නේම් ඉස් බන්දු’ ලෙස නම් කොට ඇති මෙම චිත්‍රපටය මේ දවස්වල රූ ගත වන්නේ පාදුක්ක සහ ඒ අවට දරිශන තලවලය.

අයහපත් කාලගුණික තත්තවය නිසාම වැඩ ඇරඹීමට ප්‍රමාද වූ ඔවුන් හා ගමන ප්‍රමාද වූ අප දර්ශන තලයේදී හමුවන විට මැදියමට ළංව තිබුණි. රසබර වදන් මෙන්ම සිනහ මුසු දසුන්ගෙන් සපිරි දර්ශන තලයට ගොඩවන විට දැනුණේ කියාගත නොහැකි නැවුම් බවකි. සන්තෝසයකි. නිදහසකි. ඉතා විශාල වලව්වත්ත නිසල සෙනසුනක් තරමට නිහඬ වූ බිමකි. ඒ ගෙඋයනේ පලබර රඹුටන් ගසයට බන්දු අයියා සිතිවිලි ගනියි.

‘අයියේ’.....

බන්දුගේ දැහැන බිඳුණේ මාලන් ගේ ආමන්ත්‍රණයෙනි.

‘යකෝ මේ උඹලනේ... මං බය වුණු තරමක්’

බන්දු ගේ අප බලාපොරොත්තු වන ළෙන්ගතු සිනහා උපදවන සංග්‍රහශීලී වදන්වල අපට ගෙන ආවේ මුව පුරා පිටාර ගලන අව්‍යාජ සිනහවකි.

‘ඉතින් මල්ලිලා’...

බන්දු අයියා කතාවට වැටුණේ සුපුරුදු සෙනෙහයත් සමඟිනි.

‘හොඳයි අයියෙ ටිකක් පරක්කු වුණා’.

‘හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට...’

බන්දු ඇඟට නොදැනී අප සිනහවෙන් පිනවයි.

‘මේක නියම වැඩක්. අමු මර්සියක් තමයි මේකෙ තියෙන්නෙ. පට්ට ගේමක්. රියල් පින්තූරයක් හැදෙයි අන්තිමේදී’.

බන්දු චිත්‍රපටය ගැන කියන්නේ උදේ‍යීගයෙනි.

අනෙක් පස ආරියරත්න ගමගේත්, ප්‍රේමදාස විතානගේත්, දෙනුවන් සෙනාධිත් බරපතළ කතාවකය. ඒ අතර දෙනුවන්ගේ මුවෙහි රඹුටන් ඇටයක් එහා මෙහා යයි.

‘කොහෙන්ද රඹුටන්.....’

කොහේදෝ සිට පැමිණි රශ්මි අසන්නේ ආසාවෙනි.

‘කවුද රඹුටන් කෑවෙ. මං මේ දිව ගගා නැතිවෙච්ච දතක් හෙව්වා.

දෙනුවන් පවසන්නේ තරමක ලාලිත්‍යය පිරි නර්තනයකද යෙදෙමිනි.

‘අඩෝ පූසා.....’

නිදි ගැට හරිමින් දර්ශන තලයට පැමිණෙන්නේ රොඩ්නි වර්ණකුලය. වාහනයට වී වැහිබර ලකුණු සමඟ නින්දට ගිය රොඩ්නිට ඇහැ ඇරී ඇත්තේ පැය කිහිපයකට පසුවය.

‘අයියා නැති වෙලාවෙ අපි රඹුටන් කෑවා’. දෙනුවන් පවසන්නේ කට හදමිනි.

‘ආ...මං රඹුටන් කාලත් නෑ දැකලත් නෑ’... රොඩ්නි පවසන්නේ කට උල් කරගනිමිනි.

මේ දර්ශන තලය සැබෑවටම සුන්දරය. නවකයන් ප්‍රවීණයන් ඉතාමත් කුළුපගව සහෝදරත්වයෙනි.

පෙරේදා නෑවා මදි වෙලා වගේ ආයෙ වැස්සෙ තෙමෙන්නෙ.

මයි නේම් ඉස් බන්දු හි ඇඳුම් නිර්මාණ ශිල්පි සුරේන්ද්‍ර පවසන්නේ රශ්මිව පෙන්වමිනි. දැන් අපට ඒ කතාව අසනතුරු නිමක් නැත.

‘පෙරේදා ෂූටිං තිබුනේ ගල් බංගලාවෙ. ඒකෙ ෆූල් එකක් තියෙනවානේ. කොහොම හරි රශ්මිව ෆූල් එකට දාන්න අපි ප්ලෑන් කළා. ෂූටිං ඉවරවෙලා එනකොට මමයි නිමිෂානුයි එකපාරටම පැන්නා රශ්මිව ෆූල් එකට දාන්න. මෙන්න බොලේ කොහෙද ඉඳන් පැනපු සුරංග මහත්තයා අපි තුන්දෙනාම වතුරට දැම්මා. ෆර්ස්, ෆෝන් එක්කොම වතුරෙ. අපි කරන්න ගියදේ අන්තිමට අපිටම පල දුන්නා.

සුරේන්ද්‍ර කතාව නිමා කළේ අතීත මතකය නැවත නැවතත් විඳිමිනි. ඇඟට නොදැනී ක්‍රමයෙන් රූ ගත කිරීම් සිදුවෙයි. ඒ අතර තුර පිය පුතු සාකච්ඡාවකි.

ඉතාමත් ළෙන්ගතු සංවාදයකි. මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය සංගිත චිත්‍රපට සමාගමෙනි. එහි හිමිකාරිත්වය දරන්නේ සුරංග අල්විස් සහ ජ්‍යෙෂ්ඨ සංගීතවේදී සරත් ද අල්විස් විසිනි. කදිමට බැඳුණු පිය පුතු සුසංයෝගය දැවැන්ත නිර්මාණයක් බිහි කිරීම සතුටකි. එම නිර්මාණය තුළ ලංකාවේ සිටින අංක එකේ විකට නළු පිරිසම රොක්වීම ඊටත් වඩා සතුටකි.

ඔවුන් එක්ව තනන ‘මයි නේම් ඉස් බන්දු’ මේ වසරේ තිරගත වන බව සුරංග පවසන්නේ ජවයෙනි. සිනහ සපිරි ‘මයි නේම් ඉස් බන්දු’ අමුතුම ආකාරයේ කතා පෙළ ගැස්මකි.

ලාංකේය රසිකයන් හට නුදුරේම ඔවුන්ගේ කතාව විඳින්නට ලැබෙනු ඇත.

‘මයි නේම් ඉස් බන්දු’
 

බන්දු සමරසිංහ- බන්දු රොඩ්නි වර්ණකුල

අනුෂා දමයන්ති - සංජු

රොනී ලීච් – ඕ. අයි. සී.

ආරියසේන ගමගේ – ධනසිරි

දෙනුවන් සේනාධි – පූසා

ප්‍රේමදාස විතානගේ – කපුවා

රශ්මි සුමනසේකර – අංජු

උපාලි කීර්තිසේන – නාටාමි

ඩී. බී. ගංගොඩතැන්න – කුණු ට්‍රැක්ටරේ ඩ්‍රයිවර්

විශ්ව ලංකා - විශ්ව

රෝයි ද සිල්වා - මාක් සැම්සන්, දමිතා සළුවඩන

ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු

සංගීතය - සරත් ද අල්විස්

කලා අධ්‍යක්‍ෂණය - සමන් පද්මකුමාර

සංස්කරණය – ප්‍රවීන් ජයරත්න

කැමරාකරණය – අයේෂ්මන්ත හෙට්ටිආරච්චි

සටන් අධ්‍යක්‍ෂණය - සමන්ත රංග මායාදුන්න

නිෂ්පාදන කළමනාකරණය – ප්‍රසාද් සුරේක, දර්ශන දිසානායක

ඇඳුම් නිර්මාණය - සුරේන්ද්‍ර ප්‍රතාපගේ

වේශ නිරූපණය – චාමර නිරෝෂ්

සහාය අධ්‍යක්‍ෂණය – නිම්ෂාන් වීරක්කොඩි, නදීෂ සමිත්

නැටුම් අධ්‍යක්‍ෂණය - ශාන් පෙරේරා

නිෂ්පාදනය - සංගිතා චිත්‍රපට සමාගම

අධ්‍යක්‍ෂණය - සුරංග ද අල්විස්

ගීත ගායනය – උරේෂා රවිහාරි, බුද්ධික උෂාන්, රුක්මන් අසිත, උදයංග සුරේෂ් සමඟ බන්දු සමරසිංහ.