වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ගැම්මට කප් එක ඉස්සුවට ගෙදරදි නම් අතට ගන්නත් බෑ

ගැම්මට කප් එක ඉස්සුවට ගෙදරදි නම් අතට ගන්නත් බෑ

අයි. ටී. එන්. ජනපි‍්‍රයම සුපිරි හපනා විමුක්ති අභිමාන්

ගැහි ගැහි සිංදු කිව්ව දවස කවදාවත් අමතක වෙන්න

දුවලා ඇවිත් කප් එක අතට ගත්තා

මේ පුතාගෙ නම විමුක්ති අභිමාන්. ඔහුව අපට හමුවන්නේ අයි. ටී. එන්. සුපිරි හපනා වැඩසටහන හරහායි. එහි ජනපි‍්‍රයම හපනාවූ විමුක්ති එදින විදහාලූ දක්‍ෂතාවන් කාලාන්තරයක් යනතුරු මෙරට ප්‍රේක්‍ෂක ලෝලීන්ට මතකයේ තියෙන බවට නම් කිසිදු සැකයක් නැහැ. ගම්පහ ශාන්ත පීතර විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන විමුක්ති ගේ අනාගත බලාපොරොත්තුව වෙද්‍යවරයකු වීම කියලයි ඔහු කිව්වෙ. ඒ අතරතුරදි කලා කටයුතුවල නියැළෙන්නයි ඔහුගේ අදහස. විමුක්තිගේ සුන්දර හඬ සරසවිය වෙනුවෙන් අවදිවූ අයුරයි මේ.

විමුක්ති, කොහොම හරි ඔබ ජනපි‍්‍රයම හපනා වුණා නේද?

අවසන් අට දෙනාට තේරුණායින් පස්සෙ මගෙ යාළුවො හැමෝටම කතාකර කර කිව්වා මට එස්. එම්. එස්. කරන්න කියලා. එ කියපු ඔක්කොමලා මට ජන්දය දීලා මාව ජනපි‍්‍රය හපනා කළාට තුති පුදනවා.

කවුද ඔබට සුපිරි හපනා වැඩසටහනට සහභාගි වන්න යැයි කිව්වෙ?

අම්මා, ඇය තමයි මගෙ අයැඳුම්පත තරගයට දැම්මෙ.

මට දැනගන්න ලැබුණා ඔබ පුංචි කාලෙ ඉඳලා ගෙදර ඉන්නකොට සිංදු කියනවා කියලා?

ඔව්, මම පොඩි කාලෙ ඉඳලා ගෙදර දෙවනත් වෙන්න සිංදු කියනවා.

කාගෙ ගීතද වැඩිපුරම කිව්වෙ?

අමරදේව සර්ගෙ.

කවුද ඔබට ගීතවල වචන ලියලා දුන්නේ?

මමමයි ඒවා අහලා ලියා ගත්තෙ.

ඔබේ පියා කලක් කලාවට සම්බන්ධ වෙලා හිටියා නේද?

මගේ පියා තබ්ලා විශාරදවරයෙක්. ඔහුගේ නම රංජිත් බවන්ත තිලකරත්න. තාත්තා දැන් විදෙස්ගත වෙලා ඉන්නේ.

සුපිරි හපනා හි පළමු වටයට සහභාගි වූ දවස මතකද?

ඔව්, මම එදා කිව්වෙ බුදුනේ...බුදු පියාණනේ... ගීතය.

එදා බය හිතුණෙ නැද්ද?

අපෝ නැහැ. හැබැයි එක දවසක් නම් හොඳටම බයෙන් ගීත කිව්වෙ.

ඒ කවද්ද?

අවසන් 40 දෙනාට තේරුණු වෙලාවෙ. එදා මට හොඳටම උණ ගැනිලයි තිබුණෙ. එදා ගැහි ගැහි සිංදු කියපු විදිය නම් කවදාවත් අමතක වන්නෙ නැහැ.

සුපිරි හපනා අවසන් තරගයේ ජනපි‍්‍රයම හපනා විදියට ඔබේ නම කිව්වම මොනවද හිතුණේ?

පුදුමාකාර සතුටක් දැණුනා. උඩපැනලා කෑගහන්න හිතුණා. දුවලා ඇවිත් කප් එක අතට ගත්තා. එවෙලෙ නම් ඒක උස්සාගෙන එහෙ මෙහේ ගියා. හැබැයි ගෙදර ගියාම කප් එක අතට ගත්තා. පුදුමයි, ඒක උස්සගෙන ඉනන් බැහැ. හරිම බරයි. මගෙ නම කියපු සතුටට ඒ ගැම්මත් එක්ක කප් එක අතට අරගෙන ඉන්න ඇති කියලා මට හිතුණා. දැන් හිතාගන්න පුළුවන් නේද මම කොච්චර එදා සතුටු වුණාද කියලා?

විමුක්තිගෙ අනාගත බලාපොරොත්තුව කලාවෙන් ඉදිරියට යාමද?

නැහැ, මම වෛද්‍යවරයෙක් වෙනවා.

ඔබ ගයන්න, නටන්න, වයන්න දක්‍ෂයි. එහෙව් තතත්වයක් මත වෙනත් වෘත්තියකට යොමු වුණායින් පසු ඒ දක්‍ෂතා අපතේ යනවා නේද?

මම හිතාගෙන ඉන්නෙ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් කලාවේ නියැළෙන්නයි. මම ඒ සඳහා කාලය කළමනාකරණය කරගන්නම්.

විමුක්තිගෙ පවුලේ විස්තරත් කියමු?

තාත්තයි, අම්මයි, නංගිලා දෙන්නයි. අපේ ගෙවල් තියෙන්නේ ජා ඇල.

අවසන් තරගයේදී ඔබ චාලි චැප්ලින්ව අනුකරණය කරමින් අපූරු නැටුමක් ඉදිරිපත් කළා. එය හරිම ලස්සනයි....?

මට ඒ ගැන කියලා ගොඩක් අය කතා කළා. මම චාලි චැප්ලින්ට ආසයි. ඔහුගේ චිත්‍රපටවල කෑලි බලලයි අපි ඒ නැටුම හදාගත්තෙ. එය මට පුරුදු කළේ කේ. පී. රංගජීව සර්. ඔහුමයි ඊට අවශ්‍ය ඇඳුම් පැලඳුම් සකස්කර දුන්නේ.

විමුක්ති හිතන විදිහට ඇයි ඔබට අවසන් තරගයේ දක්‍ෂතම හපනා වෙන්න බැරි වුණේ?

සාමාන්‍ය දැනුම මනිද්දි මට ඇතැම් ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි වුණා. එයින් ලකුණු සෑහෙන ප්‍රමාණයක් කැපුණා. මට ලකුණු අඩු වුණේ වෙනින් අංශ නිසා නොවෙයි. මට ඒක විශ්වාසයි.

කාටද තුති පුදන්න තියෙන්නෙ?

මගෙ පාසලේ විදුහල්පති තුමා ඇතුළු මට උදව් කළ හැමෝටම ස්තුතියි කියනවා.