වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




රයිගම් ජූරි සභාපතිට ජගත් ‘වර්ණ’ පෙන්වලා

රයිගම් ජූරි සභාපතිට ජගත් ‘වර්ණ’ පෙන්වලා

ලැජ්ජයි, නින්දිතයි, කැතයි
සම්මාන දුන්නාම හොඳයි නොදුන්නාම නරකයි

මහාචාර්ය පැට්‍රික් රත්නායක සමඟ විශේෂ සාකච්ඡාවක්

පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 10 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල කලාකරුවන් රැසක් පිරිවරා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී සම්මාන උළෙලේ ජූරියේ සභාපතිවරයා සමඟ යොවුන් රංගන ශිල්පියකු ඇතිකර ගත් කතාබහ අදවන විට කාගේත් කතාබහට ලක් වෙමින් තිබේ. රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජූරියේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලැබුයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා ය. එදා සම්මාන උළෙල අවසානයේ සිදු වූ එම සිදුවීම පිළිබඳ අපි එතුමාගෙන් තොරතුරු විමසමු.

10 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල අවසානයේ සිදුවූවා යැයි පැවසෙන මේ කතාබහ ගැන ඔබතුමාගෙන්ම විමසන්න කැමතියි?

මම දැනට අවුරුදු දහයක අත්දැකීම් සමඟ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ කටයුතු කරන්නෙ. එයින් වසර හතක්ම මම ජූරියේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළා. මම මෙතෙක් කාලයක් ලංකාවේ ටෙලි නාට්‍ය විචාර සම්බන්ධයෙන් කිසිදු චෝදනාවකට ලක් නොවුණු පුද්ගලයෙක්. කලාවේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරමින් බොහොම සාධාරණ අන්දමින් අවංකව කලාකරුවන් එම අගැයීම් කටයුතු කළ බව වගකීමෙන් ප්‍රකාශ කරනවා. අනෙකුත් විනිශ්චය මණ්ඩල සාමාජිකයන්ද සමඟින් බොහොම සාධාරණ තීන්දු, තීරණවලට අප පැමිණියා. සම්මාන උළෙල අවසානයේ දී සංග්‍රහයකුත් පැවැත්වුණා. එහි විශේෂ ආරාධිතයන් වෙනුවෙන් වෙනම සංග්‍රහයක් සහ කලාකරුවන් වෙනුවෙන් වෙනම සංග්‍රහ අවස්ථාවකුත් සංවිධානය කර තිබුණා.

මමත් ආරාධිතයන් අතරේ පොඩි වෙලාවක් ගත කරලා කලා කරුවන් අතරට පැමිණියා. මම එහෙම ආවේ සාධාරණ විනිශ්චය වෙනුවෙන් ගත් තීරණ සමඟයි. ඒ නිසා මට ඔවුන් අතරට පැමිණ කතා කරන්න හැකියාවක් තිබුණා. මමත් මේ සම්බන්ධව ගන්න තීරණ යම් පිරිසක් සමඟ ගන්නවා නම් අපි හමුවන තාක් කල් එහි සාධාරණත්වයත්, යුක්තිගරුක ස්වභාවයත් පෙනී යා යුතුයි. ඒ නිසාම මටත් එහිදී ඉදිරියට ගිහින් ඕනම කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්කම තිබුණා. නමුත් යොවුන් රංගන ශිල්පියකු වූ ජගත් මනුවර්ණ විසින් සම්මාන උළෙල අවසානයේ පැවැති මේ සංග්‍රහ අවස්ථාවේ දී මට යම් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා. ඇත්තටම ඔහු මගෙන් ඇසුවේ ‘ඔයා මට මොනවද කළේ? ඔයා මහාචාර්ය පැට්‍රික් රත්නායක නේද? ඔයා රංගනය ගැන දන්නවාද?’ කියලයි.

ඒක බරපතළ ප්‍රශ්නයක්. රංගනය ගැන මම ඉගෙන ගෙන තියෙන විදිහට ජගත් මනුවර්ණ කෙතරම් ආධුනිකයෙක් වුණත් මම දෙන පිළිතුර තමයි ‘මම දන්නෙ නැහැ’ කියන එක. රංගනය විෂය ගැන මට දිය හැකි හොඳම පිළිතුර එයයි. ඔහු තුළත් ඔහුට ආවේනික රංගනය පිළිබඳ ඉගැන්වීමකුත්, සිද්ධාන්තයකුත්, ප්‍රායෝගික විලාසයකුත් ඇති. ඒක මම ඔහුගෙන් දැන ගත යුතුයි. මොකද රංගනය ගැන අපි ක්‍රමානුකූලව සිද්ධන්ත සමඟ ප්‍රායෝගිකව අධ්‍යයනය කළාට එහි එක් එක් රංගන ශිල්පියාට අනන්‍ය වූ ලක්‍ෂණ තියෙනවා. ඒ නිසයි මම එහෙම දැන ගත යුතුයි කියන්නෙ. දීර්ඝ කාලයක් පුරා මා පිළිබඳ ඇති වූ විශ්වාසයන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය පිළිබඳව අගැයීමට මා පත්කර තියෙනවා. මම යම් තරමකට එය සාධාරණීයකරණය කළ බව මට විශ්වාසයි. යම් අවස්ථාවක රංගන ශිල්පියකුට විනිශ්චය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින් මා අගයන්නන් සම්මාන නොලැබෙන විට, නිර්දේශ නොවන විට අඥානවන්තයන් ලෙසින් කටයුතු කිරීම පිළිබඳවත් මම බරපතළ වික්ශිප්තබවකට පත් වුණා.

මෙම අවස්ථාවේදී එතැන සිටි අනෙකුත් අය මොනවගේ ප්‍රතිචාරයක් ද දැක්වූයේ?

ඒ වෙලාවේ මා ළඟින්ම හිටියේ රංගන ශිල්පී ජනක් ප්‍රේමලාල්. ඔහුත් අපේ කලා ක්ෂේත්‍රයේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. නමුත් ඔහුට පවා මෙවර සම්මාන හිමි වී තිබුණේ නැහැ. තව විශිෂ්ට කලාකරුවකු වූ ආනන්ද අබේනායකත් එතැන සිටියා. එම අවස්ථාවේදී ඔවුන් මා එම ස්ථානයෙන් නිදහස් කරගෙන ගිය ආකාරය ගෞරවණීයයි. ඒ වගේමයි ජූරියේ අනෙකුත් සාමාජිකයන් ද මෙය හෙළා දුටුවා. මම රයිගම් ටෙලීස් ජූරියේ අවුරුදු නමයක් කටයුතු කර තිබෙනවා. මම සභාපති ධුරය දරන විටදි සිටි අනෙකුත් සාමාජිකයන් මට වඩා ජ්‍යෙෂ්ඨ පුද්ගලයන්. නමුත් තීරණ ගැනීමේදී පැමිණි එකඟතාවන් ගැන මට සතුටුයි. කිසිම මතබේදයක් මේ දක්වා ඇති වෙලා නැහැ. එවැනි තත්ත්වයක් ඇතිකර ගැනීම අසීරු දෙයක්. නමුත් එහිදී අනෙකුත් ජූරි සභිකයන් විසින් ලබා දුන් ශක්තිය ගැන මේ අවස්ථවේ සිහිපත් කළ යුතුයි.

මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවුණත් මීට පෙර උළෙලකදීත් ඔහුට ඔබව හමු වෙනවා?

ඔව්, මීට පෙර රයිගම් ටෙලීස් සම්මාන උළෙලකදී ඔහු මා පිළිගන්නේ ඉතාම උණුසුම් අන්දමින්. ඒ සම්මානයක්ද අතැතිවයි. ජගත් මනුවර්ණ නම් ඔහු මම ඉතාම පි‍්‍රයකරන ඒ වගේම දක්‍ෂ රංගන ශිල්පියෙක්. මම ඔහු පිළිබඳ විශේෂ අගැයීම් මානයක සිටින විචාරකයෙක්. ඔහුගේ රංගනය පිළිබඳ ඇතැම් අවස්ථාවල උපරිම සාධාරණ විදිහට කටයුතු කරලා තියෙනවා. නමුත් මෙවර ඔහු නිර්දේශිත නාම අතරට එක්වන්නේ නැහැ. රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් ඉල්ලා සිටින්නේ සිව්දෙනෙකුගේ පමණයි. එහිදී මගේ ලිපි ගොනු අතරට ගියොත් ඔහු පස්වැනි හෝ හයවැනි ස්ථානයක සිටින්න පුළුවන්.

කෙසේ වුවත් රංගන ශිල්පියකුගේ මෙවැනි හැසිරීමක් සම්මාන උළෙලක ජූරිය අභියෝගයට ලක් කිරීමක් නේද?

ජූරියක් මඟින් අපි කරන්නේ විශිෂ්ටයන් අතර විශිෂ්ටයන් සෙවීමක්. මෙවර සම්මාන උළෙලට අයඳුම්පත් 650 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණා. නමුත් සම්මානයට පාත්‍ර කළ හැකි වන්නේ ඉන් 50 ක පමණ සංඛ්‍යාවක් පමණයි. එය භාරදූර කටයුත්තක්. අපි මේ කටයුත්ත කරන්නෙත් අපේ රැකියා කටයුතු සහ එදිනෙදා කටයුතුත් සමඟයි. ඒ වුණත් අපි ජූරිය විදිහට මෙය දකින්නෙ දේව භාෂිතයක් විදිහටයි. කලාව කියන්නෙ සාමාන්‍ය මනුෂ්‍ය ක්‍රියා ඉක්මවන්නක්. එය දේවත්වයෙහි ලා සැලකෙන විෂය ක්ෂේත්‍රයක් ලෙසයි මා දකින්නෙ. එහිදී 2013 වසරේ කලාකරුවන්ට උපරිම දක්‍ෂතා අගයන්නයි මෙම සම්මාන උළෙල පැවැත් වූයේ.

එහි වගකීම මනුෂ්‍ය භාරයකටත් වඩා දේවභාෂිතයක් හැටියටයි මම නියැළුනේ. මා සමඟ සිටි අනෙකුත් සාමාජිකයන් මධ්‍යස්ථභාවයෙන් ස්වාධීනව කටයුතු කළා. මම කිසිම දේශපාලන පක්‍ෂයකටවත්, මූල්‍ය බලයකටවත් යටත් නොවී කටයුතු කරන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. මේ අවස්ථාව මට ලැබුණාම එහි උපරිමය ලබා දෙන්න මම කටයුතු කළා. මෙම තෝරා ගැනීම් අපි කරන්නේ ඉහළ ක්‍රමවේදයකට අනුවයි. සෞන්දර්යාත්මක නිර්නායක වලට යටත්ව තමයි එම තීන්දු තීරණ ගැනෙන්නෙ. එය ඉතාම ගැඹුරු තෝරා බේරා ගැනීමක්.

මේ සිදුවීම සම්බන්ධව ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?

සම්මාන උළෙලක් කියන්නෙ විශිෂ්ටයන් අතරේ විශිෂ්ටයන් සෙවීමක්. මෙරට රංගන ක්ෂේත්‍රයේ දක්‍ෂයන් විශාල පිරිසක් සිටිනවා. ඒ ගැන මට විශාල සතුටක් තියෙනවා. ජගත් මනුවර්ණ නම් රංගන ශිල්පියාත් ඒ අතර සිටිනවා. එය ලඝු කරන්න බැහැ. ඒ අතරේ වෙනත් අය නිර්දේශයට ලක් වුණාම එහි තාර්කික ස්වභාවය අධ්‍යයනය කිරීමයි කළ යුතු වන්නේ. එහෙම වුණා නම් ඔහු මගෙන් එදා ඇසිය යුතුව තිබුණේ ‘ඔබතුමාලගේ නිර්නායකවලට අනුව මම මොන වගේ තැනකද ඉන්නෙ’ කියලයි.

මගේ ශක්ති සම්පන්න ආයුධය අවංකභාවයයි. එය ඉදිරියේ ඔහු ප්‍රබල සෙබලෙක් නොවෙයි. මට එදා ඔහුගේ හැසිරීම ගැන තියෙන්නෙ කනගාටුවක්. එයට හේතුව මම ඔහු තුළින් දකින අනාගත ප්‍රවීණ රංගධරයාගේ ආත්මය ඔහු විසින්ම විනාශකර ගැනීමයි. මොකද මම ඔහුගේ මිතුරෙක්. ඔහු, ඔහුගේම හතුරෙක්. ඒක කරගන්න එපා. ඔහුට ගමනක් තියෙනවා. ඒ වගේම විචාරය කලාකරුවකුගේ දීර්ග ගමනකට හේතු වෙනවා. තමන් අගයන්නේ නැති අවස්ථාවක දී වුණත් තම සහෝදර කලාකරුවෙක් අගැයීමට පාත්‍ර වුණා නම් ඒක අගයන්න හදවත හුරු කරගන්න ඕන.

ඒ නිසා කලාකරුවන් අතර ලොකු ජනපි‍්‍රයත්වයක් ඇති වෙනවා. රංගධරයකුට වටිනාම දෙය ජනපි‍්‍රයත්වයයි. එය කලාකරුවකුගේ ආත්මය වගේ. ඒ රුචිකත්වය, ජනපි‍්‍රයත්වය නොමැතිව කලාකරුවකුට පැවැත්මක් නැහැ. තවමත් මට මේ සිදුවීම ගැන තියෙන්නෙ කනගාටුදායක හැඟීමක්. කලාකරුවෙක් කියන්නෙ වටිනා පුද්ගලයෙක්. එවැන්නෙක් මේ විදිහට හැසිරෙන්නෙ ඇයි කියලා මට හිතාගන්න බැහැ. මා තුළ ඔහු ගැන රසිකයෙක් විදිහට තිබූ බොහොම ස්වාධීන රසික සහෘද මනස ඔහු විසින්ම විනාශකර දැමීම ගැනත් මට කනගාටුයි.

මෙයින් ඉදිරියේ දී ජූරියේ කටයුතු කිරීම පිළිබඳ වෙනසක් ඇති වේවිද?

මෙයින් අප තුළ තියෙන දැක්ම විනිශ්චය පිළිබඳ අදහස් සාධාරණ බව, පන්නරය, ශක්ති සම්පන්න බව වැඩි වුණා. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළුව එදා පැමිණි ප්‍රභූන් විනිශ්චය ගැන විශාල අගැයීමක් කළා. මෙය ජාතික මෙහෙවරක් ලෙස සලකා කටයුතු කරන්න ලැබීම පින් කමක්. කලාවේ ආගම ස්වභාවධර්මය ලෙසයි මම දකින්නෙ. ස්වභාවධර්මය මේ ලෝකෙ හැම ධර්මතාවයකටම ඉහළින් තියෙන දෙයක් බවයි මගේ විශ්වාසය. ඒ නිසා කලාව මේ ලෝකෙ ඉහළින්ම තිබෙන්නාවූ දෙයක්. මෙවැනි කටයුත්තකට දායක වෙන්න ලැබීම සතුටක්. කලාකරුවා කියන්නෙ සාමාන්‍ය මනුෂ්‍යයා ඉක්මවා ගිය චරිත ස්වභාවයකින් හෙබි කෙනෙකු යන හැඟීම මට තියෙනවා. මගේ මනසේ වූ ඒ හැඟීම ජගත් මනුවර්ණ නම් වූ කලාකරුවා කිළිටි කළා. එය ඔහු විසින් ශෝධනය කරගත යුතු වෙනවා.