වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිරි පැරකුම් රජ දහනෙහි දිසා වැව ට ගියෙමු

සිරි පැරකුම් රජ දහනෙහි දිසා වැව ට ගියෙමු

දුවිලි වලාව අපට කියා පාන්නේ මාස ගණනක් පුරා මේ පලාතට ඇති කළ තද පෑවිල්ලය. වැහි බිඳුවක් නොලද පොළව දූවිල්ල වපුරන්නේ අප සමග ඇති තරහක් මවාපාන ගණනටය.කාපට් ඇතුරුන ලද මහා මාර්ග දිගේ කොළඹ සිට පැමිනි අපි එයින් හැරී කොන්ක්‍රීට් ඇතුරූ මගකට අවතීරණය වීමු. තවත් ටික දිනක් යන විට අපට හමුවනුයේ බොරලු පාරකි. හතර වටේටම ඇත්තේ පොල් වතුය.එය කෙළවර වනුයේ එක දිගට ඇති වෙල් යායක් සමීපයටය. එය පදවන්නේ නැතහොත් අද අපට මාතලීව සිටිනුයේ සුදත් බාලසූරියයි. ඔහු රේනුකා බාලසූරියගේ සොහොයුරායි.

කලකට ඉහත මේ පෙදෙස අයත්ව තිබුනේ දඹදෙණි රාජධානියටයි. එකල රට එක්සේසත් කර මුළු රටේම සාහිත්‍ය කලා ඇතුලු කලාවන් පෝෂණය කලා වූ තුන්වන පරාක්‍රමබාහු රජුගේ රාජධානිය වූයේ ද මේ පලාතයි. පැරකුම් කුමරු සිය ළමා වියේදී රජ සැප හැර දමා සැඟව සිටියේ ද මේ පලාතේමය. අප ගමන් කරන මේ මාවත දිගේ අතීත කතා කොපමණ සැගව ඇත්දැයි සිතන්නට මම උත්සාහ කරමි.

මේ පලාත කේන්ද්‍ර කර ගෙන තැනුණු මනරම් චිත්‍රපටයක මිහිරි මතකය තවමත් අප අතර රැඳී ඇත්තේය. මගේ වෑයම වනුයේ චිත්‍රපටය සඳහා භාවිතා කරන ලද එහි එන ඇතැම් පරිසරයක් මේ මග දී හඳුනා ගැන්මටය. ඒ සෝමරත්න දිසානයකයන්ගේ සිරි පැරකුම් චිත්‍රපටයේ දර්ශණ තලයන්ය.සුදත් අප කැඳවා යන්නට පෙරාතුව පැවසුවේ සෝමේ අය්යාගේ අලුත් වැඩේ බලන්නට යන ගමනක් හැටියටය. එම ගමනට දායක වනුයේ මා සමග අපේ ඡායාරෑප ශිල්පී මාලන් කරුණාරත්නය. අතර මගින් අපට බණ්ඩාර පිලවල නම් මාධ්‍ය සගයා ද දිනමිණ පුවත්පතේ රත්නසිරි පතිරණ ද රථයට ගොඩ වෙති.රත්නසිරි ද ඒ ගමේ කොල්ලෙකි. තවත් දුර යන අප අසල වත්තක් අතරමග දී රථයෙන් බැස ගතිමු.

සෝමරත්න දිසානායකයන් උපන්නේ මේ ගම්මානයේය.අප රථය නතර කළ තැනට එහායින් ඇත්තේ ඔහුගේ මහ ගෙදරය. එය ඔහුට මෙන්ම හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානයකයන් ප්‍රමුඛ දූදරුවන්ට නිවහන වි තිබිණ. දැන් එහි වාසය කරනුයේ ඔවුන්ගේ සොහොයුරියකි. ආචාර්ය සෝමරත්න දිසානයකයන් කලා ලෝකයට පිවිසෙනුයේ නාට්‍යකරුවෙකු හැටියටය. බොහෝ දෙනා නොදන්නා නමුත් චිත්‍රපට අධ්‍යක්ෂණයට පෙරාතුව ඔහු සිනමා රංගනයට පිවිසියේය. ඒ මඩොල්දූව චිත්‍රපටයෙනි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස්පීරිස් ගේ අධ්‍යක්ෂණය යටතේය. ඔහුගේ මුල්ම නාට්‍යය වෙඩික්කාරයෝ නම් විය.වඩාත් ජන්‍රපිය නාට්‍යයවනුයේ මී පුර වැසියෝය. ඔහු ටෙලිවිෂන නාට්‍යය කලාවට යොමු වනුයේ එයින් පසුවය. ඔහු සිනමාකරුවකු වනුයේ එයින් පසුවය. සිරි පැරකුම් තරම් මැත භාගයේ ජනප්‍රිය වු චිත්‍රපටයක් නැතය යන්න පැවසීම අතිශයෝක්තියක් නොවේ. අද සුදත් අප කැඳවා ගෙන යනුයේ ආචාර්ය සෝමරත්නගේ අලුත්ම නිර්මාණයේ දර්ශණ තලයටය.

පන්කොල තොප්පියක් හිස රුවා ගෙන සරමක් ඇඳී ගැමියෙක් අප ඉදිරියට එයි. ඔහු පිටුපස බැකෝ යන්ත්‍රයක් නොනැවතී වැඩෙහි යෙදෙයි.

“ ආයුබෝවන්“

තොප්පියක් පැලඳ ගත් සෝමරත්න දිසානයක අප දෙසට එනුනේ පුරුදු ලෙංගතු කම සමගය.

“මං ගමේ කොල්ලෙක්“.

ඔහු සිනහවෙමින් පවසයි.

‘මේ තමා මගේ අලුත්ම නිර්මාණය“

සෝමේ සිය සුරත දිගු කර පෙන්වූයේය.එහි කැමරාවක් නැත. නළු නිලියන් නැත. යෝධ බැකෝවක් බිම සකසමින් ඉදිරියට එයි. එහි කුල්ල හතර වටේ ඇවිද ගල් උගුල්ලමින් බිම සකසයි. කුල්ලට බිය නොවන කොක්කු යුවලක් එහි අසලම නතරව සිටියි. කුල්ල බිම වදින වාරයක් ගණනේ ඔවුන් දෙදෙනා එදෙස බලාසිටිනුයේ හරි අපූරුවටය.

ආචාර්ය සෝමරත්න දිසානයකයන් ගේ අලුත්ම නිර්මාණය වැවකි. එය චිත්‍රපටයක් ලෙස තනා පැය ගණනකින් පෙන්වා අවසන් වන්නක් නොවේ. පිටපත් ගණන පිළිබඳ ගැටළුවක් ද නොවේ.කොටින්ම එය චිත්‍රපටයක් මෙන් රාග ද්වේශ මෝහ අවුස්සන්නක් ද නොවේ. සතර අපායේ නොවැටී සැමවිටම පින් ලබන කර්මාන්තයකි. සෝමරත්නයන්ගේ වෑයම වැවක් තැනීමටය. එය පිහිටන්නේ ඔවුන්ගේ මහගෙදර ඉදිරිපිට කුඹුරු යායක් මැදි කර ගෙනය. ඉහත්තාවේ කැඹුරුවලට වන හානිය වලක්වන්නට මේ වැව තනන්නේ තරමක් ගැඹුර හිටින්නටය. එයට වතුර ලැබෙනුයේ අහස් වස්සෙන් පමණක් නොව එයට අසලින් ගලා යන දොළ පහරකිනි. මේ වන විට හීන් ඉරක්ව ඇඳී ගිය ද වැහි කාලයට එය දෙගොඩ තලා ගෙන ගොස් මාඔයට එක් වෙයි.

‘මේ වෙල්යායෙන් එපිට අර ගලා යන්නේ මා ඔයේ අත්තක්. අපේ කුඹුරු වලට වතුර ලැබෙන්නේ ඒකෙන්. ඒත් ඉතින් කන්න දෙකම කුඹුරු කරන්න වෙන්නේ නෑ. ඉතින් මට හිතුණා මෙහෙම වැවක් හැදුවම අපේ කුඹරු වලට වතුර ටිකක් වත් ගන්න පුළුවන් කියලා;

ආචාර්ය සෝමරත්න දිසානායක විස්තර කළේය.මේ චිත්‍රපට කරුවා ගමේ කොල්ලෙකි. වටම ගිය ද රට රටවල කීර්තියට පත් වුව ද උපන් රස්සාව වන ගොවි තැන ඔහු අතින් තවමත් මග හැරී නැත. දැන් ඔහු වසන පන්නිපිටියේ කුඹුරක් අස්වද්දා පසුගිය වසරේ අතින් පාඩු කර ගත් අන්දම ද දිනක මා සමග ඔහු පැවසුවේය.

වැව් ඉස්මත්තේ එක් කෙළවරක සිට බැලූ කල සිරි පැරකුම් චිත්‍රපටයේ දර්ශණ තලයක් මම හඳුනා ගතිමි.

අපි වැව් ඉවුරේ වටා ඇවිද්දෙමු. එහි වතුර පහළ ලියදි වලට ගලායන්නේ වැව පිරෙන කාලයටය. අනිත් දවස් වල වැවෙහි වතුර ඉහලට දැමිය යුතතේ නළ මගිනි. වැව සාමාන්‍ය ආකාරයෙන් තැනුවා නම් එක් පැත්තක කුඹුරුයායක් යටවනු ඇත. වැව් ඉවුරේ එක් තැනක පුරාන චාරිත්‍ර වාරිත්‍ර විදි අනුව එය ඉදි කිරීම් ආරම්භ කළ ලකුණු පෙනෙයි.

‘ දඹදෙණි රාජධානිය වැව් බැද රාජ්ජේට අයිති නෑ. ඒ හින්දා මෙහෙ එහෙමට වැව් නෑ.“

සෝමරත්න දිසානයකයන් පවසයි.

අපි වැව් පතුලට බැස ගතිමු. ඊළඟට එන වැසි සමය සමග මේ පතුල යළි කිසිදිනක අපට දැක ගන්නට ලැබන්නේ නැත. වැවක පත්ළ බලන්නට යන ගමන ලැබෙනුයේද කලාතරකිනි. අපි ගලින් ගල පැන අඩි විස්සක පමණ වන ගැඹුරට පිවිසුනෙමු. එහි සිට බලන අපට අපට ඉහලින් ඉවුරු සකසන බැකෝව ද ඈත කඳු වැටි ද පෙනෙයි. කුඩා දැරියක් නොබිව එහි දිව ආවාය.

“ඔතන වතුර පොලවෙන් උනපු ඒවා. ඔය හරිය දැනටමත් අඩි දහයක් විතර ගැඹුරැයි.“

මා තවත් පහලට ගමන් කරනු දකින සෝමරත්නයන් අනතුරු හැඟවූවේය. අපි කොළඹින් පිටත්වූයේ ද පසුවරුවේය. තවත් පැය භාගයකින් පමණ ඇඳීරි වැටෙනු ඇත. එබැවින් මේ අපූරු අත්දැකීම තවත් විඳීන්නට කැමැති අපි එහි පහලට ගමන් කළෙමු.

‘මේ වැව හැදුවාම අර පහල කුඹුරු යායම කන්න දෙකම වැඩ කරන්න පුළුවන්.සමහර විට අවුරුද්ද්ට තුන් වතාවක් වුනත් වැඩ කරතෑකි“

ඔහු අපට පවසන්නේ මහත් බලාපොරොත්තු සහගතවය.

ඉර බැස යනතුරුම වැව් පාමුල ගත කළ අපි අනතුරුව මහ ගෙදරට ගොඩ වැදුනෙමු. මේ දවස පුරා බැකෝ යන්ත්‍රය මෙහෙය වූ තරුණයා ද අප සමග නිවසට ආවේය.සෝමරත්යන්ගේ සෙවනැල්ල වන් රේණුකා බාලසූරිය ද එහි සිටියාය. දිසානායක පවුලේ වැඩිමහල්ලා සෝමපාල දිසානායක ද එහි පැමිණියේය. තවත් ටික වේලාවකින් සංගීත භාන්ඩ කිහිපයක් දසමග පුංචි සාජ්ජයකි. ගායනය අරඹනුයේ දිසානායක පවුලේ පී.පී සොහොයුරාය. පීපී යැයි ආදරයට පැවසුවේ ළමා වියේදී ඔහු සංගීතයට ඇළුම් කළ හෙයිනි.

ඔහුගේ සැබෑ නම ජයතිලක දිසානායකය. පුතුන් දෙදෙනාම වාද්‍ය විශාරද වරුන්ය. දියනිය නැටුම් විශාරදවරියකි. මේ අන් කවුරුත් නොව යොවුන් ගායක හර්ෂණ දිසානායකයන්ගේ පියානන්ය. තම පුතු ඔසවා තැබූ සංගීත ලෝලී පියා සැබෑ ගැමියකු ලෙස කුඹුරේ දවස ගත කරන ගොවියෙකි. ඔහුගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් අපූරු ජනප්‍රිය ගී ගයන්නට පටන් ගති. එයට අප ද හවුල් වෙයි. පද සිහිපත් කිරීම ස්වේච්ඡාවෙන්ම රේණුකා බාර ගත්තාය. ටී.එම්.ජයරත්න,මිල්ටන් පෙරේරා,සුනිල් එදිරිසිංහ ගී එහි ඇසෙන්නට පටන් ගනී. මේ අතරවාරයේ මම සිහිනයක් දකිමි.

අපි වැව්තාවුල්ලේ සිටිමු. වැව පිරෙන්නට පටන් ගෙන ඇත. එයින් ගලන වතුරෙන් කුඹුර සරු වී බතක් ඉදෙයි. සුවඳැල් හාලෙන් ඉදුනු කිරිබත සුවඳ වත් වෙයි.

“මේ වැවට නමක් නැද්ද ?”

මම සෝමරත්න දිසානායකගෙන් විමසීමි.

“අපි මේකට දිසා වැව කියලා දාමු.”

ඔහු හොඳ නැද්දැයි අසන්නට මගේ මුහුණ දෙස බැලුවේය.