වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




පදම වැඩිවෙලා ඩ්‍රයිවර් මාරුවෙලා

පදම වැඩිවෙලා ඩ්‍රයිවර් මාරුවෙලා

ඔන්න එක දවසක් රත්නපුරේ ‘විනෝද සමය’ රඟ දක්වන්න සියල්ල සූදානම් කර තිබුණා. මේ නාට්‍යය සංවිධානය කළ අය මෙහි සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කළේ මා සමඟයි. මොකද මමත් රත්නපුර පැත්තෙ පදිංචි කෙනෙක් නිසා. දැන් ඉතින් නාට්‍යය පෙන්වන දවස උදාවුණා. සංවිධායකයන් ගජරාමෙට අපේ පැමිණීම ගැන පෝස්ටර්වලින් විතරක් නෙවෙයි, යකඩ කටකුත් බැඳගෙන මුළු රත්නපුරය පුරාම ප්‍රචාරයක් ලබා දුන්නා.

ඉතින් මම ගමේ මිනිහා නිසාම කොළඹින් එන අපේ කට්ටියට තේ සංග්‍රහ කටයුතු බාර වුණෙත් මට. මමත් ඉතින් ඉස්තරම් විදියට හිතලා හොඳ පහේ හෝටලයක් කල්තියාම සූදානම් කළා. ඔන්න ඉතින් කවුරුත් ‘විනෝද සමය’ රැගෙන රත්නපුරයට සේන්දු වුණා, රසිකයන් පිනවන්න. අපිට දීලා තිබුණු ප්‍රසිද්ධිය නිසාම හෝල් එක අතුරු සිදුරු නැතුව සෙනඟ පිරී ඉතිරිලා. ගමේ කමට මටත් හරි ආඩම්බරයි. ඔන්න ඉතින් එදා සවස දර්ශනය ආරම්භ කළා. ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මැද ‘විනෝද සමය’ රඟ දැක්වූවේ ප්‍රේක්‍ෂකයන්ට කිසිදා අමතක නොවන සිනා සාගරයක් සමඟ. නාට්‍ය සංවිධායකයන්ට කොහොම හරි ඕන කළා තවත් දර්ශනයක් අපි ලවා කරගන්න. ඉතින් අපේ කණ්ඩායමේ කට්ටියගේ කැමැත්ත පරිදි ඒ සඳහා අපි සූදානම් වුණා.

දැන් ඉතින් පළමු දර්ශනය වගේම ඒ දර්ශනයත් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මධ්‍යයේ අරම්භ වුණා. වැඩේ ඉස්තරම් විදියට කෙරුණ නිසා නාට්‍ය සංවිධායකයන්ටත් හරි සතුටුයි. අපේ කට්ටියටත් විශාල ප්‍රේක්‍ෂක පිරිසක් සතුටු කරන්න ලැබුණු නිසාම බොහොම විමෝද ජනක දවසක් වුණා. මම ගමේ මිනිහා නිසාම අපේ කට්ටියට ලැබෙන්න ඕන මුදල් ගනුදෙනු, නාට්‍ය සංවිධායකයන් සමඟ කතාකර ගන්න පවරලා තිබුණේ මට. මේ සියලු මුදල් හදල් අරගෙන මම අපේ කට්ටිය එක්කරගෙන ගියේ කලින්ම මම සූදානම් කරලා තිබුණ හෝටලයට. ගිහින් කෑමට පෙර පොඩි බෝතල් පාටියක් දැම්මා. කාගෙත් විහිළු කතා අතරේ දන්නෙම නැතිව කට්ටියටම වීදුරු එක, දෙක වෙලා දෙක, තුන වෙලා තුන, හතර වෙලා මටත් දැන් හොඳ ගණන්. රෑ බෝවෙන එක වැඩි නිසා අපේ කට්ටියට කොළඹ යන්නත් තියන නිසා කෑම කන්න කවුරුත් සූදානම් වුණා.

ඔය අතරේ මට මතක් වුණා කොළඹ ඉඳලා අපේ අයව අරන් ආපු වෑන් එකේ ඩ්‍රැයිවර්. මම ඉතින් කට්ටියට කෑම කන්න සූදානම් කරලා ඩ්‍රැයිවර් හොයාගෙන එන්න හෝටලෙන් එළියට ආවා. මුළු පළාතම කළුවරයි. ලයිට් එළියේ අඬ අඳුරේ මාත් වැනි වැනි ගිහින් වෑන් එක ළඟ හිටිය කෙනෙකුට කතා කළා ‘යං කෑම කන්න’ කියලා. මෙයා මගේ ආරාධනයට එච්චර ප්‍රතිචාරයක් දැක්වුයේ නෑ. දැන් මටත් පදම් වෙලා නිසා කළුවරේ හරිහැටි පේන්නෙත් නෑ. ‘ළමයො ලැජ්ජා වෙන්න එපා අපි විතරක් බඩ කට පුරෝගෙන යනඑක හරි නෑ. අපිත් එක්ක ආවානම් අපිත් එක්කම කාලා බීලා යනවා’. ඒත් මේ පුද්ගලයාගෙන් ඒ ආරාධනයටත් එතරම් මනාපයක් නෑ. දැන් ඉතින් මටත් ටිකක් කේන්ති ගියා. මම සැරෙන් කිව්වා ‘හලෝ මම බර්ටි කියන එක අහලා කෑම ටිකක් කන්න එනවා ඕයි’ කියලා මම මේ පුද්ගලයගෙ අතින් ඇදගෙන හෝටලය ඇතුළට ගෙනාවා.
පිටි කොටන බර්ටි
පොල් ගාන බර්ටි

එහෙම ගෙනත් රෝස් කරපු කුකුල් මස් එක්ක අපි ඕඩර් කරලා තිබුණු කෑම වේලෙ හැම දෙයක්ම මෙයාට කැව්වා. ඒ විතරක් නෙමේ, අයිස් ක්‍රීම්, කිරි පැණි එහෙමත් මගේ පෙරැත්තෙන්ම මෙයාට කන්න දුන්නා. දැන් ඉතින් මෙයත් ඔක්කොම කාලා එළියට ගියහම ඇනස්ලි මට කතා කරලා ඇහුවා ‘බර්ටි උඹ අර කාවද බලෙන්ම අරගෙන ඇවිත් බලෙන්ම කන්න දුන්න කෙනා’ කියලා. ඒ පාර මම කිව්වා ‘ඇයි බං ඒ උඹලා කොළඹ ඉඳන් මෙහාට අරන් ආපු ඩ්‍රයිවර් නේ. ඉතින් බං අපි විතරක් බඩ කට පුරවාගෙන හරි නෑනේ. ඌටත් හොඳට සංග්‍රහ කරන්න ඕනනේ’ කියලා. ‘ඒක ඇත්ත’, ඒත් උඹ දැන් කන්න දුන්න කෙනා අපි එක්ක ආපු ඩ්‍රයිවර් ද කියලා පොඩ්ඩක් හොයලා බලපන්’ කියලා ඇනස්ලි කිව්වා.

මෙහෙම කිව්වම මමත් ඉතින් වෙරි මරගාතේ ආයෙත් හෝටලයෙන් එළියට බැස්සා. ඒ පාර මම එක්කරගෙන ඇවිත් කන්න දුන්න කෙනා වාහනයට කකුලක් තියාගෙන සිගරැට් එකකුත් ඇද ඇද ඉන්නවා. මම කිට්ටුවට ගිහින් එයාගෙන් ඇහුවා ‘ඔයා නේද අපිත් එක්ක ආව ඩ්‍රයිවර්’ කියලා. ‘අනේ නෑ මහත්තයා මම මේ වෙන කට්ටියක් අරන් ආව කෙනෙක්’ කියලා එයා කිව්වා. එතකොට තමයි මට දෙයියො සිහිවුණේ. ‘කොහෙද ඉතින් මහත්තයට කොච්චර කිව්වත් ඇහුවෙ නෑනේ. මම බෑ කියද්දිත් මාව ඇදගෙනම ගිහින් කන්න දුන්නනේ’ කියලා.

එහෙම කිව්වම මට භාගෙට වෙරි හිඳුණා. මම කරලා තියෙන ගොන් තකතීරු වැඩේ ගැන දැන් මටම ලැජ්ජයි. අපේ වාහනේ ඩ්‍රයිවර් කියලා වෙන වාහනයක ඩ්‍රයිවර් කෙනෙක් බලෙන් අරගෙන ඇවිත් හොඳහැටි කන්න දීලා. දැන් ඉතින් මොනවා කරන්නද. ඒ මිනිහා උඩ බලාගෙන හිනාවෙනවා. මම කරපු ගොන් වැඩේට මම ලැජ්ජාවට බිම බලාගෙන හිනාවෙනවා.