|
||||||||||||||||||||||
මහරජ ගැමුණු රූගත කිරීම් නිමයි
මහා වැව් දියවර පිස හමන නොකිළිටි පින්බර සුළඟ විජිත පුර බලකොටුව දෙසට මන්දගාමීව ඇදෙන පුණ්‍යවන්ත හැන්දෑවකි මේ. නා නා විධ ආයුධ සන්නද්ධ සෙබල පන්තිය බලකොටු ද්වාරය වට කොට ගනිමිනි. බලකොටුව වටා දැවී එළි දල්වන යෝධ පහන ඒ සුළං රැල්ලට ඒ මේ අත වැනෙයි. ලා කහ පැහැති මලානික සෞම්‍ය එළි අතරින් බලකොටු ද්වාරය හොඳින්ම පෙනෙයි. බලකොටුව තුළ මහා කලබලකාරී ගතියකි. දුටුගැමුණු රජතුමා ප්‍රමුඛ වීර සේනාංකය ජය සටන සඳහා ළඟ ළඟම පැමිණෙන බවක් දැන් විජිතපුරට සැලව තිබේ. මේ සිංහලය එක් සේසත් කරනු ලබන ඓතිහාසික සටනයි. මඟුල් ඇතු පිට නැඟි දුටුගැමුණු රජතුමාණෝ සේනාව සමඟ නොපසුබටව ඉදිරියට පැමිණෙති. විජිත පුරයට දළුලමින් පැතිරෙන්නේ හිත් පුරා ඇවිලී ගිය භීතියකි. තව සුළු මොහොතකින් විජිත පුර බලකොටුව කැබලි කොට දුටුගැමුණු රජතුමාගේ සේනාව ජයගනු නියතය. සේනාව ක්‍රමයෙන් ඉදිරියට ඇදෙති. බලකොටුවට ළඟවීමට ඇත්තේ තවත් සුළු මොහොතකි. එය උද්වේගකර බිහිසුණුම අවසානයක්. කට් . . . දැහැන බිඳුණේ ප්‍රතාපවත් හඬකිනි.
හරි අපි ආයේ ගමු. ජයන්ත විධානය දෙයි. මේ ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ දර්ශන තලයයි. කලක් තිස්සේ ජයන්ත විඳි ගැහැට නිමා කරලමින් දැන් මහරජ ගැමුණු අවසානය කරා ළඟා වී තිබේ. ලංකාවේ ජ්‍යෙෂ්ඨතම නරපතිඳුන්ගේ කතාන්දරය ජයන්ත අපූරුවට රූපයට නඟා තිබේ. රමණීය දර්ශන තල උපයෝගී කොට ගනිමින් නවීන තාක්ෂණය මනාවට හසුරුවා ගනිමින් නිර්මාණය කරන ලද මහ රජ ගැමුණු දින හැට අටක වෙහෙසක ප්‍රතිඵලයකි. විවිධ පීඩා මැද්දේ එකම දම් වැලක පුරුක් ලෙස කටයුතුª කිරීම මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය බව ජයන්ත පවසන්නේ දිගු හැ¼ගුම්බර සුසුමක් පිට කරලමිනි. විශාල නළු නිළි පිරිසක් යොදා ගනිමින් නිර්මාණය වූ මහ රජ ගැමුණු හි ගැමුණු කුමරු වීමේ අපූරු භාග්‍ය උදා කර ගත්තේ අනුරපුරයේම ඉපිද නොකිළිටි හුස්මින් හැදී වැඩුණු උද්දික ප්‍රේමරත්නය. එලාර රජ වීමේ වාසනාව ලද්දා ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීය. ඔවුන් දෙදෙනාගේ තියුණු රංගනය රැගත් මහරජ ගැමුණු අපේ රජ පෙළපත් ඉතිහාසයේ සුන්දරම සහ වීරත්වය පදනම් වූ කතාවයි. මේ මොහොත වන විට මහරජ ගැමුණු රූගත කොට හමාරය. එහි සතුට විඳීනු පිණිස දඹුල්ල මූන් ෆ්ලවර් හෝටලයේ සුළු සාදයකි. සැවොම එකමුතුව මියැසි සාදයකි. එය හරිම අපූරු සාදයකි. කෙටියෙන්ම කිවහොත් සහෘදත්වයේ සාදයකි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ සිට තේ හදන මලයා දක්වාම එකට එක්ව චිත්‍රපටයේ සාර්ථකත්වය සැමරූ සාදයකි. දැන් මහරජ ගැමුණු රූගත කිරීම් නිමය. අප සන්සුන්ව බලා සිටිය යුත්තේ මහරජ ගැමුණු තිරගත වන දිනය තෙක්ය. ඉතිහාසයේ විස්කම් දැක් වූ ජයන්ත, මහරජ ගැමුණු විස්මිත නිර්මාණයක් කරනු නොඅනුමානය.
|
||||||||||||||||||||||