|
ඒ උත්තරීතර ගුණාංග සදාකාලික මතකයකි
අසංකා අබේසේකර
බක් මාසයේ වසන්ත සඳකැන් වැටී රෝහල් භූමිය පුරාම අමුතු සෞන්දර්යයක් ඇතැයි ඔහුට සිතෙන්නට ඇත. මේ ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබන ගිලනුන්ගේ සිත් කෙතරම් අසරණදැයි ඔහුට සිතුණා විය හැකිය. සෞන්දර්යමත්, නිර්මාණශීලී සිනමාවේදියෙකු වූ ඔහුට රෝහල ආශ්‍රයෙන් තිර පිටපතක් ලියන්නට නොසිතුණා නම් පුදුමය. මේ අපූරු සිනමාවේදියාට උරුම වූ වෙනස්ම ආකාරයක හඬ පෞරුෂයක් ද විය. ඔහුගේ සෙනෙහෙබර බිරිඳ අසංකා ද ඇගේ ජීවිතයේ වැඩිම කොටසක් ඔහු හා දරු දෙදෙනා වෙනුවෙන් වෙන් කළහ. මේ 2009 වසරේ අපේ‍්‍රල් එකොළොස් වැනිදාය. සුපුරුදු ලෙස සුප් කොප්පයක් ද සමඟින් තම පණ හා සරි සැමියා බැලීමට ඕ රෝහල වෙත පැමිණියාය. සැමියාට හිමි සයනයෙහි ඔහු නොමැති නිසා ඇය කලබලයට පත් වූවාය. අසල සිටි හෙදිය වෙත ඉක්මන් ගමනින් ගිය අසංකා ඒ පිළිබඳ හෙදියගෙන් විමසුවාය. හතර වටින්ම වට කරන ලද රෝගියා නොපෙනෙන සයනයක් පෙන් වූ හෙදිය, අසංකාව ඒ වෙත කැටුව ගියාය. පෙරදා පියවි සිහියෙන් ඇවිදිමින් රෝහල් වාට්ටුවේ සිටි තම සෙනෙහේවන්ත පෞරුෂය හිමි ස්වාමියා රෝහල් සයනයෙහි වැතිර සිිටින අයුරු දුටු ඈ හට පපුව සිදුරු කරන්නාත් මෙන් දුකක් දැනුණි.
මේ අන් කිසිවකු නොව ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ ජීවිත සිනමාවෙන් සමුගැනීමය. ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ සොඳුරු මතක සමඟ මෙවර ‘පිය සටහන්’ සමඟ එක් වන්නේ තිස්ස අබේසේකරයන්ගේ දයාබර බිරිඳ අසංකා මොනරවිල අබේසේකර, දිමිත්‍ර පුතනුවන් හා ස්වෙත්ලානා දියණිය යන තිදෙනායි. ‘මම තිස්ස අබේසේකර කියන නම අහලා තිබුණත් හැත්තෑව හැත්තෑ එක කාලේදී තමයි පළමු වතාවට දැක්කේ. ඒ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ළමයි චිත්‍රපටයේ වැඩකට ගිය වෙලාවේදී. ඒ කාලේදිත් එයාට එතන හිටිය පිරිමි අය අතර අමුතු පෞරුෂයක් වගේම හොඳ හදවතක් තිබුණ මනුසත්කමක් තිබුණා. ඒ වගේම පිළිවෙල කියන එකත් තිබුණා. ටික කාලයක් යන කොට මමත් චිත්‍රපටවල රඟපාන නිසා අනෙක් අධ්‍යක්ෂවරුන්ට වඩා වෙනස් හොඳ මිනිස් ගතිගුණ බොහොමයක් දැක්කා. ටික කාලයක් අපි බොහොම ළඟ මිතුරන් විදියට ආශ්‍රය කළා. කොහොම හරි 79 අවුරුද්දේ ජූනි මාසයේදී අපි දෙදෙනා විවාහ වුණා. එතකොට තිස්ස ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. එසේ පැවසූ අසංකා තිස්සගේ ඡායාරූපයක් දෙස බලාගෙන හෙළු කඳුළක් ඇගේ අත මතට වැටිණි. ‘89 අවුරුද්දේ දී ස්වෙත්ලානා දුව ඉපදුන වෙලාවෙත්, 93 දී දිමිත්‍ර පුතා ඉපදුන වෙලාවෙත් තිස්සගේ ඇස්වල තිබුණ ප්‍රීතිය මම කවදාවත් එයාගෙන් දැකලා නැහැ. අතිශය කාර්යබහුල පුද්ගලයෙක් වුණත්, නිතර ගෙදර රැඳෙන්න බැරි වුණත් එයා කවදාවත් යුතුකම් ඉටු කරන්න අමතක කරලා නැහැ. චිත්‍රපට සංස්ථාවේ සභාපති වෙලා ඉන්න කාලේ, සංස්ථාවේ කිසිම වාහනයක් පෞද්ගලික පාවිච්චියට ගත්තේ නැහැ. ඒ වගේම එයාට හමු වුණ නිල රථයට ඉන්ධන සැපයුවේ එයාගේ මුදලින්. මම දරුවෝ දෙන්නව පාසල් රැගෙන ගොස් ආපසු බස් එකෙන් ඇවිත් චිත්‍රපට සංස්ථාව ළඟින් බහිනවා. කවදාවත් අපේ වැඩකටවත් එයා ඒවා භාවිත කළේ නැහැ.
‘අප්පච්චි කවදාවත් අපිට මෙහෙම වෙන්න කියලා කටින් කියලා නැහැ. එයා ක්‍රියාවෙන් ඒක කරලා පෙන්නුවා. දවසක් මම ඉස්කෝලේ ඉවර වෙලා ක්‍රීඩා වැඩසටහනකට රෝයල් එකට යන්න පාර ළඟ ඉඳන් අප්පච්චිට කෝල් කළා. එයා කිව්වා ටැක්සියකින් යන්න කියලා. මම කිව්වා මා අතේ සල්ලි නැහැ කියලා. එහෙනම් බස් එකකින් යන්න කිව්වා. මම කිව්වා මා ළඟ කීයක්වත් නැහැ කියලා. එහෙනම් ඔතන ඉඳන් ටික දුරයිනේ, පයින් යන්න කිව්වා. එහෙමයි අපිට අප්පච්චි ජීවිතේ ඉගැන්නුවේ. ‘සමහර වෙලාවට එයාගේ යාලුවොත් එක්ක කරන විද්වත් සාකච්ඡාවල පැත්තකට වෙලා මම අහගෙන ඉන්නවා. අප්පච්චි නැති වෙනකොට මට වයස අවුරුදු දහසයයි. එයා ජීවිතේ එයාගේ පොත්වලින් මට ඉතුරු කරලා ගිහිල්ලා. දිමිත්‍ර දුක සඟවාගෙන අනාගතයට පියාගේ උරුමකම ගැන සෙවිල්ලෙන් සිටින නව යෞවනයෙකි. ‘හරියටම 2009 අප්‍රෙල් පළමුවැනිදා රෑ එයාට අසනීප වුණා. ඒත් එයා පළමුවැනිදා නිසා හොස්පිටල් යන්න කැමැති වුණේ නැහැ. දෙවැනිදා හොස්පිටල් නතර කළා. පරීක්ෂණ කිහිපයක්ම කළා. හරියටම අප්‍රේල් එකොළොස් වැනිදා මම එයාව බලන්න හොස්පිටල් එකට යනකොට එයා වාට්ටුවේ හිටපු ඇෙඳ් හිටියේ නැහැ. මම නර්ස් කෙනෙක්ගෙන් ඇහුවා කෝ කියලා. එම්. ආර්. අයි. ටෙස්ට් එකෙන් පස්සේ එයාව වෙනම ඇඳක තිරවලින් වට කරලා දාලා තිබුණා. මම ළඟට ගිහින් කතා කළාම එයා මගෙන් ඇහුවා ‘මට හොඳ වෙන්නැති වෙයි ද’ කියලා. ඒක අහපු මට හයියෙන් කෑගහලා අඬන්න හිතුණත් එයාට පෙනෙන නිසා දුක හිතේ තද කරගෙනම හිටියා. ඊට පසු දවස් දෙකකදී එයාව ඔපරේෂන් තියටර් එකට ගත්තත් අධික රුධිර වහනය නිසා බැරි වුණා. අන්තිමට අප්‍රේල් දහඅට වැනිදා එයා අපි තුන්දෙනාම මේ ලෝකේ තනි කරලා දෙවියන් අතරට ගියා කියමින් අසංකා නිහඬවම සිහින් කඳුළක් පිට කළා. ‘අද මට එයාගේ පොත්පත්, ලියන මේසය දකින කොට හරිම වේදනාවක් ඇති වෙනවා. එයා නැති වෙලා මාස කිහිපයකට පස්සේ එයා උගන්වපු ජාත්‍යන්තර පාසලක කළමනාකාරිත්වයෙන් දිමිත්‍ර පුතාගේ අධ්‍යාපනයට උපකාර ඉල්ලුවාම එයාලා ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක් වූයේ නැහැ. සමහර වෙලාවට එහි අයිති අයට ඒ ලිපිය නොලැබුණා වෙන්නත් පුළුවන්. ‘කොහොම වුණත් එයා ජීවත් වෙලා ඉන්න කාලේ උදව් කරන්නම් කියපු බොහෝ අය අපි ගැන බැලුවේවත් නැහැ. එයා ජීවත්වෙලා සිටියා නම් අතිගරු ජනාධිපතිතුමා යුද්ධය ඉවර කරපු එක ගැන ගොඩාක් සන්තෝස වේවි.’ අසංකා එහෙම කියන කොට දිමිත්‍රත් යමක් පවසන්න සැරැසුණේ ලොකු උනන්දුවකිනි. ‘අප්පච්චිගේ තිබුණේ වමේ දේශපාලනයක්. දුප්පත් මිනිසුන් වෙනුවෙන් සමසමාජ පක්ෂයට හිතවත්ව වැඩ කළා. නිවැරැදි මානුෂික අදහස් දැරුවා. මම දැන් නීති ශිෂ්‍යයෙක් විදියට ඉගෙන ගන්නවා. ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන න්‍යාය ධර්ම වගේම, අපේ රටට ගැලපෙන ක්‍රම ගැනත් මම තරුණයකු විදියට අධ්‍යනය කරනවා. අනාගතයේ පක්ෂ දේශපාලනය කෙසේ වෙතත් තිස්ස අබේසේකරගේ පුතා විදියට ඔහුගේ චින්තනය සමඟින් මම මගේම දේශපාලන ගමනකටත් සූදානම්. අප්පච්චිගේ ජාන ඇතුළේ තිබුණ දේශපාලනය, නිර්මාණ තුළ තිබුණු දේශපාලනය සත්‍ය ලෝකයේ දකින්න නැහැ. දිමිත්‍ර එසේ පැවසුවේ දැඩි අධිෂ්ඨානයකින්. ළඟදීම තිස්ස ලියූ තිර රචනා දෙකක් සාහිත්‍ය කෘතියක් විදියටත් එළි දක්වන්න මම මේ දිනවල කටයුතු කරනවා යනුවෙන් අසංකා පැවසුවේ දැඩි ස්ථාවරයක සිටිමිනි. ‘එයා කොයි ලෝකෙක ඉඳන් හරි අපිට ආශිර්වාද කරනවා ඇති. එවන් උත්තම පුරුෂයෙක් ලබන්න අපි පින් කරන්න ඕනෑ.’ එසේ කියූ අසංකා තිස්ස අබේසේකරයන්ගේ සිහින ලෝකයේ තනි වූවාය.
|