|
මට ඒක නම් හරිම හිසරදයක්
සෙයිලමට වඩා උපන් ගමට පෙම් බැඳි රිචාඩ් වීරක්කොඩි
ඕක කවුරුත් අහපු නැති ප්‍රශ්නයක්
පියදාස මාමාට මාලකගෙන් තොර ලොවක් නොවීය. පුංචි කාලයේ සිට තමාගේම දරුවකු ලෙස උස් මහත් කළ මාලක පියවරෙන් පියවර ලබන ජයග්‍රහණ ගැන පියදාස මාමා බලා සිටියේ අප්‍රමාණ වූ සොම්නසකිනි. මාලක අද දිසාපති කෙනෙකි. ඔහු කොළඹින් ලැබුණු නිල නිවාසයට යන්නේ පියදාස මමා ද කැටුවය. සංකර වූ කොළඹ නගරය දකින පියදාස මාමාට ගම මතක් වේ. සැබෑ ජීවිතයේ ඒ පියදාස මාමා ලොබ බඳින්නේ ද ගමටය. එහෙයින් රූගත කිරීම්වලට ද පැමිණෙන්නේ කුරුණෑගල තම උපන් ගම්මානයේ සිටය. මේ පියදාස මාමා අපට මුණ ගැසෙන්නේ තරුමලී ටෙලි සිතුවමෙනි. රිචාඩ් වීරක්කොඩි. ඒ ඔබ මා පෙම් බඳින පියදාස මාමාය.
අනේ කොච්චර එකක්ද, ඔබට වගේම අද මාව දකින වැඩි දෙනෙකු ආ . . . රිචාඩ් අයියා කියලා කතා කරන්නේ හරිම අඩුවෙන්. පියදාස මාමේ කියලා කට පුරා අමතනවා. ඔන්න බලන්න අපි කරන චරිතෙ හරියටම කළාම මිනිස්සුන්ට ඒක දැනෙන හැටි. තවත් කාලෙකින් මං වෙනින් චරිතයක් කළාම එනමින් අමතාවි. එතකම් මම පියදාස මාමා තමයි.
සෑහෙන කාලෙකට පස්සේ ඔබ පුවත්පත් සාකච්ඡාවකට එන්නේ? මං ගමේ මිනිහනේ. ෂූටිං ඉවර වෙලා නිවාඩුවක් ලැබුණ ගමන් මං ගමේ දුවනවා. වැඩ ගොඩක් ඔළුවේ තියාගෙන කොළඹ එන්නේ. ඒ වැඩ ටික කර ගත්තට පස්සේ දවස ඉවරයි. ඒත් පත්තරේකින් කතා කළොත් නෑවිදින් ඉන්නේ නැහැ. මං මේ ලේක්හවුස් එක ඇතුළේ පිනුම් ගහපු කෙනෙක්. ඉස්සර නම් නිතර නිතර පුවත්පත්වලින් අප වැනි අය ගැන සඳහන් කළා. දැන් ඉතින් අපි පරණ ඈයොනෙ. අලුත් කොල්ලෝ කෙල්ලෝ ගැන තමයි ගොඩක් වෙලාවට පත්තරවල යන්නේ.
අන්න රිචාඩ් අයියා නව පරපුරට පොඩි කැපිල්ලක් දැම්මා? පිස්සුද. මං අලුත් අයට කැපිලි දාන්නේ නැහැ. නමුත් අලුත් අයට උදව් කරන්න හිතෙනවා අඩුයි.
මොකද අප්පේ ඒ? අලුත් අයට උදව් කරන්න ගිය ගොඩක් අය නතර වුණේ ගොසිප් වෙබ් සයිට්වල තමන්ගේ නම සටහන් කරගෙන.
ඉතින් හොඳයිනේ? ඒ මොකෝ හොඳයි කියන්නේ. එතකොට රිචාඩ් අයියගේ ජනප්‍රියත්වය වැඩි වෙනවානෙ? මේ ලබාගෙන තියෙන ජනප්‍රියත්වය හොඳටෝම ඇති.
ඔබව අප මුල් යුගයේ දුටුවේ විකට චරිතවලින්. නමුත් ඔබව අද අප එහෙම දකින්නේම නැති තරම්? අමරණීය ආදරේ, චංචල රේඛා වැනි චිත්‍රපට ගණනාවක මං විකට චරිත කළා. කොමඩි කරන්න හරිම අමාරුයි මල්ලි. පස්සේ දුෂ්ඨ චරිතවලට යොමු වුණා. අන්න එදා ඉඳලා මිනිස්සු මට බනින්න පටන් ගත්තා. කොමඩි කරන කාලේ පුදුම විදිහට රසික රසිකාවන් මට ළෙංගතු වුණේ. ඔන්න බලන්නකෝ, කොමඩිවලින් අයින් වුණායින් පසුව කිසිම අධ්‍යක්ෂවරයකු මට ඒ වගේ චරිත දුන්නෙම නැහැ. උඩුගං යාමය චිත්‍රපටයේ තමයි මං රඟපාපු හොදම දුෂ්ඨ චරිතය තියෙන්නේ.
විකට රංගනයේ දිගින් දිගටම යෙදුනා නම් ඔබ වටා මීට වඩා රසික රසිකාවන් පිරිසක් ඉන්න තිබුණා? ඔව්. ඒක මම පිළිගන්නවා.
මා දන්නා පරිදි ඔබ වෘත්තීමය කලාකරුවෙක්? නැහැ. ඔබ කිව්වා වගේ මාව එහෙම තමයි වැඩි දෙනෙකුට පේන්නේ. නමුත් මං කලාව කරන ගමන් වෙනින් බිස්නස් වැඩ කරනවා.
ඇයි කලාවෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත් නැද්ද? චරිතයක් සඳහා මං ඉල්ලන මුදල සතයක්වත් අඩු නැතුව මට ලැබෙනවා නම් විතරක් කලාවෙන් මං ජීවත් වෙනවා. ඒත් එහෙම වෙන්නේ නැහැ. මගේ ගාන අහපු ගමන් නිෂ්පාදකවරු බය වෙනවා.
ඇයි රිචාඩ් අයියා මෙච්චර ගණං? මං කොළඹ ආවම නිෂ්පාදන කණ්ඩායම ඉන්න තැන නෙවෙයි නවාතැන් ගන්නේ. මං මගේ මුදලින් ළඟපාත තැනකින් වෙනම කාමරයක් ගන්නවා. ඒ වගේ දේවලුත් එක්කමයි මගේ වටිනාකම කියන්නේ. හැබැයි වර්තමානයේ නාට්‍ය කරන විදිහට මගේ ගණන ගැළපෙන්නේ නැහැ තමයි. ඒ හින්දා දරදඬු නොවී මං කීයක් හරි අඩු කරලා වැඩේට එනවා.
මෙච්චර කටු කකා කලාවෙ ඉන්නෙ නැතුව බිස්නස් වැඩ කරගෙන පාඩුවේ ඉන්න තිබුණනේ? එහෙම කොහොමද ඉන්නෙ මල්ලි. මං කාලයක් ඒ විදිහට හිටියා. එදා ඉඳලා මිනිස්සු අහනවා දැන් රඟපාන්නේ නැත්තේ ඇයි, දැන් නැත්තේ ඇයි කියලා. මට ඒක හරිම හිසරදයක් වුණා. එකක දෙකක හරි රඟපාන්න ආවේ ඒකයි. ආයෙත් දිගටම වැඩ සෙට් වුණා.
ඔබේ සමකාලිනයෝ අද අධ්‍යක්ෂණයටත් පිවිසිලා. එත් ඔබ? මං සහාය අධ්‍යක්ෂවරයකු විදිහට හිටියා. මට තවම හොඳ පිටපතක් ලැබුණේ නැහැ. ලැබුණොත් ඒ ගැන හිතලා බලනවා.
රිචාඩ් අයියා නිළියො කි දෙනෙකුට ආදරය කරලා තියෙනවාද? නිළියන්ට ප්‍රේම කරලා නැහැ. හැබැයි උදව් කරලා තියෙනවා.
කවුද ඒ අය? මං නම් වශයෙන් කියන්නේ නැහැ. අද මාව දැක්කම ඔවුන් අහක බලා ගන්නවා. ඇතැමුන්ට මතකත් නැහැ.
ඔබේ ඇත්ත නම් රිචාඩ් ද රිචඩ් ද? ඕක ගොඩක් දෙනෙකු අහපු නැති ප්‍රශ්නයක්. මගේ ඇත්ත නම රිචඩ්. ඒත් ෆීල්ඩ් එකේ අය විසින්මයි රිචඩ්, රිචාඩ් කළේ.
වර්තමානයේදී බොහෝ නාට්‍යවල පිටපත දෙන්නේ දර්ශන තලයේදී. ඔබ එවැනි නාට්‍යවලට යනවාද? ඇත්තම කිව්වොත් මට පිටපත නැතුව රඟපාන්න සිද්ධ වෙලා තියෙනවා. හිතකින් නෙවෙයි එහෙම රඟපාන්නේ. පිටපත තිබුනා නම් රඟපාන එක ඉතාම තාත්ත්විකව කරන්න තිබුණා.
මං පොඩි රහසක් අහන්නද? හා.
තවමත් රිචාඩ් අයියගෙ පස්සෙන් ගැහැනු ළමයි එනවාලු? රිචාඩ් ඒ පැනයට පිළිතුරු දුන්නේ හොඳ හිනාවකුත් එක්ක. කතාව ඇත්ත මල්ලි. ඉස්සරත් එහෙමයි. දැනුත් එහෙමයි. ඒ අයට කියන්න ඕනෑ මම දැන් විවාහක දරුවො ඉන්න තාත්තා කෙනෙක් කියලා.
දරුවො ගැන කියපු එකේ පවුලේ විස්තරත් කියමු? මට පුතයි දුවයි ඉන්නේ. දුව පසුගියදා විවාහ වුණා. මගේ බිරිය ගුරුවරියක්. නමුත් මං වගේ වෘත්තියක් කරන අයකු සමඟ විවාහවන්න සිද්ධ වීම නිසා ඇයට රස්සාවෙන් අස්වෙන්න වුණා. මොකද මං කොයි වෙලාවෙත් ෂූටිං හින්දා. ඇයට මං තුති පුදනවා මං වෙනුවෙන් කැපවීම් කළාට.
රිචාඩ් අයියා තවම යන්නේ එන්නේ බස් එකෙන් කියන්නේ ඇත්තද? අනේ ඔව්. වාහනයක් තියෙනවා. ඒකෙ කොළඹ ආවාම අවධානම වැඩියි. මොකද ඩ්‍රයිව් කරන සිහියෙන්මනෙ ඉන්න ඕනෑ. කුරුණෑගලින් ඒ සී බස් එකක නැග්ගා, පොඩි නින්දකුත් දාගෙනම කොළඹින් බහිනවා.
හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ කිට්ටු ඇසුරක් තිබුණා. අද ඔහු හිටියා නම් ක්ෂේත්‍රය ගැන මොනවා කියයිද? මුකුත් කියන එකක් නැහැ. කසයක් අරගෙන වැරැදි කරන අයට ගහලා පන්නාවි. එතුමාණන් මේ ක්ෂේත්‍රය ගැන පූුජනීයව හිතුවා. ඔහු අකාලයේ නැති වුණේ අපගේම අවාසනාවට. මට සේන සමරසිංහවත් මතක් වෙනවා ගාමිණී මහත්තයාව මතක් කරද්දී. ඔවුන් දෙපොළ මට කළ උදව් අපමණයි.
ස්ථිර පදිංචියට කොළඹ ආවෙ නැත්තේ ඇයි? මට බයයි රිචාඩ් වීරක්කොඩි කියන ගැමියා මට අහිමි වෙයි කියලා කොළඹ ආවොත්. ගම හොඳයි. ගමේම ඉන්න තීරණය කළා ඒ හේතුව මත.
මොනවද තරුමලීට අමතරව මේ දවස්වල කලා කටයුතු? සමන්කුමාර ලියනගේගේ සඳසාවි, සිදමබරම් සහ සංජය ගුණවර්ධනගේ සැලමුතු වෙරළ යන නාට්‍යවල ෂූටිං.
|