වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනයෙන් දුර ගමනක් යන නිමල් අල්විස්

රංගනයෙන් දුර ගමනක් යන නිමල් අල්විස්

නිමල් අල්විස්ගේ ගම හෝකන්දර. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ මාදිවෙල රාහුල විද්‍යාලයෙන්. පාසල් අධ්‍යාපනය ලබන කාලයේදීම නිමල්ගේ දෙමාපියන් දෙදෙනා හදිසියේම ජීවිතයෙන් සමු ගත්තා. ඒ හේතුවෙන්ම නිමල්ට උසස් අධ්‍යාපනයට යන්න බැරි වුණා.

ඔහුගේ අතරමඟ නතර වූ ජීවිතය යළි ගොඩ නැගුණේ බිරිඳ ප්‍රියංකා සිය ජීවිතයට හවුල් වූවාට පසුවයි. එතැන් සිට ඇරැඹූ ගමන ඔහු රංගන ශිල්පියෙක් ලෙසින් රටම හඳුනා ගත්තා.

මගේ හිතේ පොඩි කාලේ ඉඳලම රංගනයට කැමැත්තක් තිබුණා. ඒ නිසාම මම සුජීව පරණහේවා නැමති කලා අධ්‍යක්ෂවරයාගේ මඟ පෙන්වීම යටතේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ සමඟම හඳුනා ගත්ත සුනන්ද සිල්වා, දමින්ද මඩවල, සෝමරත්න දිසානායක, සුරංජන් විජේනායක යන අය මට බෙහෙවින් උදව් කළා.

මේ වන විට මොහු මහතලා හටන, සතර දෙනෙක් සෙන්පතියෝ, සරා, දොරටු පාලකයෝ, මෙගා, ෂෝට් කට්, නිල් දිය රැල්ල, සුළඟ එෆ්. එම්, යර්ස් මැඩම් ඇතුළු ටෙලි නාට්‍ය දහ අටකට රංගනයෙන් දායක වී තිබෙනවා.

ව්‍යාපාරිකයෙකු වශයෙන් වෘත්තීය තෝරා ගත් නිමල් බින්දු චිත්‍රපටයේ ‘රතුහාමි’ චරිතයෙන් සිනමා රංගනයට ද යොමු විය. ඊට අමතරව මොහු ආකාස කුසුම්, බඹර වළල්ල, හීරෝ නම්බර් වන්, බර්ත් ඩේ වැනි සිනමා නිර්මාණවලට ද රංගනයෙන් දායක වී තිබේ.

මනුෂ්‍යත්වයෙන්, සුහදශීලී බවින් මෙන්ම එකමුතුකමින් ක්ෂේත්‍රයේ රැඳුණු නිසාම ඔහුට රංගන ශිල්පිියක් ලෙසින් මේතාක් දුර පැමිණීමට හැකි වූ බව පවසන නිමල් නව නිර්මාණ කිහිපයකට ද සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටී.

මගේ කලා කටයුතුවලට බිරිඳ ප්‍රියංකා වගේම නිෂාදි, සඳලි දියණියන් දෙදෙනාගෙන් ලැබෙන්නේ වචනයෙන් කියන්න බැරි තරම් සහයෝගයක්. ඒ නිසාම මගේ ව්‍යාපාර කටයුතුත් සාර්ථක කරගෙන කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.

ඉදිරියේදීත් කලා නිර්මාණ තුළින් රංගන ශිල්පියෙකු ලෙසින් ඔබ හමුවට එන නිමල් අල්විස්ගේ ලිපිනය මෙයයි. නො: 138/1, හෝකන්දර දකුණ, හෝකන්දර.