වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

මෙතායස් ප්‍රනාන්දු රඟපෑ සරදියෙල් චිත්‍රපටයේ ගැයෙන ‘බුදුනේ බුදුනේ’ ගීතයත්, කැලෑ හඳ චිත්‍රපටයේ එන ‘මායා - මායා’ ගීතයත් ‘බව්ජි බව්රා’ නම් පැරැණි හින්දි සිතුවම් පටයේ එන ‘භගවා භගවාන්’ නිර්මාණයත් එකම තනුවකට ගැයුන ගීතයන් නේද?

ගිල්බට් පෙරේරා

හෝකන්දර දකුණ

ඔව්. ඒ ගීත සියල්ල බව්ජි බව්රා චිත්‍රපටයේ නෞෂාඩ්ගේ තනුවට අනුව ගැයුණු ගීත.

හිරු, දෙරණ සහ ස්වර්ණවාහිනි නාළිකා පිහිටා තියෙන්නේ කොහිද?

ශ්‍යාමලී

හෝකන්දර

හිරු ටී. වී, 35 වැනි මහල,නැගෙනහිර කුළුණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය,කොළඹ 01.

දෙරණඅංක 05, ස්කෙල්ටන් පාර,කොළඹ 05

ස්වර්ණවාහිනීඅංක 676, ගාලු පාර,කොළඹ 03.

සිංහල සිනමාවේ 500, 1000 සහ 1500 චිත්‍රපට පිළිවෙලින් මොනවාද?

රත්න කහඳව

අලව්ව.

සිංහල සිනමාවේ තවම තිරගත වෙලා තියෙන්නේ චිත්‍රපට 1176 යි. ඒ නිසා තෙවැනි ඉල්ලීම ලබාදෙන්න හැකියාවක් නැහැ. 500 වැනි චිත්‍රපටය වන්නේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ සක්විති සුවය චිත්‍රපටයයි. 1000 වැනි ස්ථානය හිමි වන්නේ සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කළ ‘හිත හොඳ පිස්සෝ’ චිත්‍රපටයටයි.

ජනප්‍රිය ගායක බී. එස්. පෙරේරා ජෝ අබේවික්‍රමට පසුබිම් ගායනා කළාද?

සුගත් කහඳගම

හංවැල්ල

ඔව්. ඇමැතිකම චිත්‍රපටයේ ගීත ගායනා කළා.

ජනප්‍රිය සිනමා නිළි නීටා ප්‍රනාන්දු සිනමාවට පිවිසියේ කුමන වසරේද? මුල්ම චිත්‍රපටය කුමක්ද? ඇය හොඳම නිළි සම්මානය දිනා ගත්තා ද? ඇයගේ ලිපිනය පළ කරන්න.

රචිත

රාජාංගනය

ඇය ප්‍රධාන චරිතයක් ප්‍රථමයෙන් නිරූපණය කළේ ළඳක මහිම චිත්‍රපටයෙන්. ඒ 1965 වසරේදියි. නමුත් ඇය සිනමාවට පිවිසියේ 1965 වසරේදීම තිරගත වූ සතුටයි කඳුළයි චිත්‍රපටයෙන්. මේ චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළේ ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ. නීටා ප්‍රනාන්දු දුහුළු මලක් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඕ. සී. අයි. සී. උත්තමාචාර සම්මාන උළෙලේදී හා පවුරු වළලු චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සිංගප්පූරුවේදී සම්මානයට පාත්‍ර වුණා.

ලිපිනය – අංක 04, දියවන්නා උද්‍යානය, බත්තරමුල්ල.

අද කාලයේ නළු නිළියන් දික්කසාදය කියන වගන්තිය සෙල්ලමට අරගෙන වැඩ කරන්නේ ඇයි?

සමන් පෙරේරා

හැඳල

ඔවුන් එදාට වඩා හිතට එකඟව ජීවත් වෙන හින්දා.

වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා කවුරුන්ද, අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව කොපමණද?

ආර්. එස්. වික්‍රමාරච්චි

ශ්‍රීමා පුෂ්පාංජලී

මීගොඩ

සුනිල් සෝම පීරිස්. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව 54 ක්.

චායා, මුතුපලස, මුතු ටෙලි නාට්‍යවල සහ ජීවිතේ ලස්සනයි චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ මහේෂි මධුසංඛාගේ ලිපිනය පළ කරන්න.

සහබන්දු

මත්තුමගල

අංක 74/6, ගල්කිස්ස පාර,මොරටුව.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ‘සංදේශය’ චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන්ගෙන් දැනට ජීවතුන් අතර සිටින්නේ කවුරුන්ද?

කිත්සිරි ගුණසේන

කන්දෙගෙදර

එහි රඟපෑ ප්‍රධාන නළු නිළියන් අතරින් අයිරාංගනී සේරසිංහ, කාන්ති ගුණතුංග, බන්දු ගුණසේකර අප අතර සිටිනවා.

ලෝකයේ ලොකුම සිනමාහල පිහිටි රට කුමක්ද? එහි කොපමණ පිරිසකට චිත්‍රපට නැරැඹීමට හැකියාවක් තිබේද?

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

ඒ කාලයේ අමෙරිකාවේ නිව්යෝක් නගරයේ රේඩියෝ මියුසික් හෝල් හය දහසක පමණ පිරිසකට මෙහි සිට නැරැඹීමේ පහසුකම් තියෙනවා. 1979 පසු මෙහි චිත්‍රපට ප්‍රදර්ශනය කළේ නැහැ. වර්තමානයේ විශාලම සිනමා ශාලාව වන්නේ අමෙරිකාවේ මැන්හැඩන්ට් හි ඒ.එම්.සී එම්පයර් ශාලාවයි.

රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකාගේ ලිපිනය පළ කරන්න.

සේපාලි

පන්නිපිටිය.

සෙනාලි මේ දිනවල විදේශ ගත වෙලා සිටින්නේ.

එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගීත ගායනා කරන අය අතරින් ජෝතිපාලයන්ගේ හඬට යන්තම් හෝ සමාන කාගේ කටහඬද? ඔබගේ අදහස දැනගන්න කැමැතියි.

සෙව්වන්දි පෙරේරා

ගෝනවල

ජෝතිපාලයන්ගේ හඬට කිසිිවෙකුගේ හඬ සමාන නැහැ. අනිත් අය කරන්නේ ඔහුගේ ගීත නැවත ගායනා කිරීම නැතහොත් කීම පමණයි.

‘අද මෙහෙමයි’ වෙන්කට්ගේ අධ්‍යක්ෂණයක් යැයි ඔබ සඳහන් කර තිබුණා. නමුත් එය රොබින් තම්පෝගේ අධ්‍යක්ෂණයක් නොවේද?

ආනන්ද ප්‍රනාන්දු

නිට්ටඹුව

අද මෙහෙමයි අධ්‍යක්ෂණය කළේ කේ. වෙන්කට් විසින්. රොබින් තම්පෝ එහි නිෂ්පාදකයා පමණයි.

2013 වසරේ තිරගත වූ චිත්‍රපට අතුරින් අර්ජුන් නරඹා වඩාත්ම කැමැති චිත්‍රපට තුනක් මම දන්නවානේ. ඔයා නැරැඹූ අනෙක් චිත්‍රපට පහ වන්නේ අනිත්‍යා, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, අභිනික්මන, දෝණි සහ රන් කෙවිට 2 නේද? මම කොතෙක් දුරට නිවැරැදි ද?

කරු මන්දාවල

නාත්තණ්ඩිය

දෙකක් විතරක් හරි.