|
පළමු රංගනයෙන්ම මං ගොඩ ගියාඅරවින්ද දොඹගහවත්ත
විනූගෙයි මගෙයි තියෙන්නේ හිතවත්කමක්
ඇහැළේපොල කුමාරිහාමි මගේ හීනය සැබෑ කළා
දැන් ජනප්‍රිය නළුවෙක් නේද? ජනප්‍රියයි ටිකක්. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
අරවින්ද කොහොමද ක්ෂේත්රයට පිවිසෙන්නේ? පාසල් යන කාලයේදීම වේදිකා නාට්‍ය හරහා රංගනයට සම්බන්ධ වුණා. ඊට පස්සේ මෝස්තර නිරූපණයට යොමුවුණා. වේදිකාව අත හැරියේ නැහැ. මගේ වේදිකා නාට්‍යයක් දැකලා තිබුණා සුනිල් කොස්තා මහත්මයා. ඔහු මාව ඔහුගේ සුදුයි උසයි නාට්‍යයට ගත්තා. ඒක තමයි මගේ පළමු ටෙලි නාට්‍ය රංගනය. ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ ගැන මතක් කළොත්? සොකරි, සඳ ළඟ මරණය, සිඟාල පුරෝහිත මං රඟපෑ වේදිකා නාට්‍ය කිහිපයක්. සුදුයි උසයි වලින් පසුව වැහිලිහිනි, වීණාවි, වසන්තයට පෙර, මෙගා වැනි නාට්‍යවල විවිධ චරිත මැව්වා. ඒ අතරින් ඔබව වඩාත් ජනප්‍රිය කළේ? මගේ පළමු ටෙලි නාට්‍ය වන සුදුයි උසයි නාට්‍යයේ කුඩු සුදාගේ චරිතය ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. පළමු රංගනයෙන්ම මං ගොඩ කියලයි හැමෝම කිව්වේ. ඔබේ පියා මෙරට ජනප්‍රිය පුවත්පතක කතුවරයෙක් වන ආරියරත්න දොඹගහවත්ත. ඔබේ ගමනට මොන වගේ උදව්වක්ද ඔහුගෙන් ලැබුණේ? මං තාත්තගෙන් උදව් ඉල්ලලා නැහැ මේ වෙනකම්. ඔහුගේ පුවත්පතෙහි මගේ එක කවර්පේජ් එකක් පළ වෙලා නැහැ. මං ඉදිරියට යන්නේ මගේ දැනුමෙන් සහ හැකියාවෙන්. ඒක ඔබට අවාසියක් නොවේද? කොහෙත්ම නැහැ. මං තාත්තගෙන් ලබා ගන්නේ සමාජ දැනුම පමණයි. ඔබේ වෘත්තීය රංගනයද? ඔව්. ඇත්තම කිව්වොත් වෙනත් වෘත්තියක් කරන්න බැහැ රංගනයේ යෙදෙන ගමන්. මේක මගේ රස්සාව. වෘත්තීය රංගන ශිල්පියකු විදිහට ලැබෙන ආදායම ප්‍රමාණවත්ද? දැනට ඇති. බැන්දට පස්සේ නම් මදි වේවි. එතකොට මොකද කරන්නේ? ඒකට දැන්ම ඉඳලා ප්ලෑන් කරලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඔබේ මිලට නිෂ්පාදකවරුන් එකඟද? ඇතැම් අවස්ථාවන්වලදී එකඟයි. නමුත් දැන් තියෙන තත්ත්වය මත අපිට අපේ මිලේම ඉන්න අමාරුයි. රඟපාන්නේ විනෝදයක් විදිහට කියලා ඇතැම් නළු නිළියෝ කියනවා? විනෝදෙට රඟපානවා කියන කතාව බොහොම වැරැදියි. ඩොක්ටර් කෙනෙක් කියන්නේ නැහැනේ විනෝදයට මං බෙහෙත් කරන්නේ කියලා. ඒක එයාගේ වෘත්තීය. මේක මගේ වෘත්තීය. වෘත්තීය විනෝදයට ගන්න මට නම් බැහැ. ඔබගේ පළමු සිනමාපටය මේ දිනවල රූගැන් වෙනවා? ඔව්. ඇහැළෙපොළ කුමාරිහාමි තමයි ඒ සිනමාපටය. එය අධ්‍යක්ෂණය කරන්නේ සුගත් සමරකෝන්. කොහොමද අධ්යක්ෂවරයා ඔබව ඒ සඳහා තෝර ගන්නේ? ඔහු සුදුයි උසයි නාට්‍යයේ මං කරන චරිතය දැකලා තිබුණා. ඔහුට හිතෙන්න ඇති මාව ඇහැළෙපොල කුමාරිහාමි හා සම්බන්ධ කරගන්න. නාට්‍යයේ රඟපානවා හොඳයි කියලා මට ඔහු කිව්වා. සුගත් මහත්මයාමයි මට ආරාධනා කළේ චිත්‍රපටයට. මොකක්ද ඔබේ එහි චරිතය? මාම්පිටිය කුමාරයා. ඒ කියන්නේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියන අපේ අන්තිම සිංහල රජතුමාගේ පුතණුවෙක්. සිනමාවට දොරගුලු විවර කර ගත්තේ ඓතිහාසික චිත්‍රපටයකින්. මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. ඒ චිත්‍රපටයේ අධ්යක්ෂ සුගත් සමරකෝන් මහත්මයා වීම ඊටත් වඩා සතුටුයි. ඒ මොකද? මං හිතාගෙන හිටියා මං දවසක සිනමාවට එනවා නම් එන්නේ ආචාර්ය සෝමරත්න දිසානායක, ජැක්සන් ඇන්තනී, මහාචාර්ය සුනිල් ආරියරත්න හෝ සුගත් සමරකෝන් යන අධ්‍යක්ෂවරුන්ගේ සිනමාපටයකින් කියලා. ඒක නිසා ඔවුන්ගෙන් ආරාධනාවක් ලැබෙන තෙක් සිනමා රංගනයට ආවේ නැහැ. දෛවෝපගතව මට මං බලාපොරොත්තු වූ හතර දෙනාගෙන් එක් අයකුමයි මට සිනමාපටයකට කතා කළේ. මීට කලින් සිනමාපටවලට ආරාධනා ලැබ තිබුණාද? ඔව්. චිත්‍රපට හතරකට කතා කළා. මං ගියේ නැහැ. මගේ ඔළුවේ හිටියේ අර හතර දෙනා. ඇහැළෙපොල දර්ශන තලයේ ඔබයි විනු සිරිවර්ධනයි අතර ප්‍රේම සබඳතාවයක් හට ගත්තා කියලා ආරංචියක් තියෙනවා? ඇයටයි මටයි චිත්‍රපටයේ දර්ශන කිහිපයක්ම රඟපාන්න තිබුණා. අපි සමීප යාළුවන් වුණා. අපි ඉන්න විදිහ කතා බහ කරන විදිහ දැකලා සෙට් එකේ අය විනෝදයට කතා හැදුවා. අන්තිමේ ඒක ලොකු කට කතාවක් බවට පත් වුණා. ඔබටත් ආරංචි වෙන්න ඇත්තේ එම කතාව. ඇයව ඔබට ගැළපෙනවා කියල හැමෝම කියනවා? අපෝ මට දැන්ම ආදරයක් ගැන හිතන්න බැහැ. උසට මහතට හිටියට මට තවම අවුරුදු විසි හතරයි. 1990 මං ඉපදුනේ. තව කල් තියෙනවා ඒවට. ඔබ ගැන තවත් අපූරු කතාවක් මට දැනගන්නට ලැබුණා. චන්දන එදිරිසිංහගේ වසන්තයට පෙර නාට්‍යයේ දර්ශනයක් තිබුණලු ඔබ වැවකට බැස සිටින. වැවෙන් ගොඩට ආවට පස්සේ . . . ඇති ඇති. මං කියන්නම් ඉතුරු ටික. වැවෙන් ගොඩට ආවට පස්සේ හැමෝම මගේ දිහා බල බල හිනාවෙන්න ගත්තා. මටත් හිතා ගන්න බැහැ. බැලින්නම් වැවේ තිබුණු ගලකට හිරවෙලා මං ඇඳගෙන හිටපු කොට කලිසමේ පැත්තක් ඉරිලා. ලැජ්ජාවේ බැහැ. වෙලාවට යාළුවෙක් තුවායක් ගෙනත් ජාමේ බේර ගත්තා. අරවින්ද රඟපාන්න කැමැති චරතයක් තිබේද? මං ආසයි මන්ද මානසික චරිතයක් කරන්න. රඟපාන්න ප්‍රිය කරන අධ්යක්ෂවරයකු සිටියිද? ප්‍රසන්න විතානගේ මහත්තයා යටතේ රඟපාන්න තියෙනවා නම් . . . ඔහුගෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වේවි. මෙතෙක් පැමිණි ගමන් මගට ආලෝකයක් වූ පිරිස ගැන මතක් කළොත්? ජාලිය රාජපක්ෂ, සුනිල් කොස්තා, කැළුම් පාලිත මහීරත්න, ගයාන් රණධීර, සුගත් සමරකෝන්, අනෝජා වීරසිංහ මේ අය මට නිබඳව ශක්තියක් වුණා මගේ රංගන චාරිකාවට. අද අපේ පසුකවරය සැරැසෙන්නේ ද අරවින්දගේ රුවිනි.
|