|
||||
ආලකමන්දාව ගැන නොදන්න කතාවිනීතා කරුණාරත්න හෙළි කරයි
එහෙම හිතලා දහසකුත් අභියෝග මැද මං ආලකමන්දාව පටන් ගත්තා. ආලකමන්දාව කියන වචනයේ තේරුම කුවේරයන්ගේ විමන. කලාව නමැති ධනයෙන් පොහොසත් වූ අප විශිෂ්ට කලාකරුවන්ගේ නිවසත් ආලකමන්දාවක්. මා එලෙස තැබූ නම හරියටම හරි. ආලකමන්දාවේ පළමු වැඩසටහනට ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් ගැන සොයද්දී මගේ මනසට ආවේ ඒ වෙන කොට ජීවතුන් අතර සිටි කේමදාස මාස්්ටර්ව. ඔහුට ඉක්මනින් කේන්ති යනවා කියලා මං අහලා තිබුණා. මං වගේ කෙනෙක් පටන් ගත්තු අලුත්ම වැඩ සටහනකට මාස්ටර් ඒවිද? දහස් වතාවක් මට කල්පනා වුණා. ඕනෑ දෙයක් වෙච්චදෙන් කියලා හිතලා මාස්ටර්ට කෝල් එකක් ගත්තා. පුදුමෙනුත් පුදුමයි. ගත්කටටම මාස්ටර් හා කිව්වා. එවලෙම මම වැඩසටහනේ පෙර පුහුණුව සඳහා මාස්ටර්ගෙන් දින කිහිපයක් ඉල්ලා ගත්තා. කියපු දවස්වලට මාස්ටර් ආවා. ඔහුත් සමඟ ඔහුගේ උපන් ගම, පාසල ආදී තැන්වල අපි දර්ශන කිහිපයක් රූගත කළා. ආලකමන්දාව ගැන පූර්ව ප්රචාරක පටයක් ඉන් පසු මා හැදුවා. වරින් වර රූපවාහිනියේ එය විකාශය වුණා. පෙර පුහුණුව නම් හොඳට කෙරුණා. දැන් තියෙන්නේ වැඩසටහන රූගත කරන්න. නැවතත් මං මාස්ටර්ව ඇමතුවා. මොනවා, ආයෙත් ඒ වැඩසටහන ෂූට් කරනවා? ඇයි අපි එදා රූගත කිරීම් නෙවෙයිද කළේ, එතකොට මං ආයෙත් අර තැන්වලට යන්න ඕනෑ. කලින් කියන්න එපායැ. මට හොඳටම වැඩ දරුවෝ. වෙලාවක් ආවොත් කියන්නම්. මාස්ටර් එහෙම කියලා දුරකතනය විසංධි කළා. මට දෙලෝ රත් වුණා. මගෙයි වැරැද්ද. මට කියන්න බැරි වුණා කලින් කළේ පෙර පුහුණුවක් විතරයි කියලා. ඔන්න දැන් වැඩසටහන විකාශය වෙනවයි කියපු දවස ළං වෙනවා. මට හරි බයයි මාස්ටර්ට කතා කරන්න. ඒත් මොනවා කරන්නද, තව දවස් තුනකට පස්සේ වැඩසටහන තියෙන දවස එනවා. මං වේව්ල වෙව්ල මාස්ටර්ට කතා කළා. මං සැරයක් කිව්වනෙ දරුවෝ මේ ටිකේ මට ඕවට වෙලාවක් නැහැ. තව සතියකින් දෙකකින් බලමුකො. මං නිහඬව ඔහු කියන දේ අහගෙන හිටියා. එවලෙම මං හනිකට ඔහු ඉන්න තැනට දිව්වේ ඔළුවෙන් දවල් තරු විසි වෙද්දී. මං සමාව ඉල්ලලා තියෙන තත්ත්වය නොවඳිනා වැඳුම් වඳිමින් පැහැදිලි කරලා අමාරුවෙන් පහුවෙනිදා දවස් දෙක ඔහුගෙන් ඉල්ලගෙන රූගත කිරීම් නිම කළා. වැඩසටහන විකාශය වෙන්නට තියෙන දවසට කලින් රෑ පුරාම එය එඩිට් කෙරුවා. යාන්තම් එදා ආලකමන්දාවේ පළමුවැන්න මට විකාශය කරගන්න පුළුවන් වුණා. මේ පළමු අත්දැකීම ජීවිතයේ හොඳ පාඩමක් කරගෙන ආලකමන්දාව ඉදිරියටම රැගෙන ගියා. අයිරාංගනී සේරසිංහ මහත්මියගේ වැඩසටහන රූගත කරපු දවස් කිහිපය නම් මට කවදාවත් අමතක වන්නේ නැහැ. මට ඕනෑ වුණා ඇයව සංදේශය රූගත කළ බෙලිහුල්ඔය ප්‍රදේශයට රැගෙන ගොස් වැඩසටහන කරන්න. සේරසිංහ මහත්මියගේ පුතා ඇයව එවන්න බැහැ කිව්වා. මොකද ඇයට හාට් ඔපරේෂන් එකක් කරලා තිබුණු නිසා. නමුත් සේරසිංහ මහත්මිය ගමන යන්න කැමැති වුණා. ඇයයි මමයි නැවතිලා හිටියේ එක කාමරේ. ඇය මට මවක් වගෙයි දැනුණේ. සේරසිංහ මහත්මිය අපි ඉහළම හෝටල්වලින් කන්න අරන් දෙන්න හැදුවට ඇය වඩාත් ආස කළේ සාමාන්‍ය කඩවලින් කන්න. ගමන අතරතුරදී අපි වාහනය පුංචි පෙට්ටි කඩවල් අසලින් නතර කෙරුවාම ඇයත් බැහැලා ඇවිත් අප කණ්ඩායමට එකතු වුණේ හරිම නිහතමානීව. මම කළ ආශ්වාදජනකම වැඩ සටහන තමයි ඒක. අන්තිමේ අපි දෙන්නා ගමනාන්තයේදී වෙන් වෙන්න හැදූ මොහොතේ දෙන්නම ඇඬුවා.
මං පළමු වතාවට ආදරය කළ තරුණියගේ නමත් විනීතා. මට ඔයාව දැක්කම එයාව මතක් වෙනවා. මේ වචන පේළිය මන්තරයක් වගේ කියව කියව හිටියේ ටෝනි රණසිංහ මහත්මයා. ඔහුගේ වැඩසටහන රූගත කොට ඉවර වෙනකම්ම ඕක මට කිව්වා. මං කෙරුවේ හිනාවෙවී ඔහු කියපු දේ අහගෙන හිටපු එක. ටෝනි මහත්තයාගේ වැඩසටහන කළේ හන්තාන ප්‍රදේශයේ. ඔහු තරම් විහිළු කරන්නට හපනෙක් මා දැක නැහැ. ආලකමන්දාවේ කට්ටිය වැඩිපුරම හිනා වුණේ ටෝනි මහත්මයාගේ වැඩසටහන රූපගත කළ දින කිහිපයේ. හරූන් ලන්ත්රාගේ ගෙදර හොයාගෙන ගියා අපි කැලණියට. වත්තට ඇතුළු වුණේ හරිම අමාරුවෙන්. ගෙයක් කියන නාමයක් හොයා ගන්න නැහැ. මුළු වත්තෙම තණකොළ වැවිලා. දොර ඇරගෙන නිවසට ඇතුළු වුණ ගමන් සරසර ගාලා මගේ ඔළුවේ මොනවද පැටලුණා. දෙයියනේ . . . මකුළු දැල් තොගයක්. හරූන් ලන්ත්‍රා සහ ඔහුගේ බිරියගේ ඇස් පේන්නේ නැහැ. අසනීප වෙලා කතා කරන්නත් අපහසුයි. ගේ පිළිවෙලකට නැත්තේ ඒ හින්දා වෙන්න ඇති. හොයාගෙන එන්නකෝ උදලු, කොහු, ඉඳල් ටිකක්. මං අපේ අයට කිව්වා. අහල පහළින් ඒවා හොයාගෙන අපි වත්ත සුද්ධ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මකුළු දැල් කඩලා ගේ අතුªගෑවා. මේ ඔයාලා නගර සභාවෙන්ද? අසල්වැසියෙක් ඇහැව්වා. අපි ජාතික රූපවාහිනියෙන් කියපුවම ඔහු පිළිගත්තේම නැහැ. ඇත්තනේ ඉතින්, රූපවාහිනියේ අය ගෙවල් සුද්ධ කරන්නේ නැහැනේ. කොහොම හරි නිවස යථා තත්ත්වයට අරගෙන තමයි අපි ඔහුගේ වැඩසටහන කළේ. ඩී. බී. නිහාල්සිංහ මහත්මයා කියන්නේ ආලකමන්දාව වැඩසටහන කරගෙන යන්නට සෑහෙන්න උදව් කරපු කෙනෙක්. ඔහුගේ වැඩසටහන කළායින් අනතුරුව අපට ඉතාම ඉහළ රාත්‍රී භෝජන සංග්‍රහයක් කළා. ඒ වගේම ඔහුගේ පෞද්ගලික වාහනයෙන් අප කණ්ඩායමේ හැමෝවම ගෙදරටම ගිහිල්ලා ඇරලුවා. අප නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මියගේ වැඩසටහන කරද්දී මං හරිම අපහසුතාවයකටයි පත්වුණේ. ඇය ආදරය වගේ මාතෘකා කතා කරද්දී බොහොම සංවේදී වුණා. ඇයගේ ඇස්වලින් කඳුළු ආවා. ඒ වගේ කෙනෙක්ව අඬවනවා කියන්නේ මටත් පව් සිද්ධ වෙන වැඩක්. සැරෙන් සැරේ රූගත කිරීම් නතර කර කර ඇයට අඬන්න නොදී අපි වැඩසටහන කළේ ඇයට වේදනාවක් දැනෙන්නට හරින්නේ නැතිව. මෑතකාලීනව වඩාත්ම දුරකතන ඇමතුම් රැසක් ආපු වැඩසටහන තමයි සටන් නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සහභාගි වූ එක. අපට සිටි දක්ෂතම සටන් නළුවෙක් අද සිටින දුඞඛදායි තත්ත්වය අපි ආලකමන්දාව හරහා පෙන්නුවා. ඔහුගේ බිරිය වැඩට ගිය පසු ඔහු නිවසට වෙලා බොහොම හුදකලා දිවියක් ගත කරන්නේ. ගෙදර ටී. වී. එකක්වත් නැහැ. ඇලෙක්සැන්ඩර් මහත්මයාට තවම හොඳට රඟපාන්න පුළුවන් ජවයක් තියෙනවා. ඒත් ඔහුව වැඩවලට ගන්නේ නැත්තේ ඇයි කියන එක අපටත් ගැටළුවක්. සෝනියා දිසා සමඟ ඔහු හරිම බඩු තුනක් චිත්‍රපටයේ රඟපාපු ඔබගේ රුව මාගේමයි ගීතය අපි නැවත රූගත කළා. ඔහු ඒ වගේම රඟපෑවා. ඔහුගේ වැඩසටහනට ආව ප්‍රතිචාර නම් අපමණයි. ආලකමන්දාව තමයි මගේ ජීවිතයේ කරපු හොඳම වාර්තාමය වැඩසටහන. එහෙම මට ලියලා එව්වේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා. මං ඒ ලියුම ආරක්ෂා කරන්නේ පණ වගේ. ඔහුට වගේම ආලකමන්දාව බොහෝ දෙනෙකුට දැනිච්ච වැඩසටහනක්. අපට ඒ වෙනුවෙන් ලද සම්මාන ඊට සාක්ෂි. ආලකමන්දාව කරන්න ගිහිල්ලා වෙච්ච බිහිසුණුම අත්දකීම කියලා මං මේ කතාව හමාර කරන්නම්. ඔන්න අපි වැඩසටහනක් නිම කරලා පාන්දර එකට විතර කළුතර ඔරලෝසු කණුව ගාවට ආවා. එදා ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්නයක් වෙලා අප කණ්ඩායමට එතැනින් එහාට යන්න ක්‍රමයක් තිබුණේ නැහැ. අපි පාරේ යන වාහනවලට අත දැම්මා. වෙලාවට පිරිමි කෙනෙක් ඩ්‍රයිව් කරගෙන ආපු වාහනයක් නතර කළා. අපි යන්න ඕන තැන් කියපුවාම ඔහුත් ඒ පැත්තට යන්නේ කියලා වාහනයට නගින්න කිව්වා. ක්‍රම ක්‍රමයෙන් අප කණ්ඩායමේ හිටපු අය ඒ අයගේ ගෙවල් ගාවින් බැහැ ගත්තා. අන්තිමේ ඉතුරු වුණෙන් මමයි වාහනේ ඩ්‍රයිවරුයි විතරයි. මගේ ගෙදර කිට්ටු වෙද්දී මං අර මනුස්සයාට වාහනය නවත්වන්න කිව්වා. ඔහු ඒක ඇහුණේ නෑ වගේ හිටියා. ආයෙත් මං ටිකක් හයියෙන් ගේ තියෙන තැන පෙන්නුවා. මං තමුසෙව මෙතනින් බස්සන්නේ නැහැ. දිගටම මං යන තැනට අරගෙන යනවා. ඔහු සැරෙන් එහෙම කිව්වම මගේ ඇඟ සලිත වෙලා ගියා. දෙපාරක් හිතන්නේ නැතුව යන වාහනයෙන් පැන්නා. වෙලාවට මාව වැටුණේ තණකොල ගොඩකට. මට හුස්ම ගන්න පවා බැරි වුණා. මම හිතුවේ එදා මං මැරුණා කියලා. වාසනාවට මට මුකුත්ම වුණේ නැහැ. මම විනීතා කරුණාරත්න නිෂ්පාදක ආලකමන්දාව
විනීතාගේ කතාව සටහන් කළේ - ප්‍රසාද් සමරතුංග සේයාරුව - මාලන් කරුණාරත්න |
||||