|
සිනමාකරණයේදී ද තම නිර්මාණ ප්‍රතිභාව සනිටුහන් කළ නාට්‍යවේදියා
පරාක්‍රම නිරිඇල්ල කලාකරුවාගේ කලා ජීවිතයේ සිව් වන දශකය ද මෙම අප්‍රේල් 18 දිනට එළඹෙන පන් සැට වන ජන්ම දිනය ද අළලා මේ ලිපිය පළ කෙරේ.
පරාක්‍රම නිරිඇල්ල නිර්මාණය කළේ වෘත්තාන්ත චිත්‍රපට දෙකක් පමණි. (සිිරි මැදුර 1989,
අයෝමා 1995) මෙම චිත්‍රපට දෙකම ගුණාත්මක නිර්මාණ ලෙස ඇගයේ. මෙම මේ අවදියේ කලාත්මක සිනමාව පණනල ආරක්ෂා කර ගත්තේ ප්‍රවීණ සිනමාකරුවන්ගේ පිහිටාධාරයෙනි. නවක සිනමාකරුවන්ගේ පිවිසීම අල්ප විලය. 1985 වසරේ් චිත්‍රපට විසිතුනක් තිරගත වනවිට ඒ අතර කලාත්මක නිර්මාණ වූයේ තුනක් පමණි. 1986 දී චිත්‍රපට දාහතකට තුනක්, 1987 දී දහහතකට තුනක්, 1988 දී දොළහට එකක්, 1989 දී එකොළහට දෙකක් ලෙස මෙම ධාරාව අවරෝහණ ප්‍රවණතාවක පසු විය. පරාක්‍රමගේ සිරිමැදුර 1980 දශකයේ බිහි වූ අවසන් සිනමා කෘතියයි. අන් අයුරකින් කිවහොත් 90 දශකයේ සිනමාවේ පෙර ගමන්කරුවායි. නව තරුණ සිනමාවක අරුණ පතිත වන්නේ 1990 දශකයේදීය. එය මුහුකුරා යන්නේ 2000 න් පසුව වුව එහි ලක්ෂණ අප ප්‍රථමයෙන් හඳුනා ගන්නේ සිරිමැදුර චිත්‍රපටයෙනි. සිරිමැදුර ජීවිතය හා සමාජය පුළුල්ව, සංවේදීව, නිරවුල්ව හා දයාබරව නිරීක්ෂණය කරන නිර්මාණකරුවකුගේ කෘතියක් බව පහසුවෙන් හඳුනාගත හැකිය. සිනමාකරුවකුගේ කුළුඳුල් නිර්මාණයකින් ප්‍රකට වන ප්‍රතිභාවෙන්, නැවුම් බවෙන් මෙන්ම දැක්මෙන්ද එය පෝෂිත විය. පරාක්‍රම ජීවිතය සරලව ගත් සිනමාවේදියෙක් නොවේ. ජීවිතයේ මතුපිට සරල බව ඉක්මවා එහි යටිපෙළ - යථාර්තය – හසුකර ගැනීම ඔහුගේ විලාසය විය. සිරිමැදුර ඉතා සංවේදී මානුෂීය අරගලයක් විෂය කරගත් සිනමා කෘතියකි. එහි මූලික තේමාවන් දෙකක් විය. ගෘහාභ්‍යන්තරයේ චරිත කිහිපයක් අතර ඇතිවන මානුෂීය ගැටම එකකි. නිවසින් බැහැර එහෙත් නිවස කෙරෙහි බලපාන දේශපාලන අරගලය දෙවැන්නයි. මෙහිදී පරාක්‍රම නිතැතින්ම මූලිකත්වය දෙන්නේ ගෘහාභ්‍යන්තරයේ සිදුවන ගැටුමටයි. තමා වඩා රුචි කරන්නේ චරිතාභ්‍යන්තරයන්ට කිඳා බැසීම බව ඔහු ඉන් සනාථ කරයි. ගැඹුරු සමාජ දැක්මකට පිවිසෙන්න ඔහු අසමත් බවක් ඉන් අදහස් නොවේ. ඔහු තම දෙවන නිර්මාණයේදී ඒ මානය කරා එළඹෙයි. එහෙත් සිරිමැදුර චිත්‍රපටයේදී ඔහු වඩා සුක්ෂ්මව මෙන්ම සාර්ථකව ද ෂවරණය කරන්නේ මනුෂ්‍ය අධ්‍යාත්මයන්ය. සම්පත්, නිර්මලා, ලීලා, සිරිල් චරිත මූලික කර ගනිමින් රතිය, මෝහය, ද්වේෂය හා වෛරය මනුෂ්‍ය ජීවිත ඛේදවාචක කරා මෙහෙය වන අන්දම ඔහු නිරීක්ෂණය කරයි. විශේෂයෙන්ම නිවසේ අධිපතිනිය නිර්මලා හා මෙහෙකාරිය ලීලා අතර ගැටුම ලිංගික මාන්සර්යය ද අභිමානය ද මූලික කර ගනිමින් විවරණය වන්නේ මනුෂ්‍ය ස්වභාවයේ දුර්වලතා පිළිබඳ අපූරු යටි පෙළක් ද උද්ධරණය කරමිනි. චරිත විකාශනය, රූපය අත්දැකීම ප්‍රබල වන අයුරින් සැකැසුම හා නිර්මාණය, අත්දැකීම හා බැෙඳන රිද්මයක පිහිටීම, රූපය ශක්තිමත් කරන සංගීත ආකෘතියක් භාවිතය මෙන්ම ජීවිතය, මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ අනුවේදනීය අනුභූතියක උත්පාදනය වැනි කාරණවලදී ඔහු සිනමාකරුවකු ලෙස අසීමිත ප්‍රතිභාවක් ප්‍රකට කළේය. ඔහුගේ දෙවන චිත්‍රපටය අයෝමා පළමු චිත්‍රපටයෙන් ගිලිහුණු සමාජාර්ථ වෙත පිවිසීමේ ප්‍රයත්නයක් ලෙස ද හඳුනාගත හැකිය. සමාජ අසාධාරණය විසින් අද්දරකට විසි කරනු ලැබ ගණිකා වෘත්තියට ඇද දැමුණු ස්ත්‍රියකගේ ඉරණම විග්‍රහයේදී පරාක්‍රම ගැඹුරු සමාජ දැක්මකට පිවිසෙයි. මේ ස්ත්‍රිය මුහුණ දෙන්නේ ඇයට පාලනය කරගත නොහෙන සිද්ධිදාමයකටයි. ඇයගේ පෞද්ගලික ජීවිතයේ ඛේදය යනු සමාජ ක්‍රමයේම උරුමයක් බවට පත්කිරීමට පරාක්‍රම දරන ප්‍රයත්නය චිත්‍රපටයේ මුඛ්‍ය ගුණයයි. පසුකාලීන තරුණ සිනමාකරුවන් අත වර්ධනය වනුයේ මේ මානයයි. සිනමා සත්කාරය පිළිබඳ ගැටලු නිසා ලලනිගේ (අයෝමා) ඛේදය කිසියම ආකාරයකට පටු වුවත් අයෝමා මේ අවදිියේ බිහි වූ ගුණාත්මක නිර්මාණයක් බවට වාදයක් නැත. මේ චිත්‍රපට දෙකම සම්මාන රාශියක් දිනා ගත්තේය. සිරිමැදුර, සරසවිය සම්මාන උළෙලේ දී සම්මාන අටක්ද, කතෝලික සිනමා පර්ෂද සිනමා උළෙලේදී සම්මාන තුනක්ද, ස්වර්ණ සංඛ සිනමා උළෙලේ දී සම්මාන තුනක් ද හිමි කර ගත්තේය. එහිදී පරාක්‍රම තම කුළුඳුල් නිර්මාණයෙන්ම හොඳම අධ්‍යක්ෂ ලෙස පිදුම් ලැබීය. සරසවිය උළෙලේ හොඳම චිත්‍රපටය වූයේ ද සිරිමැදුරයි. අයෝමා, සරසවිය සම්මාන උළෙලේදී එක් සම්මානයක් ද, කතෝලික සිනමා පර්ෂද උළෙලේ දී සම්මාන දෙකක් ද, ස්වර්ණ සංඛ සිනමා උළෙලේදී එක් සම්මානයක් ද දිනා ගත්තේය. නිර්මාණය කළ සිනමා කෘතීන් දෙකම විචරක - ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක් වුව ද අයෝමා සමඟ සිනමාවෙන් බැහැරව ගිය පරාක්‍රම ඉන්පසු මේ ක්ෂේත්‍රයට අවතිර්ණ වූය් නැත. ඔහු තමා බෙහෙවින් රුචි කළ වේදිකාව වෙතට ආපසු පියමං කළේය. එය එක් අතකින් විස්මයට කරුණක් නොවේ. සිරිමැදුර හා අයෝමා චිත්‍රපටවල නාට්‍ය හැඩතල ද යම් පමණකට අන්තර්ගත විය. සිනමා සත්කාරය විසින් නාට්‍ය හැඩ යටපත් වුව ද සිදුවීම් උච්ච ලක්ෂ්‍යය කරා විකාශනයේදී නාට්‍ය රීතීන්ට ප්‍රමුඛතාව හිමි වීම එක් ලක්ෂණයක් විය. සිරිමැදුර චිත්‍රපටයේ අනෝජා විරසිංහගේ (ලීලා) රංගනය මෙන්ම අයෝමා චිත්‍රපටයේ ස්වර්ණා මල්ලවාරච්චිගේ (ලලනී) රංගනය ද සියුම්ව විග්‍රහ කරන විට එහි ගැබ් වූ නාට්‍ය රීතින් හඳුනාගත හැකිය. විශේෂයෙන්ම අයෝමා චිත්‍රපටය තුළ කෙමෙන් හිස ඔසවන්නට තැත් දරන නාට්‍යකරුවා දිස් වෙයි. සිනමාවේදියා හා නාට්‍යවේදියා අතර ද්වන්දාත්මක ගැටුමින් සිනමාවේදියා කෙමෙන් යටපත් වන ආකාරය එහි ඡායාමාත්‍රව පිළිබිඹු විය. සිනමාවෙන් බැහැර වී ස්ව අනන්‍යතාව සොයා ගිය පරාක්‍රමගේ තීර්ථයාත්‍රාව දෙආකාරයක ප්‍රතිඵල ගෙන ආවේය. 90 දශකයේ තරුණ සිනමාවට අත්‍යවශ්‍ය සිනමාවේදියකු අහිමි වීම එහි අහිතකරම ප්‍රතිඵලයයි. ප්‍රසන්න විතානගේ - සිසිල ගිනි ගනී (1992), බුඩී කිර්තිිසේන - සිහින දේශයෙන් (1996), අශෝක හඳගම – චන්න කින්නරී (1998) නිර්මාණය කරමින් වෙනස් ආකාරයෙ සිනමා ප්‍රවණතාවකට මුල පුරන විට පරාක්‍රම එහි නොමැති වීම කණගාටුවට කරුණක් විය. ජීවිතය පිළිබඳ සියුම් දැක්ම ද සිනමා රූපය පිළිබඳ සවිඥානක බව ද නාට්‍ය රීතීන් පිළිබඳ යථාවබෝධය ද විසින් මේ කරුණු සිනමාව තුළ ඔහුට සුවිශේෂී ස්ථානයක් හිමිවීමට අවකාශ තිබිණි. එහෙයින් ඔහුගේ නික්ම යාම මෙරට සිනමාව තුළ රික්තයක් සනිටුහන් කළේය. එහෙත් පරාක්‍රම සිනමාවෙන් නික්ම යාමත් සමඟ පූර්නකාලීනව වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට යොමුවීම වේදිකා නාට්‍ය කලාවේ දැක්මෙන් නම් හිතකර විය. ඔහු එම ගමන් මාර්ගයේ ද මෙතෙක් සටහන් කර තිබෙන සලකුණු අප්‍රමාණය. මේ නිසා අපට පරාක්‍රම නිරිඇල්ල හඳුනා ගන්නට සිදු වන්නේ නාට්‍යවේදියකු ලෙසිනි. මෙරට බිහි වූ විශිෂ්ටතම නාට්‍යවේදියකු ලෙසනි. එහෙත් ඔහු අධ්‍යක්ෂණය කළ සිනමා කෘතීන් යුගල මෙරට ගුණාත්මක සිනමාව තුළ කිසිදා මිලින නොවන නිර්මාණ බවට පත්ව තිබෙන බව කිසි විටෙක අමතක කළ නොහැකිය.
|