වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු 400ක් පැරැණි දූවේ පාස්කුව හෙට

අවුරුදු 400ක් පැරැණි දූවේ පාස්කුව හෙට

මෙරට දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියන මීගමු දූවේ පාස්කු නාට්‍ය මෙවරත් උත්කර්ශවත් අයුරින් හෙට (18) මධ්‍යහ්න 12.30ට මීගමු දූවේ දී නොමිලයේ රඟදැක්වීමට කටයුතු යොදා ඇත. අද අපි සමගින් මේ ගැන කතා කරන්නට සම්බන්ධ වෙන්නේ මෙවර පාස්කු නාට්‍යයේ සම අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන සෞන්දර්ය හා කැළණිය විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ක්ලෙමන්ට් ප්‍රනාන්දු සමගින් රාජ් ලිවේරා.

ප්‍රථමයෙන් දූවේ පාස්කු ඉතිහාසය ගැන කතා කරන්න එක් වූයේ නාට්‍ය සම අධ්‍යක්ෂ ක්ලෙමන්ට් ප්‍රනාන්දු.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පැවසූ පරිදි මීගමු දූවේ පාස්කු නාට්‍ය ඉතිහාසය වසර හාරසියයකටත් වඩා පැරැණි යි. මුලින්ම පාස්කු නාට්‍ය රඟ දැක්වූයේ සුරුවම් මඟින්. 1930 ගණන්වල සිට ජීවමාන චරිත යොදා ගනිමින් පාස්කු නාට්‍ය ඉදිරිපත් කිරීම ආරම්භ කළේ. එසේ වුවත් ක්‍රිස්තු චරිතයට රංගන ශිල්පියෙක් යොදා ගත්තේ හැටේ දශකයේදී යි.

මෙරට පාස්කු නාට්‍යයේ පියා ලෙස සැළකෙන්නේ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා යි. එතුමා ගෝවේ සිට දූවට පැමිණ දූවේ ජනතාවට පාස්කු නාට්‍ය පුරුදු පුහුණු කළා. දූව කියන්නේ මුහුදෙන් වටවූ අලංකාර දූපතක්. වර්තමානයේ පාස්කු නාට්‍ය පිටපත ගෙන ආවේ ගරු මර්සලීනු ජයකොඩි පියතුමා විසිනි.

මම දූවේ පාස්කුවට සම්බන්ධ වූණේ වයස අවුරුදු නවයේදී යි. 1975 වසරේ සිට නාට්‍යයේ අධ්‍යක්ෂ විදියට කටයුතු කරනවා. ඒ අනුව යම් යම් වෙනස්කම් කරමින් එය තවත් අලංකාර කිරීමටත් මම එහිදී කටයුතු කළා. 1975 වසරේදී මම විසින් රංග භූමි ගීතය දූවේ පාස්කු නාට්‍යයට අලුතින් එකතු කළා. පසුගිය වසර ගණනාවක සිට මට මෙහිදී රාජ්ගෙන් ලැබෙන සහායත් සඳහන් කළ යුතුයි. ඒ වගේම දූවේ පාස්කු නාට්‍ය රැක ගනිමින් වර්තමානය දක්වා ගෙන එන්නට කැප වූ සියලුම දෙනාමත් මේ අවස්ථාවේ කෘතඥ පූර්වකව සිහිපත් කර සිටිනවා.

මෙවර මීගමු දූවේ පාස්කු නාට්‍යයේ සම අධ්‍යක්ෂවරයෙකු ලෙසින් කටයුතු කරන රාජ් ප්‍රනාන්දු සිය අදහස් දැක්වූයේ මේ අයුරින්.

ලෝකයේ කිතුණු ඇදහිල්ලේ වැදගත්ම අවස්ථාව පාස්කුවයි. ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය ගැන කියවෙන පාස්කු නාට්‍ය කිතුණු බැතිමතුන්ට සුවිශේෂ වෙන්නේ ඒ නිසයි. මම 1967 වසරේ සිට දූවේ පාස්කු නාට්‍ය සමග සම්බන්ධ වෙනවා.

මුලින්ම ක්ලෝඩියා නම් කාන්තා චරිතය රඟදැක්වූවේ. 1958 වසරේදී ක්‍රිස්තු චරිතය රඟ දැක්වූවා. ඊට පසුව තවත් වරෙක ක්‍රිස්තු චරිතයට පණ පෙවීමේ අවස්ථාව මට හිමි වුණා. අනතුරුව දූවේ පාස්කු නාට්‍යයට සහාය අධ්‍යෂණයෙන් දායක වෙන්නත් මට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයක්. 2001 වසරේ සිට මම සම අධ්‍යක්ෂණයෙන් දායකත්වය සපයනවා.

දූවේ පාස්කු නාට්‍ය රඟ දැක්වෙන්නේ දැවැන්ත රංග මණ්ඩපයකයි. මෙහි ප්‍රේක්ෂකයන් ගොඩබිම වගේම මුහුදේ බෝට්ටුවල සිට පවා නරඹනවා. එයත් ඉතාම අලංකාර දර්ශනයක්. මෙවර මීගමු දූවේ පාස්කු නාට්‍යයට රංගන ශිල්පීන් ශිල්පිනියන් තුන්සියයකට අධික පිරිසක් දායක වෙන්න නියමිතයි.

එහිදී දුලාජ් පිංතු ක්‍රිස්තු චරිතයත් සමන්ත පෙරේරා පිලාත්ගේ චරිතයත් මිල්රෝයි ප්‍රනාන්දු පේදුරුගේ චරිතයත් තේජාන් ප්‍රනාන්දු ජුදාස්ගේ චරිතයත් ජෝෂප් මාර්ටින් ප්‍රනාන්දු කයිපාස්ගේ චරිතයත් දිලුක්ෂ ප්‍රනාන්දු අන්නාස්ගේ චරිතයක් නිරූපණයට සූදානම්. ඉතාමත් දර්ශනීය අයුරින් රඟ දැක්වෙන මෙවර දූවේ පාස්කු නාට්‍ය නරඹන්නට සරසවිය පාඨක ඔබටත් අපි ආරාධනා කර සිටිනවා.