|
||
කොයින්ස් යනු කාසි නොවේ
ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොට ගෙන අන්තර් ජාතික සිනමා උළෙලක් දැක ගැනීමේ අවස්ථාව මට ලැබුණේ මෙයින් වසර විස්සකට පමණ ඉහතදීය. ඒ මා මුල් වරට කේරළ අන්තර් ජාතික සිනමා උළෙලට සහභාගි වු අවස්ථාවේය. එවර එම උළෙලට අපේ සම්මානනීය නිළි අමෝජා විරසිංහ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් ද එක්කොට තිබිණ. එවකට සරසවිය කතුවර තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාට මෙම උළෙල සඳහා ලැබුණු ආරාධනාව එකල පුවත්පතේ සිටි පහළම සාමාජිකයා වූ මා වෙත පැවරුවේ සිනමාව පිළිබඳ මගේ අභිලාශයන් ඔහු වටහා ගෙන සිටි හෙයිනි. එවර අනෝජා වීරසිංහ ප්‍රත්‍යාවලෝකන දැක්මක් කල්කටාවේද පැවැත් වූ අතර මා ආපසු පැමිණියේ එම උළෙලයන් දෙකටම සහභාගි වීමෙන් පසුවය. එයින් පසු මම ඉන්දියානු චිත්‍රපට උළෙල නැරඹීම සඳහා වාර්ෂිකව සහභාගි වීම බොහෝ කලක් පුරුද්දක් කර ගතිමි. අද මෙන් ලෝකයේ චිත්‍රපට පහසුවෙන් සොයා ගත නොහැකි එකල ලෝකයේ හොඳම චිත්‍රපට නරඹන්නට අඩු වියදමෙන් කළ හැකි හොඳම ක්‍රමය නම් කෙසේ හෝ ඉන්දියානු අන්තර් ජාතික චිත්‍රපට උළෙලට සහභාගි වීමය. ඒ සැම විටම මෙරටදී චිත්‍රපට උළෙලක් පැවැත්වීමේ නොහැකියාව පිළිබඳ මම සිතින් මැන බැලුවෙමි. දන්නා කියන බලධාරීන්ට ද කියා පෑවෙමි. පුවත්පතට ද ලිව්වෙමි.
එකල රටේ පැවති වාතාවරණය එයට බාධාවක් වුවත් වර්මානයේ ඒ සඳහා ඉතා විසල් වාතාවරණයක් බිහිවී ඇත. ඉතා නවීන සිනමා ශාලා ද නූතන රමණීය කොළඹ නගරයේ පවතී. එහෙත් තවමත් එම සිනමා උළෙල මට බලාපොරොත්තුවක් පමණි. අන්තර් ජාතික සිනමා උළෙලක් යනු රටකට විදේශ ආයෝජකයන් හා සංචාරකයන් ගෙන්වා ගැනීමට කදිම මාර්ගයක් ද වෙයි. එමෙන්ම රටක් පිළිබඳ යහ සිතුවිලි ලොව පුරා ප්‍රචලිත වන මාර්ගයක් ද වෙයි. මේ පිළිබඳ මා බොහෝ දේ මෙයට පෙර ලියා ඇති බැවින් එය නැවත නැවත ලියන්නට මට වුවමනා නැත. එහෙත් පසුගිය සතියේ කොළඹ පදනම් ආයතනයේ පැවැති කොයින්ස් අන්තර් ජාතික සිනමා උළෙල මෙන්ම එයට පෙර පැවැති අන්තර් ජාතික නාට්‍ය උළෙල යළි එම හැඟීම් පබුදුවාලීමට සමත් විය. කොයින්ස් නැතහොත් කොළඹ අන්තර් ජාතික ශිෂ්‍ය සිනමා උළෙල අපේ බොහෝ දෙනාට පරමාදර්ශි වූවාට කම් නැත. ශ්‍රී ලංකා පදනමට අයත් ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මඟින් පවත්වනු ලබන මෙම සිනමා උළෙල මෙවර පැවැත් වූයේ දෙවැනි වතාවටය. එයට රටවල් කිහිපයකම තරුණ සිනමාකරුවන් රැසක් තරඟ වැද තිබිණ. ජනාධිපති කාර්යාලයට අනුබද්ධව පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා පදනම එහි සභාපති මහචාර්ය රන්ජිත් බණ්ඩාර මෙන්ම ෆිල්ම් ඇකඩමිය මෙහෙය වන සුදත් මහදිවුල්වැව, ධනුෂ්ක ගුණතිලක, චමිල් ජයනෙත්ති ආදීන් මෙම කොයින්ස් සිනමා උළෙලට උර දී සිටියහ. එහි හොඳම චිත්‍රපටයට හිමි සම්මානය පිරිනැමුණේ චෙන්නායි හි ප්‍රසාද් සිනමා ඇකඩමියේ ශිෂ්‍යයකුව සිටි මනෝජා ලයනල් ජොන්සන්ගේ ස්කයි ලැබ් ඊස් ෆෝලිං චිත්‍රපටයටයි. මේ චිත්‍රපට උළෙල සඳහා තරඟ වැදුණු සියල්ලෝම ගැටවරයන් විය. සිනමාව ආරම්භ සමයේ ලෝක සිනමාවට කතා සම්ප්‍රදායක් ගොඩ නැගූ මහා පුරුෂයකු වූයේ ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත්ය. ඔහුගේ ඉන්ටෝලරන්ස්, බර්ත් ඔෆ් අ නේෂන් අද මිම්මෙන් බැලුව ද දැවැන්ත චිත්‍රපට වෙයි. ග්‍රිෆිත් වරක අගනා ප්‍රකාශයක් කළේ කවදා හෝ මතුªයම් දවසක චිත්‍රපට උපකරණ තරුණයන් අත පෑන් පැන්සල් ලෙස හැසිරෙන දිනයක් පැමිණිය යුතු බවය. මා විශ්වාස කරනුයේ ගි‍්‍රෆිත් ගේ බලාපොරොත්තුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සත්‍යක්ව පවතිනුයේ අද බවය. වර්තමානයේ සිනමාව පිළිබඳ යල් පැන ගිය මත දරන්නන් පවා පිළිගත යුතු කරුණක් නම් එය තවදුරටත් පටල පටයේ නිපදවන්නක් නොවන බවය. එබැවින් සිනමාව අර්ථ දැක්විමට පසුගිය සිය වසක් මුළුල්ලේ ගොඩ නැ¼ගූ කෙස් පැලෙන තර්ක අද පුස්සක් වන බවය. තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බං කොබෙයියා කියන්නා සේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පටල පට රහිතව මේ ගොඩ නැෙඟනුයේ නූතන සිනමාවය. නිශ්චල කැමරාව හෝ චංචල කැමරාව යන බෙදීම පවා ඉදිරියේදී සදහටම තුරන් වන්නකි. වර්තමානයේ ඇතැම් ගැටවරයන් සිය චිත්‍රපට නිෂ්පාදනය සදහා භාවිත කරනුයේ පෙර මෙන් සුපර් 8, මිලි මීටර් 16 වැනි පටල පට නොවේ. ජංගම දුරකතනයේ කැමරාවයි. චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසෙන තරුණයන්ට සිනමාව ප්‍රයෝගික පුහුණුව ගෙන දෙනුයේ ජංගම දුරකතන කැමරාවයි. තිස් වසරකට එපිට මා කොළඹ ආනන්දයේ සිසුවෙකුව සිටියදී කෙටි චිත්‍රපටයක් සඳහා දායක වූ අයුරු මට මතකය. ආනන්දයෙන් බිහි වූ චිත්‍රපට කිහිපයක් විය. අපේ චිත්‍රපටයේ නම සිහිනය නම් විය. එය අධ්‍යක්ෂණය කළේ හේමසිරි අබේරත්න නම් මගේ පාසල් සගයෙකි. ප්‍රධාන නළුවා මාය. අප සියළු දෙනා ඒ අවදියේ නොම්මර එකේ පික්චර් පිස්සන් ලෙස විද්‍යාලයේ පතලව සිටියහ. ලංකාවේ දුෂ්කර පළාත්වලින් පාසලට පැමිණි අප චිත්‍රපට හදන්න අත ගැසීම අපේ මාපියන්ගේ ඉහ මොළ රත් කරවන්නක් විය. ඔවුන් අප කොළඹ එවනුයේ දොස්තරවරුන් වනු ඇත යනුවෙන් විනා බයිස්කෝප්කරුවන් වනු ඇතැයි විශ්වාසයෙන් නොවන බැවිනි. එහෙත් අපේ වෑයම අත නොහැරිණි. එහිලා මා මිතුරු හේමසිරිත් මහත් කැපවීම් කළේය. දල සේයා පට සොයා ගැනීම, කැමරා හා උපකරණ සොයා ගැනීම ආදී සියල්ල ශත පහක ආදායමක් නොලද අපට එකල ලොකු වැඩක් විය. චිත්‍රපටය රූපගත කරනවා හැර ශබ්ද කැවීම ආදිය මුලින් අත්හළෙමු. ඒ මුදල් නැතිකමිනි. අන්තිමට අමාරුවෙන් තැනූ චිත්‍රපටය විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී එක් දිනක් තිරගත කරවනු ලැබිණ. ධාවන කාලය මිනිත්තු නවයකි. චිත්‍රපටය පිළිබඳ සරසවිය පුවත්පතේ එකල ප්‍රවෘත්ති පිටුවේ පළ විය. මේ චිත්‍රපටයෙන් පසු මා කිසි කලෙක රඟපාන්නට ගියේ නැත. එමෙන්ම චිත්‍රපටයට දායක වූ පාසැලේ කිසිවකු යළි චිත්‍රපට ක්ෂේත්‍රයට අත තිබ්බේ ද නැත. එහෙත් එකල දළ සේවා පට ගනුදෙනුවේ සිට සිදුවන ප්‍රායෝගික දුෂ්කරතා වර්තමාන ගැටවරයන්ට මුහුණ දෙන්නට සිදු වන්නේ නැත. එමෙන්ම එදා මෙන් නොව වර්තමානයේ එබඳු ඉසව්වකට දරුවන් යොමුවීම මාපියන් වලකනුයේ ද කලාතුරකිනි. සිනමාව ඉගෙනීමට ද ඇති ඉඩකඩ එමටය. ඇතැම් කෙනෙකු විදේශගතව සිනමාව හදාරති. වර්තමාන සිනමාව හැදෑරීම අතිශය දුෂ්කර නොවේ යැයි තිස් වසරකට පසු මා සඳහන් කරනුයේ ‘අපි වගේ දුක් උඹලා වින්ඳේ නැතැයි’ යන ඊර්ෂ්‍යා සහගත කියුම් පවසන වැඩිහිටියකු මෙන් නොව සැමදාම ක්ෂේත්‍රය පිළිබඳ යාවත්කාලීන වන්නකු හා එයට හැඩ ගැසෙන්නෙකු හැටියටය. කලකට ඉහත මෙරටේ කෙටි චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ දීර්ඝ චිත්‍රපටයක් තනන්නට ලබන පුහුණුවක් හැටියටය. එහෙත් වර්තමානයේ එය එබඳු පටු සීමාවක නැත. අද ලොව වඩාත්ම නිර්ව්‍යාජ ආත්ම ප්‍රකාශනය සඳහා භාවිත කළ හැක්කේ කෙටි චිත්‍රපටකරණයයි. එහි ලාබ අපේක්ෂාවක් නැත. එමෙන්ම ප්‍රකාශන නිබන්ධයක් ලෙස එය බහුතර පිරිසකට ගෙන යා හැක්කේය. එකල කප්පරක් මහන්සි වී අප තැනූ චිත්‍රපටය එක් දර්ශනයකින් පසු පැත්තකට විසි කර දැමුව ද, අද තරුණයෙකුට එය ලොව පුරා අති විශාල පිරිසකට කිසිදු වාරණයකින් තොරව ගෙන යා හැක්කේය. ඒ අන්තර් ජාලය හරහාය. එමෙන්ම ලොව පුරා කෙටි චිත්‍රපට උළෙලයන් ද ඇත්තේය. ජංගම දුරකතන මඟින් තනන චිත්‍රපට සඳහා ද සිනමා උත්සව ඇත්තේය. කොයින්ස් සිනමා උළෙලේ දී මට දැනුණ හැඟීම් විස්තර කළ නොහැක. සිනමාව තරුණයන් අත පෑන් පැන්සල් වැනි මාධ්‍යක්ව පවතිද්දී එය තවදුරටත් රස විඳින්නට සිනමාහල් කරා යන යුගය ද ඔවුන්ගෙන් ගිලිහී යයි. වර්තමානයේ චිත්‍රපටයක් නරඹන්නට නිවසින් පිටව සිනමා හලකට යාම බෙහෙවින් උදාසීන හැඟීමක් ගෙන එයි. සිනමා උපකරණ පෑන්, පැන්සල් වූ කල ලියන කඩදාසි මේසය මත වූ කල පොත් කියවීමත්, ලිවීමත් ගෙදර දී සිදු කිරීම අරුම පුදුම ක්‍රියාවලියක් නොවේ. අප හැඩ ගැසෙනුයේ සිනමාව සාමුහික වින්දනයක් යන මතය ද යල් පැන යන කාලයකටය. එය නිවසේ හෝ වෙනත් තැනක හිඳ හෝ රස විඳිය හැකි මාධ්‍යයක් බවට පරිවර්තනය වෙමින් පවතී. ජංගම දුරකතන, අයිපෑඩ්, ලැප්ටොප්, පරිගණක මේ සියල්ල සිනමා තිරයට විකල්ප ලෙස භාවිත වෙති. එකල කොළඹ එන ගැමියන් යළි ගමට යන්නට දුම්රිය එනතුරු කල් මරන්නේ සිනමාහල් ඇතුළේය. එහෙත් අද තරුණයන් චලන චිත්‍රපට නරඹමින් කල් මරන්නේ සිනමාහල්වල නොවේ. දුම්රිය වේදිකාවේ සිට තම අතැති අයිපෑඩ් හෝ ජංගම දුරකතන මත බහාලූ චිත්‍රපට නරඹමිනි. සිනමාව පිළිබඳ ඉඩකඩ සීමාසහිත නීතින්ගෙන් වෙන් කොට නිදැල්ලේ ගොඩ නැෙඟයි. තරුණයන්ගේ සිනමාව වඩා ආශ්වාදජනක ලෙස විඳින්නේ ඒ ඉසව් තරණය කොට ජීවිතය විඳගෙන ඔවුන් ලබන අත්දැකීම්වල නිර්ව්‍යා දායකත්වය ඔස්සේය. මා තරුණ සිනමාකරුවන්ගේ නිර්මාණ ගොන්නෙහි දකින්නට ඇලුම් කරන්නේ ද එම නිර්ව්‍යාජත්වයේ ආශ්වාදයයි. කොයින් සිනමා උළෙලේ තරුණයන් අපට කියන්නේ එම රහසයි. |
||