|
සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා
බන්දුල නානායක්කාරවසම්ගේ ගීතවත් හිත
හාත්පස වූ නිහඬ බව බිඳීමින් ගලා එන්නේ ලොකු දෝණිගේ සිරියාවන්ත සිනහාවේ ස්වරයයි. සිය මෑණියන් සමඟ ආ ගිය දේ ගැන කියමින් ඊටම අනුරූප ලෙස වචන හසුරුවමින් කරන කතාබහෙන් මුළු නිවෙසම පිරී ඉතිරී ගොසිනි. ඔවුනගේ කතාවටම අලගු තබන චූටි දෝණිය ද සිය අක්කණ්ඩියට නොදෙවෙනිය. කාලයකට පසු කෙරෙන මේ සමාගමයට මැදිහත් නොවූ මම සාලයෙහි වූ හාන්සි පුටුවෙහි යළිත් හරි බරි ගැහී ඉඳ ගත්තේ අතීතයේ එක් දවසක් පිළිබඳ යළි මතක සිතුවිලිවලින් නැවුම් වන්නටය.
ජනාකීර්ණ මාතර නගරය මට සිහිපත් කළේ උණු අළු ඉහිරුණු කඩි ගුලකි. ඉවක් බවක් නැතිව දුව
යන්නට තනන වාහන පෙළ නැවතී ඇත්තේ කහ ඉර පනින මිනිස්සු සමූහය නිසාය. ඉන් අන්තිම
මිනිසා යන්නට ද පෙරම වාහන පෙළ තම ගමන ආරම්භ කළේ රිය ධාවන තරගයකට පැටළුණු තරගකරුවන්
ලෙසිනි. දුටුවන්ගේ සිත ද කලබලයට පත් කරන තරමටම කලබල වූ නගරය දෙසම මම බලා සිටියෙමි.
ඒ තනිකම අතරෙන් මා සිතට පිවිසියේ බිරිය සුභාෂිණීය. රෝහලේ සූතිකාගාරය මත තම කුලුඳුල් දරුවා බිහි කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටින අයුරු මගේ නෙත් මානයෙහි විද්‍යාමාන වෙයි. වරෙක සතුටක් ද වරෙක සංතාපයක් ද මා සිත වෙළා ගනී. ඒ සියලු සිතුවිලවලට මා ගිල ගන්නට හරිමින් මම ජනාකීර්ණ නගරය දෙස අසරණව බලා සිටියෙමි. නන්නාඳුනන නගරයක තනි වූ මම ඊළඟට කළ යුත්තේ කුමක්දැයි නොදැන ඉබාගාතේ එහාටත් මෙහාටත් ඇවිදීමි. හෝරා කිහිපයක් ගෙවී ගියේ මටත් නොදැනීමය. බලාපොරොත්තු ගොන්නක් හදවත පුරවා ගනිමින් මම යළිත් රෝහල් භූමියට පා එසැවීමි. ඒ වන විට ඇය පැමිණ සිටියාය. ඇහිපිල්ලමක් නොගසාම මම ඒ වෙහෙසකාරී බවක් රැඳුණු සොඳුරු උවන දෙසම නෙත් හෙළා සිටියෙමි. ‘ඔයාට දුවෙක්’ හෙදියක් පැමිණ පැවසූයේ රෝස පැහැති බිලිඳකු මා අත තබමිනි. දෙනෙත පියා වකුටු වී සිටි රෝස පැහැති බිලිඳීය මම තුරුලු කර ගතිමි. එවෙලෙහි දැනුණු ඒ අපූර්වාකාර හැඟීම පවසන්නට හෝඩියේ අකුරු වෙත්දැයි යන්නට නම් මා සිත උපන්නේ සැකයකි.
රුවන් වලා දුහුල් කඩින්
අනෝතත්ත නෙලුම් විලේ
අතු අග මල් කුමාරියන්
රාජ ඉසුරු බරට වටින ගේය පද – මහගම සේකර සංගීතය – පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ගායනය – විශාරද නන්දා මාලිනී
‘වෙසතුරු සිරිත’ චිත්‍රපටයෙහි දී නන්දා මාලිනියගේ මියුරු ස්වරයෙන් ගැයෙන මේ ගීතයෙහි නියම අරුත මට වැටහෙන්නට වූයේ ලොකු දෝණියේ නුඹ උපන් දිනයේය. ඒ ගීතයෙහි පද නුඹ අසල උන් මගේ සිතට පිවිසෙන්නට වූයේ එකින් එකය. කුඩා කල මා බෙහෙවින් පි‍්‍රය කළ මුලාඩ් වර්ගයේ රේඩියෝවෙන් මේ ගීතය ඇසෙන විට නම් ඊට මා ආශා කළේ එය ගයන මියුරු ස්වරයටය. ගීතයෙහි සොඳුරු තනුවට හා සංගීත නාදයටය. මේ අයුරෙන් මේ ගීතය මගේ හදවතේ ලැ¼ගුම් ගැනීමට හේතුª වූ තවත් කාරණා ද්විත්වයක්ම තිබෙන වග ද කිව යුතුªමය. එකක් නම් මගේ පාසල් අවදියයි. කනිෂ්ඨ අංශයෙහි ශිෂ්‍යයෙක් ලෙස මා ඉගෙන ගන්නා අවදියේ ඇදුරුතුමන් වූ බණ්ඩාර මහතා එක්තරා තරගයකදී අපට ගයන්නට තෝරා තිබුණේ ද මේ ගීතයයි. දෛවෝපගත සිදුවීමක් ලෙසින් මේ ගීතයට මා ප්‍රිය කරන්නේ කොතරම් ද ඒ තරමටම එය මා සොයා ගෙන පැමිණියේය. මේ ගීතය මා සම්බන්ධ අනෙක් සිදුවීම වන්නේ වර්තමානයෙහි බොහෝ දෙනා අතර වඩාත් ප්‍රසිද්ධ වූ ප්‍රසංගයකි. ඒ ප්‍රසංගය සඳහා මා තේරූ ගීත අතර මේ ගීතය ද විය. එහෙත් එය යම් හේතුවක් නිසා පිටපතෙන් ඉවත් වූ අතර කරුණු පැහැදිලි කළ පසුව නැවතත් ගීතය ඒ පිටපතටම ඇතුළත් කෙරිණි. එසේ මේ ගීතය අසන මොහොතක් මොහොතක් පාසාම ඒ අතීත සිතිවිලි අතර මම සැරිසරමි. මේ ගීතයට ප්‍රිය කරමි. මේ ගේය පද රචනය ද මා හදවත ඇඳ බැඳ තබා ගත්තකි.
තාත්තා වුණත් මා බත සරි කරනා
මට උරුම ආලය දරු කැලට දෙමින්
බැතිබර හැ¼ගුම් දනවන නුඹගේ සුවඳ ගේය පද – මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය – පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
එකල නව යොවුන් වියේ පසු වූ මා ගුරුතුමාගේ නිවසට ගියේ පාඩම් අසා දැන ගැනීමේ අදහසකිනි. එදා එහි යුවතියක ද සිටිනු දුටු මට මේ කවුදැයි දැනගනු රිසියෙන් ඇගේ උවනත බැලීමි. ඈ ගැන කිසිදු දැන හැඳුනුම්කමක් නොවූයෙන් මම මගේ නෙත් වෙනතක රැඳවීමි. ඈ පළමුවරට මට මුණ ගැසුණේ ඒ අයුරෙනි. බොහෝ සංසුන් ගති පැවතුම් ඇති තරුණියක වූ ඈට අපූරු කෙළිලොල් බවක් ද ඇති වග මා දුටුවේ ඈ නිරීක්ෂණය කළ එක් වරෙකය. කරුණාබර හදවතකට හිමිකම් කියූ මේ තරුණිය සතා සිවුපාවාට මෙන්ම මිනිසුන්ට ද දැක් වූයේ අසීමිත ළෙන්ගතුකමකි. කරුණාවකි. මේ නිසා අන් යුවතියකට වඩා වෙනස් යුවතියක ලෙස ඇයව හඳුනා ගැනීමට මට වැඩි දිනක් නම් ගත නොවුණි. කාලය ගෙවී ගියේය. අප උස් මහත් වූයේ අපටත් නොදැනීමය. එදා දුටු ඒ යුවතිය යළිත් දකිද්දී සොඳුරු සේපාලිකා මලක් වැනි යැයි මට සිතිනි. එසැණින්ම ඈ කෙරෙහි මගේ සිතෙහි අපූර්ව හැඟීමක් පැළපදියම් වූයේ මටත් නොදැණෙන අයුරිනි. ඒ හැඟීම හදවත සිරකර ගනමින් ඈ හා කතාබහක යෙදුණු අයුරු ද මට තවම මතකය. ඒ සිතෙහි ඇඳුණු සොඳුරු ප්‍රේමය සැබෑවක් කරමින් අප එක්තැන් වූයේ සියල්ලන්ගේම ආශිර්වාදය මැදය. අද ද මගේ දිවි ගමනේ නොසැලෙන පහන් ටැඹක් සේ මා අසලම රැඳුණු ඒ සොඳුරු යුවතිය අන් කවුරුත් නොවේ. ‘සුභාෂිණී’ය. මා දයාබර සුභාෂිණිය, දියණියන් දෙදෙනකු මෙලොවට ජනිත කරමින් මා පිය පදවියට උරුමක්කරුවකු කළ ඕ මා හදවත සදා රැෙඳන නොනිමෙන පහනයි. එපමණක් නොවේ, ඈ වරෙක මට මවකි. තවත් වරෙක ඈ මට සොහොයුරියක් බඳු වූවාය. මෙලෙස ඈ මට සියලු හත්තල පාන්නට, ඉඩහසර පෑදුවා පමණක් නොව සොඳුරු දයණියන් දෙදෙනකු හදා වඩා තම යුතුකම වගකීම් සියල්ල ඉටු කළේ කිසිදු කන්කෙඳිරි ගෑමකින් තොරවමය. ඇයගේ ඒ සොඳුරු සෙනෙහස සිහිපත් කරන මේ ගීතය අසන සෑම වාරයක් වාරයක් පාසාම මට සිහිපත් වන්නේ සුභාෂිණී නුඹවමය. අපගේ දියණිවරුන්මය. නුඹගේ සුවඳ නිසා මා සිතෙහි දනවන බැතිබර බව ඔබ දුටු මුල් දිනේදීවත් මගේ සිතෙහි ඇති වූවක් නොවේ යැයි මට සිතේ. ඒ නිසාම කිසිදු දිනෙක නුඹ කෙරෙහි නොවූ ප්‍රේමයක් මා සිත අරක් ගෙන ඇති බව මා නුඹට කෙලෙස පවසන්නද? ඊට මේ ගීතය හොඳම සාක්කිකරු වනු නොඅනුමානය. ප්‍රේමවන්තයන් වී පසුව මවුපියවරුන් වූ හදවත්වල ඇති සෙනෙහෙදම පිළිබඳ පද ගෙතූ සුනිල් ආරියරත්නයන්ගේ අපූර්ව පද සංකලනය පිළිබඳ ද යමක් කිව යුතුය. ඒ එවැනි පවුලක වූ සෙනෙහෙදම පිළිබඳ ඔහු ගෙතූ පද තරම් මෙතෙක් කිසිවකුටත් හෘදයාංගම ලෙස සිතට දැනෙන ලෙස පද ගොතන්නට කිසිවකුටත් නොහැකි වූ බවය. ඒ තරමටම හෘදයාංගම වූ මේ ගීතය අසන බොහෝ විට මගේ නෙත අද්දර කඳුළක් උනන්නේ ඉබේමය. පදවලට ගැළපුණු රෝහණ වීරසිංහයන්ගේ සංගීතයත්, අමරදේවයන්ගේ ගායනයෙන් ඊටම දෙවැනි නොවන්නේ නෙත අද්දර උනන කඳුළ, කඳුළු වැලක් ලෙස මගේ නෙතින් ගිලිහෙන බැවිනි. ඒ නිසා මම මේ ගීතයට බෙහෙවින් ආදරය කරමි. ප්‍රිය කරමි.
|