|
ආඩම්බර සඳවතී මාව ජනතාව අතරට රැගෙන ගියාසමීර එදිරිසිංහ
අමනාප නෑ නුඹ මගෙ ආදරී
අමනාප නෑ ආදරී මේ දවස්වල බොහෝ දෙනා ප්‍රිය කරන අලුත්ම ගීතයක්. ගුවන් විදුලි නාලිකාවල වගේම රූපවාහිනි නාලිකාවලිනුත් නිතරම අසන්න ලැබෙන මේ ගීතය ගයන්නේ සමීර එදිරිසිංහ.
ඔව්. ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අමනාප නෑ ආදරී ගීතයේ පද රචනය රිතාෂ් මොහොමඩ් ගේ. සංගීතය රොමේෂ් සුගතපාල විසින් කළේ. ගීතය නිිර්මාණය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකල්ම මේ වෙනුවෙන් රොමේෂ් අයියාගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම වයිඩ් ඈන්ගල් සහ දර්ශන ක්‍රිෂාන් අයියාගෙනුත් ලැබුණු සහාය විශේෂයි. රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල චාර්ට් ෂෝවල වගේම අන්තර්ජාලය හරහාත් ගීතයට ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා.
මේ වන විට ඔබ ගීත කිහිපයක්ම රසිකයන්ට තිළිණ කර අවසන්. කලා ක්ෂේත්‍රයට පිවිස මේ දක්වා පැමිණි ගමන ගැන මොකක්ද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ ගම කොටපොල. කොටපොල මධ්‍ය මහා විද්‍යාලය හා දෙනියාය මධ්‍ය මහා විද්‍යාලවලින් මම අධ්‍යාපනය ලැබුවේ. පාසල් යන කාලයේදීම සංගීත ක්ෂේත්‍රයට ලැදියාවක් දැක් වූයේ. එහිදී ඔස්කාර් ගුණරත්න හා බියුටිස් තිලකරත්න ගුරුවරුන් යටතේ මම සංගීතය හැදෑරුවා. ඒ හරහා පැමිණි ගමන තමයි මේ. 2007 වසරේදී ස්වාධීන රූපවාහිනි සේවය පැවැත් වූ ITN රන්තරු සංගීත කණ්ඩායම් තරගයේ දක්ෂතම ගායකයා වෙන්නත් මට වරම් ලැබුණා. එහිදී මාතර ‘සී’ සංගීත කණ්ඩායම නියෝජනය කරමින් තමයි මට ඒ ජයග්‍රහණය ලැබුණේ. මම ජනතාව අතරට ගෙන ගියේ ‘ආඩම්බර සඳවතී’. 2011 වසරේදී එළි දැක් වූ එය මගේ ප්‍රථම ගීතය. ඊට පසුව වාවන්න බැරි වේදනා ගීතය එළි දැක්වූවා. මේ ගීත දෙකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
පූර්ණකාලීනව ගායනයෙන් ඉදිරියට යන්න ද සමීරගේ බලාපොරොත්තුව? කලාවට මම ගොඩක් ආදරෙයි. ඒ වගේම මම දැනට ස්ටුඩියෝ එකක ග්‍රැෆික් නිර්මාණ ශිල්පිියෙක් විදියට සේවය කරනවා. ඒකත් මගේ හැකියාවක්. එය තවදුරටත් වැඩි දියුණු කරගන්න මට ආසයි. රැකියාවේ නිරත වෙමින් සංගීත කටයුතු කරන්න මට අවස්ථාව තියෙනවා. ඒ ආයතනයේ රොෂාන් ජයතිලක, පියල් මද්දුමගේ මහත්වරු ඇතුළු හැම දෙනාගෙන්ම මට ඒ වෙනුවෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා පූර්ණකාලීනව සංගීත ක්ෂේත්‍රයට දායක නොවුණත් මේ ක්ෂේත්‍ර දෙකේම කටයුතු සමබරව කරගෙන යන්න මම කැමැතියි.
ඉදිරියේදී එළි දකින්නට නියමිත තව අලුත් නිර්මාණත් ඔබ සතුව ඇති? ඔව්. ගීත කිහිපයක්ම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල ඒ ගීතවල නිර්මාණ කටයුතු සිදු කරගෙන යනවා. කලින් ගීත වගේම මේ ගීතත් රූප රචනා සමඟින් එළි දක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. |