|
සිරි දළදාගමනයට එක්වීමට ලැබීම සතුටට කරුණක්
“සිරි දළදාගමනය නිෂ්පාදනය කිරීමේ කාර්යයට දායක වීමට මා අදහස් කළේ බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ශේෂ වූ දළදා වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ද ප්රාතිහාර්යය දක්වමින් බුදු බලය ප්‍රකට කළ අයුරු අප ජන සමූහයා වෙත සිහිපත් කර දී ඔවුන්ගේ සැදැහැ සිත දියුණු කිරීමේ අදහසින්. ඒ වගේම බෞද්ධ භික්ෂූන් වහන්සේ පමණක් නොව පෙර රජ දරුවන් පවා පරිත්‍යාගයෙන් මේ පූජනීය වස්තුව සුරැකීමට කැප වූ ආකාරය සමාජයට හඳුන්වාදීමේ අභිලාෂයද පෙරදැරිවයි. සනත් අබේසේකර මහතා ලියූ සිරි දළදාගමනය තිරපිටපත මා අතට පත් වූයේ 2011 වසරේදී යි. කතාවේ අන්තර්ගතය දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමේ පුවත වුවද දළදා වහන්සේ තුළින් බුදුන් වහන්සේගේ බුද්ධ ශක්තිය පිළිබිඹු කර තිබීම ඒ තුළ මම දුටුවා. මෙබඳු නිර්මාණයක් කිරීම මූල්‍යමය වශයෙන් හා අනෙකුත් කරුණු කිහිපයක්ම හමුවේ අභියෝගාත්මක වුවද එය කළ යුතු බවත් මට හැඟී ගියා. මා විසින් ත්රිපිටවේදි උපාධිය සඳහා ඉදිරිපත් කළ නිබන්ධනයේ දාඨාවංශය ඇසුරින් දළදා වහන්සේ පිළිබඳ කරුණු සම්පිණ්ඩණය කළ බැවින් මෙම චිත්‍රපටය නිෂ්පාදනයට එයත් බලපෑමක් කළ බවත් කියන්න පුළුවන්. ඊ. ඒ. පී. සමාගමේ අධ්‍යක්ෂිකා ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය සහ ඊ. ඒ. පී. ෆිල්ම්ස් හා බෝසත් ලංකා පදනම යන පාර්ශවයන්ගේ සම නිෂ්පාදනයක් ලෙස සිරි දළදාගමනය සිනමා නිර්මාණය එළි දැක්වීමට හැකිවීම පිළිබඳ තිබෙන්නේ විශාල සතුටක්. |