වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




එදා හිතුවේ තනිකඩ ජීවිතය හරි රසවත් කියලා

එදා හිතුවේ තනිකඩ ජීවිතය හරි රසවත් කියලා

සුජාතා විජේසේකර

මට දැන් මේ නිවසිනුත් යන්න වෙලා

කලා ලොවේ තනිකඩව වෙසෙන තරු බොහෝය. ඔවුන් එසේ තනිකඩව සිටීමට බලපාන හේතු එකිනෙකට වෙනස්ය. මෙවර ‘තනිමංසල’ ට සහභාගි වන්නේ පැරැණි චිත්‍රපට නිළියක් වන සුජාතා විජේසේකරයි.

ඔබ බොහොම දුබල තත්ත්වයේ සිටින බවයි පෙනෙන්නේ?

පසුගිය දවස්වල මම හිටියේ අසනීප තත්ත්වයෙන්. ඒ නිසා මම කෙහේවත් ගියේ නෑ. කොහෙමත් මට දැන් කොහේවත් ඇවිදින්න බැහැ. එකම තැනකට වෙලා තමයි ඉන්නෙ. ඒත් ළඟදිම මෙහෙන් යන්නත් සිදුවෙලා.

ඇයි ඔබට මෙතනින් යන්නට සිදුවන්නේ?

දිගු කාලයක් මම හිටියේ මේ නිවසේ වුණත්, මා මෙහි සිටින්නේ කුළී පදනම මතයි. මේ ඊයේ, පෙරේදා ඔවුන් මට වෙනම තැනක් හොයා ගන්න කියලා දැන්වුවා. මේ මාසය ඇතුළත සිදුවිය යුතුයි කියලාත් කිව්වා. පුළුවන් නම් අද, හෙටම හියත් කමක් නැහැ කියලයි ඔවුන් කිව්වේ.

ඔබ මේ වෙනකොට යන්න වෙනත් නිවසක් සොයා ගත්තද?

ඇවිද ගන්නවත් බැරි කෙනෙක් වුණු මම කොහොම කියලා ගෙවල් හොයන්නද? මම මේ ගැන මාව බලාගන්න, මට උපකාර කරන දුවට කිව්වා. ඒත් ඔය තරමටම ඒ අයටත් මට කරදර කරන්න බැහැ.

මේ වනවිට කවුද ඔබට උදව්, උපකාර කරන්නේ?

පොඩි අක්කගේ දුවක් තමයි මගේ දුක සැප සොයා බලන්නේ. ඒ වගේම ලොකු අක්කා දැන් ඉන්නේ එංගලන්තයේ. ඇගේ දුව තමයි මම මේ ඉන්න ඇනෙක්ස් එකට පවා සල්ලි ගෙවන්නේ.

වෙන කවුරුවත්ම උදව් උපකාර කරන්නේ නැද්ද?

වෙන කවුරු කියලා මට උදව් උපකාර කරන්නද? මට යන්තමට වැටිලා ඉන්න ස්ථිර නිවෙසක් තියෙනවා නම් කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවටයි. අනේ පුළුවන් නම් ජනාධිපතිතුමාට ලියන්න මට වැටිලා ඉන්න නිවෙසක් ලබා දෙන්න කියලා. එහෙම දෙයක්වත් ලැබුණොත් මට සැනසිල්ලේ අවසාන කාලය ගතකරන්න පුළුවන් වේවි. ඒ වගේ දෙයක් කරන ඒ උතුමන්ට ඒ දේම ඇති ජාති ජාතිත් නිවන් දකින්නට.

ඔබ ඇයි එකපාරටම තනි වුණේ?

ඒ කාලයේ මම හිටියේ මගේ මමීත් එක්කයි. මමීත් නැතිවුණාට පස්සේ මම දැන් ඉන්නේ තනියමයි. සහෝදර, සහෝදරියෝ හිටියත් ඔවුන්ට කරදරයක් වෙන්න මම හිතුවේ නෑ. ඒ නිසා මම තනියම තැනක ජීවත් වුණා. ඒත් ඔවුන්ගේ නිවෙස්වලට ආවා, ගියා.

පවුලේ දේපොළ ඔබට ලැබුණේ නැද්ද?

අපේ පවුලේ නමදෙනෙක් හිටියා. මම තමයි පවුලේ බඩ පිස්සී. මගේ ඩැඩී වෛද්‍යවරයෙක් නිසා අපට රටේ හැමතැනම යන්න සිද්ධ වුණා. ගම නුවර වුණත් ඉන්න නියමිත තැනක් අපට තිබුණේ නෑ. ඩැඩී ගේ රැකියාවත් සමඟ තැනින් තැනට අපි මාරු වුණා. අපට කෑගල්ලේ ස්ටේට් එකක් තිබුණු බව මට යන්තමට මතකයි. ඒත් ඒක ඩැඩී ඒ අවට දුප්පත් අයට බෙදලා දුන්නා. මමත්, මමීත් වැඩිපුර හිටියේ, අක්කලා කොළඹට විවාහ වුණු නිසා ඒ අයගේ නිවෙස් අවටයි.

ඇයි ඔබ විවාහ නොවුණේ?

පවුලේ බාලයා විදියට මට රාජකාරි ගොඩක් පැවරුණා. මමීව සම්පූර්ණයෙන්ම බලාගන්න සිදුවුණේ මටයි. ඒ වගකීම් අතර ඉන්නකොට විවාහය ගැන මතකයට ආවේම නැහැ.

එකල ඔබ සුන්දර යුවතියක්. ඕනෑ තරම් ඔබට විවාහ යෝජනා ඉදිරිපත් වෙන්න ඇති නේද?

ඇත්තම කිව්වොත් ඒ කාලෙ ඕනෑ තරම් මට විවාහ යෝජනා ආවා. ඒත් ඒ කිසිම දෙයකට මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මම එදා ඉඳලාම හිටියේ විවාහ නොවනවාය කියන මතයේ. විවාහය පිළිබඳ ඒ තරමටම මට ඒ කාලයේ තැකීමක් තිබුණේ නැහැ.

මමී කිව්වේ නැද්ද විවාහ වෙන්න කියලා?

මමී නම් නිතරම ඒ ගැන කිව්වා. ‘පුතේ ඔයා කවදහරි දවසක තනිවේවි, මම නැති වුණාට පස්සේ ඔයා හොඳටම තනිවේවි’ කියලා ඈ නිතරම කිව්වා. ඈ යෝජනා කිහිපයකුත් ගෙනාවා. ඒ කිසිම යෝජනාවකට මගේ හිත ගියේ නැහැ. නිතරම මට හිතුණේ තනිකඩ ජීවිතේ තරම් රසවත් ජීවිතයක් තවත් නෑ කියලා.

ඔබ ඉක්මනින්ම රංගන ජීවිතයෙන් පවා සමුගන්නවා?

ඔව්, මම රඟපාන්න ගියත් එහි වැඩිපුර ඉන්න කැමැත්තක් තිබුණේ නැහැ. ඒකට හේතුව වුණේ පොඩි අයියා.

පොඩි අයියට මොකද වුණේ?

කාලයකදි පොඩි අයියගේ ඇස් දෙක පේන්නේ නැතිව ගියා. ඔහුව බලාගන්නට සිදුවුණේ මට. ඒ නිසා මම රංගනයෙන් ඉවත් වුණා.

ඔබගේ සහෝදර, සහෝදරියන්ගේ ළමයි දැන් ඔබව බලන්න එනකොට යම් දුකක් හිතට දැනෙනවද?

එහෙම දුකක් නම් දැනෙන්නේ නෑ. ඔවුන් සමඟ ඉන්නකොට කාලය ගතවෙනවා දැනෙන්නේ නෑ.

මේ වගේ අසරණ වෙලා ඉන්නකොට හිතෙන්නේ නැද්ද අනේ මම විවාහ වුණා නම් කියලා?

සමහර අවස්ථාවලදි එහෙම හිතෙන වෙලාවල් තිබෙනවා. මම විවාහ වුණානම්, මට දරුවෝ හිටියා නම් වයසට යනකොට ඒ අය බලාගනී නේද කියලා මට හිතෙන අවස්ථා තිබෙනවා. ඒත් ඉතිං දැන් ඒ ගැන හිතලා වැඩක් නෑ.

ඔබට මෙහෙම ඉන්න විට තනිකමක්, පාළුවක් වැඩිපුර දැනෙනවා නේද?

අනේ මට කිසිම තනිකමක්, පාළුවක් දැනෙන්නේ නෑ. උදෙ නැගිට්ට වෙලේ පටන් රාත්‍රිය වෙනකම් මට කරන්න ඕනෑතරම් වැඩ තියෙනවා. මගේ ලොකුම රාජකාරිය තමයි කෑම ලෑල්ලට කුරුල්ලන්ට කන්න කෑම දාන එක. මගේ තනි නොතනියට ඉන්න පූස් පැටියට කන්න දෙන එක. ඒ අය කෑම කන හැටි මම බලාගෙන ඉන්නේ බෙහොම සතුටෙන්. පූස් පැටියා නම් මගේ මිතුරෙක් වගේ නිතරම මා සමඟමයි ඉන්නේ. මේ අය සමඟ ගෙවන ජීවිතය බොහොම සුන්දරයි. ඒ නිසා මට දවස ගතවෙනවා දැනෙන්නේ නෑ.

කුමන මොහොතක හෝ ඔබට තනිකමක් නොදැනෙන බවද ඔබ ඔය පවසන්නේ?

ඉඳලා, හිටලා ඒ වගේ තනිකමක් දැනෙන මොහොතක් වුණොත් මගේ මතකයට එන්නේ අතීතයයි. ඒ අතීතයේ සිතුවිලි මට අපූරු සතුටක් රැගෙන එනවා. නිතරම මම රූපවාහිනිය නරඹන නිසා තනිකමකට, පාළුවකට මගේ ළඟ ඉඩක් නැහැ. රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් නැත්නම් මොකක්හරි වැඩසටහනක් බලනකොට කිසිවෙකුත් නෑ කියලා මට තනිකමක් දැනෙන්නේ නෑ.

අනාගත බලාපොරොත්තුව මොකක්ද?

මටම කියලා වැටිලා ඉන්න ගෙයක් තියෙනවා නම් කියන බලාපොරොත්තුව මිසක් වෙන කිසිම බලාපොරොත්තුවක් මට නැහැ. එතකොට නිදහසේ මට මැරෙන්න පුළුවන්.