වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලිවිෂනයේ සුපර් මාර්කට් කලාව

ටෙලිවිෂනයේ සුපර් මාර්කට් කලාව

පසුගිය දවසක උදේ රාජකාරි සඳහා පැමිණියේ වෙනදා හසු නොවන ආකාරයේ වාහන තදබදයකට හසුවෙමිනි. මේ තදබදය සිදු වූයේ අසමාන කාරණයක් නිසාය. ඒ මඟුල් පෙරහැරක් නිසාය. සාමාන්‍යයෙන් රජකතාවලදී මඟුල් පෙරහැරක් ගැන ඇසුවත් මහ මාවතක් අවහිර වන මඟුල් පෙරහැරක් යනු විරල එකකි. එහි මනමාලයා ගමන් කළේ ඇතු පිටිනි. මනාලිය සද්දන්ත පුරුෂයන් සය දෙනෙකු විසින් ඔසවන ලද දෝලාවක ගමන් කළාය. සතර වරිගයේ නෑයෝ තුම්මුනින් දාඩිය දාගෙන පෙරහැර පසුපසින් ගමන් කළහ.

කෙනෙකුගේ සිතැඟි පරිදි පවත්වන මංගල්‍යයක් විවේචනය කිරීමට මට වුවමනාවක් නැත. තමන්ට මුදල් තිබේ නම් කවුරුත් ඕනෑ මඟුලක් කර ගත්තාට කිසිදු ගැටළුවක් නැත. එහෙත් මේ ලිපිය ලියන්නට මෙම අපූරු සිදුවීම මා නිමිත්ත කොට ගත්තේ තවත් කාරණාවක් නිසාය. එනම් මෙරට ජන විඥානයට ටෙලිවිෂනය කරන ලද බලපෑම කෙබඳුදැයි විමසා බලන්නට මේ සරණ මංගල්‍යයද හේතුවක් වනු ඇතැයි සිතන හෙයිනි.

මෙරටට ටෙලිවිෂන් හඳුන්වා දී මේ වසරට තිස් පස් වසර සපිරිණි. ස්වාධීන රූපවාහිනිය සිය විකාශනයක් ආරම්භ කිරීම කරන ලද්දේ 1979 වසරේ අප්‍රේ්ල් මස 14 වැනිදා බැව් මගේ මතකයයි. එහෙත් එය වර්තමානයේ නිල වශයෙන් තම උපන් දිනය ලෙස සලකනු ලබනුයේ ජූනි මස 5 වැනිදාය. කෙසේ හෝ ගත වූ වසර තිස් පහ ඇතුළත අපේ රටේ ඉපැදුන බොහෝ දෙනා ලෝකය දැක්කේ ටෙලිවිෂනය හරහාය. මුල් වසර දෙක තුන ඇතුළත සුඛෝපභෝගි භාණ්ඩයක් ලෙස සැළකුණ ටෙලිවිෂනය එය අද අත්‍යවශ්‍ය ගෘහ මෙවලමක්ව පවතී.

එබැවින් ටෙලිවිෂන් නාලිකා තරගය අස්සේ අපේ ඉහ මොළ අපට නොදැනීම විපර්යාසවලට භාජනය විය. අප බොහෝ විට ටෙලිවිෂනය විවේචනය කරනු ලබනුයේ ටෙලි නාට්‍ය හරහා සිදු වන්නේ යැයි කියනු ලබන විනාශය පිළිබඳ පමණි. එහෙත් ඒ බහුතර විවේචන මා දකින්නේ නිශ්චිත ඉලක්කයක් එල්ල කර නොගෙන මොකක් හෝ එකක් වැරැද්දකට හේතුවක් ලෙස පටලවා ගැනීමක් පමණි. ඒ නිසා සෑම කුණු ගොඩක්ම බේරුවල් බොක්කට කීවා සේ ටෙලිවිෂනයේ සියලු දෝෂ ටෙලි නාට්‍යවලට පමණක් බැර කොට අපි අත පිසදා ගනිමු. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ඉතා හොඳ ටෙලි නාට්‍යවලට පවා කථිකාවක් ඇති නොවන තරමට සියල්ල එක ගොඩෙහිලා කතා කිරීමයි.

මේ ලිපිය ආරම්භයෙහි මා සඳහන් කළ මංගල්‍යය ද ෙටිලිවිෂන් ආභාසය හරහා නවීකරණය වූවක් යැයි නොසිතන්නේ මන්ද? වර්තමානයේ තම තමන්ගේ විවාහ මංගල්‍යයන් ටෙලිවිෂනයන් හරහා විකාශය කර ගැනීමේ ප්‍රවණතාවයක් පවතී. ප්‍රේමාලාපයේ සිට මධුසමය දක්වා දක්වා සියල්ල මේ වැඩසටහනට ඇතුළත්ය. එය නරඹන විවාහ අපේක්ෂක යුවළක් මෙයටත් වඩා හොඳින් තම උත්සවය පැවැත්වීම් අභිරුචියෙන් පෙලීම සාමාන්‍ය ස්වභාවයකි . එබැවින් ඒ සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් වැය කොට කාටත් ඉහළින් රටට ඇහෙන්නට මඟුල් කෑමේ අරමුණ දිනෙන් දින වර්ධනය වෙයි. මෙහිදී මේ ලිපියෙහි අරමුණ එබඳු ටෙලිවිෂන් වැඩසටහන් නවතා දැමිය යුතු යැයි හෝ එබඳු මඟුල් නොකළ යුතු යැයි විවේචනය කිරීම හෝ නොවේ. විවිධ වූ ටෙලිවිෂන් වැඩසටහන් ඔස්සේ මිනිසුන් පොළඹවන කාරණා පිළිබඳ විමසා බැලීමක් පමණි.

කලකට ඉහත කොළඹ ලොකු හෝටල්වල බෝල්රූම් ශාලාවට සීමා වූ නැටුම ඈත එපිට ගමක මනාල යුවළගේ උත්සවාංගයක් වූයේ ටෙලිවිෂනය නිසාවෙනි. පසුගිය කාලයේ මධුසමය ගත කිරීම සඳහා හෙලිකොප්ටරයක් භාවිතා කිරීමට මුදල් සොයාගෙන තිබුණේ තව මිනිසෙකු මරා දැමීමෙනි.

කලකට ඉහත මිනිසුන් නිවාසයක් සදා ගන්නේ තමන්ගේ හා තම පවුලේ අවශ්‍යතාවයට සරිලන පරිදි අතේ ඇති මුදලටය. එහෙත් මෑත භාගයකදී කරන ලද පරීක්ෂණයකින් හෙළි වන පරිදි මෙරට මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු වැඩියෙන්ම ණය වී ඇත්තේ නිවාස ඉදි කිරීම සඳහාය. ඒ බහුතරයක් නිවාස වාසස්ථානයක මූලික අවශ්‍යතාවයක් සපුරන්නට වඩා අනෙකාට වඩා ඉහළින් තම නිවෙස පෙන්වීමේ මිනිස් මානසිකත්වයට නිර්ශනයකි.

එහිදී ද සාමාන්‍ය මිනිසා තුළ පෙළඹුමක් ඇති කිරීමට ටෙලිවිෂනයේ ගෘහ අලංකරණ වැඩ සටහන් හේතු නොවූයේ යැයි කියන්නට ඇති සාධක කවරේද? නිවසක් ඉදි කරන්නට සැරැසෙන තැනැත්තා ගෘහ අලංකරණය පිළිබඳ වැඩසටනක් නැරැඹූ සැනෙන් එහි ඇති විවිධ අලංකරණ කටයුතු සඳහා පෙළඹෙන්නේ නිතැතිනි. ‘අර ජාතියේ ගරාදි වැටක්’, ‘මේ ජාතියේ විදුලි පහන්’, ‘ඒ ගෙදර පෙන්වන ජනේල’ හරහා ඇස ගැටෙනා සුන්දර දේ සොයා යන පෘථග්ජන මිනිසාගේ ආශාව අවසානයේ නතර වනුයේ ඔහුට සදාකලික ණයකරුවෙක් කරමිනි. උදෑසන ඇතැම් සෞඛ්‍ය වැඩසටහන් නරඹා අවසානයේ තමාගේ රෝග පිළිබඳ ස්වයං රෝග නිශ්චය කර ගන්නා පිරිස අප අතර බහුලය. අන්තිමට මේ වැඩ සටහන් අවසානයේ තමන්ට ද මේ රෝග ඇතැයි සිතෙන් නිගමනය කොට අට අනූවක් ව්‍යාධිවලට ටෙලිවිෂනයේ පෙනී සිටින රටේ සිටින තරමක් දොස්තරලා පසුපස යන ලෙඩ්ඩුන්ගේ සංඛ්‍යාව කොපමණ ද යන්න සෞඛ්‍ය සේවාවලට රහසක් නොවේ.

සුපර් මාකර්ට් සංකල්පය බිහිව ඇත්තේ සිල්ලර වෙළෙඳ සල් සංකල්පයට පටහැනිවය. සිල්ලර වෙළෙඳ සලකට අපි යන්නේ සීනි හෝ පරිප්පු හෝ දත් බෙහෙත් හෝ යම් නිශ්චිත අත්‍යවශ්‍ය දෙයක් මිලට ගැනීමටය. එහෙත් සුපර් මාර්කට් ඇතුළට යන පාරිභෝගිකයා අදාළ නිශ්චිත අත්‍යවශ්‍ය භාණ්ඩය හැර එහි රාක්කවල පුරවා ඇති තවත් විවිධ පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට ස්වයංව පොළඹවනු ලබයි. බොහෝ විට මුදල් අතේ සාක්කුවෙන් හෝ නැතිනම් ණය කාඩ්පතකින් හෝ මිල ගෙවා දැමිය හැකියි. වර්තමානයේ තරගකාරී ටෙලිවිෂන් නාලිකා වැඩසටහන් බහුතරය වඩා ළං වනුයේ සුපර් මාර්කට් සංකල්පයටය. අත්‍යවශ්‍ය නොවුණත් මිල දී ගැනීමට පෙළඹවීම ඒ සංකල්පයයි.

විවාහ මංගල්‍යයේ සිට උපත ලබන පෞද්ගලික රෝග, ඉගෙනීම සදහා තෝරා ගත යුතු විෂයයන් ද, ආගම දහම පිළිබඳ ඇතුළු මෙකී නොකී සියලු දේ අපේ මිනිසුන්ගේ සිත්වල පසුගිය තිස් පස් වසර මුළුල්ලේ ටෙලිවිෂනය මඟින් කළ විපර්යාසය ගවේෂණයක් කරන්නකුට ඉතා බලසම්පන්න මාතෘකාවක් වනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ ගවේෂණය ආරම්භ කළ යුත්තේ නිවෙසකට අලුත් ටෙලිවිෂනයක් මිලදී ගැනීමේ සිටය. එතැන් පටන් තම ජීවත්වීමේ රටාව හා අවශ්‍යතා වෙනස් වූ අයුරු ඕනෑම කෙනෙකුට බරපතළ සමාජ විග්‍රහයකට හේතු වනු ඇත.

කිසි විටෙකත් ටෙලිවිෂනය හෝ එහිි එන විවිධ වැඩ සටහන් බහුතරය සමාජ විරෝධී හෝ සමාජ ප්‍රගමනයට හේතු නොවන්නේ යැයි තර්ක කරන්නට මම මැලි වෙමි. මන්ද මා ඉතා තදින් ටෙලිවිෂනයට ඇලුම් කරන බැවිනි. නොම්මර එකේ බයිස්කෝප් පිස්සෙක් වන මගේ සිනමා මනදොළ සපුරාලනුයේ ටෙලිවිෂන් යන්ත්‍රයයි. එබැවින් ටෙලිවිෂනයක හෝ එහි එන වැඩ සටහනකට හෝ දොස් කියන්නට මට නොහැකිය. ඉහත විවිධ ටෙලිවිෂන් වැඩ සටහන් ඔස්සේ අන්ද කයිප්පු වැඩ කර අන්තිමට ආතක් පාතක් නැතිව බලා සිටි මෙරට ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතර මම ද එක් අයෙක්මි. කොටින්ම කියනවා නම් ඉතාම හොඳ උදාහරනයක් මේ ලිපිය අවසාන කරන්නට මත්තෙන් මම සඳහන් කරන්නට කැමැත්තෙමි.

නිවාස ඉදි කිරීම හා අලංකරණය කිරීම පිළිබඳ එක් වැඩ සටහනක් නැරැඹූ මට එහි නිවෙසක පෙන් වූ විදුලි පහනක් පිළිබඳ කවර තරම් ඇලුම් කළේ ද යත් අවසානයේදී මම එය මිල දී ගත්තෙමි. එය සවි කරන ලද්දේ ද මහත් වැර වෑයමකිනි. පසුව මගේ නිවසට පැමිණි මිත්‍රයකු පෙන්වා දුන්නේ හදිසියකදී එම පහන නිවී ගියහොත් අලුත් එකක් එහි සවි කිරීමේ අපහසුවයි. නිවසකට විදුලි පහනක් යනු සෑම විටම ඉතා පහසුවෙන් මාරු කර ගත යුතු වූ කාරණයකි. දෙයකි. මෙකී විදුලි පහන පිලිස්සුණු කලෙක යළි සවි කළ යුත්තේ සකල විධ දෙවියන්ට භාර වෙමින් හා ජීවිතාරක්ෂණය පිළිබඳ පූර්ණ විශ්වාසය තබමිනි.

පසුව මගේ මිතුරා මට පසක් කර දුන්නේ එබඳු පහන් සවි කරනුයේ නඩත්තු කටයුතු සඳහාම වෙනමම පිරිසක් සිටින නිවසක විනා සාමාන්‍ය මාධ්‍ය පාන්තික මිනිසුන්ගේ නිවෙසක නොවන බවය. එහෙත් මට සැනසීමකට ඇත්තේ මගේ වරද පෙන්වා දුන් මිත්‍රයා ද මටත් වඩා හොඳින් ටෙලිවිෂනයෙන් දකින දකින දේ ඉගෙන මටත් වඩා ගොන්කම් කෙරූවකු බව සියලු දෙනා දන්නා නිසාය. එකී විදුලි බල්බය ද මෙහි මුලින් සඳහන් කළ මංගල්‍යය ද එකම තරාදියක ලා කිරා මැන බලනු මැනවි. ස්වයං විවේචනයක යෙදීමට තරම් ඔබ අවංක නම් ටෙලිවිෂනයේ සුපර් මාර්කට් කලාවට ඔබ කී පාරක් ගොදුරු වී ඇතිද? නිවසේ ආහාර පාන, විදුලි උපකරණ, ඇඳුම් විලාසිතා පමණක් නොව තවරන වත්සුණු ද එයට නිදසුන් සපයනු ඇත.