වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපටයට කළගුණ සලකන්න මම මේ දවස්වල ගෙයින් ගෙට යනවා

චිත්‍රපටයට කළගුණ සලකන්න මම මේ දවස්වල ගෙයින් ගෙට යනවා

මිස්ටර් හුඹස්වෙල හෙවත් ආර්. ජී. සිරිවර්ධන

හොදි ඇදලා වැටුණු කඳුළු කවදා හරි සතුටු කඳුළු කරගන්නවා

මගෙ වයස අවුරුදුවලින් කිව්වොත් හැත්තෑවක්. ඉන් අඩකටත් වැඩි කාලයක් රංගනය වෙනුවෙන් මම කැප කළා. බොහෝ දෙනා නොයෙකුත් වැඩ ගන්න මාව දර්ශන තලයේ තියාගෙන හිටියා මිසක් කවදාවත් කැපී පෙනෙන චරිතයක් රඟපාන්න දුන්නෙ නැහැ. ඉතින් මම ලැබෙන සුළු අවස්ථාව මහමෙරක් ලෙස සලකලා රඟපාලා ඔහේ හිටියා. අද වෙනකොට ඒ කැපවීම්වලට ප්‍රතිඵලයක් මට ලැබිලා තියෙනවා.

චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් මට ලැබුණා. කොස්තාපල් පුඤ්ඤසෝම තමයි ඒ චිත්‍රපටය. එහි මම හුඹස්වෙල නැමැති පුද්ගලයාගේ චරිතය රඟපානවා. අවුරුදු හැත්තෑවෙදි ඒ ලද තෑග්ග ගැන මම ඉන්නෙ බොහොම සතුටින් උදයකාන්ත වර්ණසූරිය මහත්තයට හදවතින්ම මම තුති පුදනවා මට මේ අවස්ථාව දුන්නාට.

* ඔහුගේ සිතෙහි ඇති සොම්නස කතාකරන වචනවලින් මට හොඳාකාරවම දැණුනා. කොස්තාපල් පුඤ්ඤසෝම හි හුඹස්වෙල චරිතය රඟන ඔහු ආර්. ජී. සිරිවර්ධනයි.

මගෙ වෘත්තිය වුණේ ලී කැටයම් හා මූර්ති කලාව. මට ලස්සනට ලීයෙන් මිනිස් රුවක් වුණත් හදන්න පුළුවන්. ඒත් හිත තියෙන්නෙ කලා ලෝකේ. සිංදු කියන්න, රඟපාන්නමයි ආසා. මගෙ ගම නුවර කටුගස්තොට එහෙ ඉන්නකොට කඳුරට සේවයට එහෙම බැඳිලා විවිධ කලා කටයුතුවලට දායක වුණා. නුවර කලා සංගම් රැසකම හිටියා. මම කොළඹ ආපුවාම නැවතිලා හිටියේ බුරුම පන්සලේ. එහි නායක හාමුදුරුවො මට හිතවත්. දවසක් එතනට දානෙ අරගෙන සිලෝන් තියටර්ස් එකේ ඊලියන් එස්. පෙරේරා මහත්තයා ඇවිත් හිටියා.

හාමුදුරුවො මම කලාවට ළැදියි කියලා දන්න නිසා මා ගැන එතුමාට පවසලා මාව හඳුන්වා දුන්නා. මට ඔහු සිලෝන් තියටර්ස් එකට එන්න කිව්වා. එහිදී මට ශාන්ති අබේසේකරයන්ව හමුවුණා. ඔවුන් මට සිදාදියෙන් හයක් චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් දුන්නා. දර්ශන තලයේදී මට සතිස්චන්ද්‍ර එදිරිසිංහ මුණ ගැසුණා. ඔහු මාව මාතර ආච්චි චිත්‍රපටයට ගත්තා. අනතුරුව ලොකුම හිනාව ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපෑවා. මේ කොයි චිත්‍රපටයෙන්වත් මට ශත පහක්වත් රංගනය වෙනුවෙන් ලැබුණෙ නැහැ.

* එතකොටත් ඔබ ලී කැටයම් කලාව කරගෙන ගියාද?

ඔව්, ඔව්, එයින් තමයි මම ජීවත් වුණේ. කියන්න කනගාටුයි කිහිපදෙනෙක් හැර ගොඩක් අය මාව වැඩකාරයෙක් වගේ දර්ශන තලවල තියාගත්තෙ. රංගනයට ඇති ආසාව නිසාම කට්ට කාගෙන හිටියා. එක දවසක් නියම සිද්ධියක් වුණා. මෙයට සම්බන්ධ චිත්‍රපටය හෝ අධ්‍යක්‍ෂවරයා කවුදැයි මම කියන්නෙ නැහැ. සිදුවීම විතරක් කියන්නම්. ඒ චිත්‍රපටයේ දර්ශන තලය සහ කෑම පිළියෙල කරන ස්ථානයේ ඉන්නකොට කෑම උයන තැන තියෙන හොදි ඇතිළියක් ගේන්න මට විධානයක් ලැබුණා. මම එය උස්සගෙන කරේ තියා ගත්තා. හොද්ද හොඳටම රස්නෙයි. බිම තියන්නත් බැහැ බනීවි කියලා. මම හරිම අපහසුවෙන් පිච්චි පිච්චි දර්ශන තලයට දුවගෙන එනකොට ඇස්වලින් සට සට ගාලා කඳුළු වැටෙනවා. මම හිතා ගත්තා කවදා හරි මේ කඳුළු සතුටු කඳුළු කරගන්නවා කියලා.

* ඒ හීනය දැන් හැබෑවෙලා?

උදයකාන්ත මහත්තයට පින් සිද්ධ වෙන්නයි එහෙම වුණේ. දිනක් ඔහු මට කතාකරලා ගෙදර එන්න කිව්වා. මම ටක්ගාලා එහෙට දිව්වෙ හිතේ තියෙන ගෞරවය නිසා. මට පුඤ්ඤසෝම පිටපත දීලා හුඹස්වෙල චරිතය බලාගන්න යැයි පැවසුවා. මගෙ ඇඟ හිරිවැටුණා ලොකු දෙබස් දැකලා. මම හොඳටම බය වුණා. මගෙ තත්ත්වය තේරුම් ගත් උදයකාන්ත මහත්තයා මගෙ බය නැති කළා.

මට රඟපාන්න තිබුණේ මහේන්ද්‍ර පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, ආනන්ද අතුකෝරල, මානෙල් වීරමුනි වැනි ප්‍රවීණයන් එක්ක. ඔවුන් මට සහාය නොදුන්නා නම් හුඹස්වෙල චරිතය කරන්න ලැබෙන්නෙ නැහැ. මට දැන් පුඤ්ඤසෝමගෙන් පස්සෙ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා රඟපාන්න. දෙනවක හාමිනෙත් රඟපාන්න පටන් ගත්තෙ අවුරුදු හැටේදි විතරනේ. මම රඟපාපු තවත් චිත්‍රපටයක් එන්න තියෙනවා. ඒකෙ නම සදාදර ජෝති. පද්මසිරි කොඩිකාර මහත්තයයි එය අධ්‍යක්‍ෂණය කළේ.

මගෙ පවුලෙ විස්තර මෙහෙමයි. මට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. බිරිය රැකියාවක් කළේ නැහැ. අපි හතරදෙනා කටුගස්තොට ගෙදරට වෙලා බොහොම සමඟියෙන් ඉන්නවා.

කොස්තාපල් පුඤ්ඤසෝම මංගල දර්ශනය දවසේ චිත්‍රපටය බලලා මට ෂොක් වුණා. මටම පුදුමයි මම රඟපාපු දර්ශන දැකලා. එදා මම උදයකාන්ත මහත්තයව බදාගෙන ඇඬුවා. චිත්‍රපටය වෙනුවෙන් මට කළගුණ සලකන්න ඕනෙ කියලා හිතුණ හින්දා ගෙයින් ගෙට ගිහින් එය පිළිබඳ දැනුවත් කරන වැඩසටහනක් පටන් ගත්තා. අදටත් මම ඒ කාර්යය කරගෙන යන්නෙ අප්‍රමාණ භක්තියෙන්. මම මේ වගේ දේවල් කරන්නෙ අවුරුදු හැත්තෑවෙදි මට වාසනාව ගෙන ආ කොස්තාපල් පුඤ්ඤසෝම නිසා.