වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතයේ සුවිශේෂතම අවස්ථාව බුද්ධගයාව වන්දනා කිරීමයි

ජීවිතයේ සුවිශේෂතම අවස්ථාව බුද්ධගයාව වන්දනා කිරීමයි

සබීතා පෙරේරා

ඇය අසූව දශකයේ සිට සිංහල සිනමාව හැඩ කරන්නට දායක වුණු සුන්දර තාරකාවක්.

ඇය තම නමින්ම නිර්මාණය වූ චිත්‍රපටයකින් සිය ප්‍රථම රංගනය එළිදක්වන්නට තරම් වාසනාව ලැබීය. ඒවගේම ඇය අපේ රිදී තිරයේ සුන්දරම රංගන ශිල්පිණියක්. සබීතා පෙරේරා.

එදා සිට සිය සුරූපි බවෙන් ප්‍රතිභාවෙන් රිදී තිරය ඔපවත් කළ ඇය අද පුදුම හතෙන් ඔබ හමුවට පැමිණෙන්නීය.

එහෙත් ඒ රංගන ජීවිතයේ තොරතුරු කතා කරන්නනට නම් නොවේ.

සබීතා ඔබට පවසන්නේ මෙතෙක් කල් ඇයගේ ගමන් මගේදී දුටු සුන්දරතම ස්ථාන හතක තොරතුරුය.

බුද්ධගයාව

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ලොව්තුරු බුදුධත්වයට පත් වු පූජනීය ස්ථානය පිහිටි බුද්ධගයාව වැඳපුදා ගන්න ලද අවස්ථාව මගේ ජීවිතයේ සුවීශේතම වූ අවස්ථාව ලෙසයි මා දකින්නේ.

බිහාර් ප්‍රන්තයේ ගයා දිස්ත්‍රික්කයේ පිහිටි බුද්ධගයාවට ගිය ගමන මගේ ජීවිතයට වාසනාවක්.

ඒ දවස මගේ ජීවිතයේ වාසන්වන්තම දවසක්. ජීවමානව බුදුන් දුටුවා වගේ හැඟිමක් එදා මගේ හිතට දැණුනා.

ඒ වෙලාවෙදි ඇත්තටම මට ඇඬුනා. සිද්ධාර්ථ ගෞතම මහබෝසතාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්බුද්ධත්වයට පත්වූ ජය ශී‍්‍ර මහා බෝධි මූලය පිහිටියා වූ ඒ පුණ්‍ය භූමිය ස්පර්ශ කරන්නට ලැබීමම මට ඇති.

පුංචි කාලයේ පටන් පොත පතින් අසා දැන තිබු වන්දනීය ස්ථාන සියැසින් දකින්නට මම ගොඩක් පින් කරලා ඇති.

ටජ් මහල් මන්දිරය

ඉන්දියාවේ මෝගල් රජ පරම්පරාවේ පස්වැනි පාලකයා වූ ෂා ජෙහාන් අධිරාජ්‍යයා තම මුම්ටාස් මහල් දේවිය සිහිවීම පිණිස කළ ටජ්මහල් මන්දිරය මම වඩාත් කැමැති ස්ථාන අතරින් එකක්. මම මුලින්ම එහි යන විටදී අපේ පුතාට අවුරුදු හයක් විතර ඇති.

එදා මම එහි යන්න තීරණය කළේ එහි විශේෂත්වය ගැන හිතලා. 1632 වසරේදී පමණ මෙහි ඉදිකිරීම් ආරම්භ කළා යැයි සඳහන් වෙනවා.

කිරිඟරුඬ වලින් ඉතාමත් අලංකාර ලෙසින් කර ඇති මේ මහා නිර්මාණය ඇත්තටම පුදුමයක්. අග්‍රා නුවර යමුනා නදී තීරයේ විචිත්‍රවත් අයුරින් පිහිටි මේ ආදරණීය සංකේතය දකින්නට ලැබීමත් සතුටක්.

ආදරය වෙනුවෙන් ෂා ජෙහාන් අධිරාජ්‍යයා කළ කැපවීමයි මම එදා දැක්කේ. අපේ පුතාත් දැන් ලොකුයි. තවත් වතාවක් ටජ් මහල් මන්දිරය නරඹන්න යන්නත් අදහස් කරගෙනයි සිටින්නේ.

නයගරා දිය ඇල්ල

කැනඩාවටත් අමෙරිකාවටත් අයත් වූ ලොවම ප්‍රචලිත අලංකාරම දිය ඇල්ල වෙන්නේ නයගරා දිය ඇල්ලයි.

කැනඩාවේ ඔන්ටේරියෝ නගරය හා අමෙරිකාවේ නිව්යෝක් නගරයත් අතර පිහිටමින් දේශසීමා තනන මේ සුන්දර දිය ඇල්ල හිතාගන්න බැරි තරමට ලස්සන දිය ඇල්ලක්.

උස අඩි 180ක් හා අඩි 2200ක දිගින් යුතු මේ ඇල්ල හරහා ගිය බෝට්ටු සවාරිය මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීම් අතරින් එකක්.

විවිධ වර්ණයෙන් යුතු විදුලි බුබුලු වලින් ආලෝකවත් වූ නයගරාව දැක්කම මම හිතුවේ දිව්‍ය ලෝකෙත් මේ වගේම ඇති කියලා. මේ තරමට ලස්සන දේ දකින්න මම පිං කරලා තියෙනවා කියලා ලොකු සතුටක් හිතට දැණුනා.

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුර

වතිකානුවත් මා දුටු සුන්දර ස්ථාන අතරට එක් වෙනවා. මම බෞද්ධයෙක් වුණත් වතිකානුවට ගිය මම දුටුවේ එදා මිනිසා සතු වූ කලා හැකියාවයි. මේ දෙව් මැදුරේ අසිරිය බලන්නට අපට දවසක්ම ගත වුණා.

එහි වූ මයිකල් ආන්ජෙලෝ විසින් ඇඳී චිත්‍ර දැක ගන්න ලැබීමත් මගේ හිතට සතුට ගෙන එන්නක්. කුරුසියෙන් බිමට ගත් ජේසුතුමන්ගේ සිරුර මරියතුමිය විසින් තම ඇකයේ හොවාගෙන සිටින අයුරු දැක්වෙන පියෙටා ප්‍රතිමාව එදා මා දුටුවේ ජීවමාන ලෙසින්.

කිතුණු බැතිමතෙක් නොවුණත් කලාකාරිණියක් විදියට එතැනට යාමට ලද අවස්ථාව මට සුවිශේෂ වෙනවා. අපි එහි ගිය අවස්ථාවේදී පාප් වහන්සේ දැක බලා ගන්නත් පුළුවන් වුණා.

බර්ජ් කලීෆා

ඩුබායිහි පිහිටි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලට යන්න ලැබුණු අවස්ථාවත් මගේ ජීවිතයේ පුදුම වූ අවස්ථාවලින් එකක්. එය අනර්ඝ ඉදිකිරීමක් ලෙසන් මම දකිනවා.

ඩුබායි නගරයේ අහස සිඹින මේ ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටින්නත් සාප්පු සවාරියක යෙදෙන්නත් අපිට පුළුවන් වුණා.

එය අඩි 2722කින් යුක්ත වූ ගොඩනැගිල්ලක්. එහි මහල් කිහිපයකම සිට අවට නරඹන්නත් පහසුකම් සළසා තිබෙනවා. ඒ අත්දැකීම නම් නැවන නැවතත් විඳීන්න මම හරිම ආසාවෙන් ඉන්නේ.

ලොව මවිත කරවන ස්ථානයකදී ඒවගේ අත්දැකීමක් ලබන්න ලැබීමත් මට ලොකු සතුටක්.

ෆ්ලොරිඩාහි යුනිවර්සල් චිත්‍රගාරය

කලාකාරිණියක් විදියට ලෝක සිනමාව අත්විඳීන්න ලද මේ අවස්ථාවත් මගේ කලා ජීවිතයේ වටිනාම එකක්. අක්කර ගණනාවක් පුරා විහිදුනු මේ සුවිශාල චිත්‍රාගාරය තුළදී අපි නැරඹු හොලිවුඩ් චිත්‍රපටවල අත්දැකීම යළිත් සජිව ලෙසින් විඳීන්නට අවස්ථාව ලැබීම ගැන තියෙන්නේ ලොකු සතුටක්.

ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ අත්දැකීම වගේම තවත් චිත්‍රපට ගණනාවක් හදපු තැන් දැක ගන්න වාසනාවන්ත වුණා.

සිහින ලෝකෙකට ගියා වගේ හැඟිමක් මට එතැනදී දැණුනා. ඒ වුනත් එහි එක් ස්ථානයකට නම් මම කොහෙත්ම කැමැති වුණේ නැහැ.ඒ හොල්මන් මන්දිරයේ දී ලද අත්දැකීම නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

කට්ටිය එක්ක ගියත් එහි තියෙන හොල්මන් දැකලා මම මහ හයියෙන් කෑ ගැහුවා.

ඒ වගේම තමයි එදා එතැනින් එළියට ආවේ අයෙත් නම් කවදානත් එතැනට යන්නේ නැහැ කියලා හිතාගෙන. ඒ වුණාට යුනිවර්සල් චිත්‍රාගාරය බලන්න ආසයි.

මරීනා බේ

මගේ සංචාර අතරේ සිංගප්පූරුවට යාමට ලද අවස්ථාවත් අමතක නොවන විදියට සටහන් වෙලා තියෙනවා. ඒ එහි වූ සුන්දරත්වය නිසාමයි.

මරීනා බේ සෑන්ඩ්ස් හෝටලය ඉදිරිපිට පැවැත්වෙන ලේසර් ආලෝක සන්දර්ශනයේ චමත්කාරය වචනයෙන් විස්තර කරන්න නොහැකි තරම්.

සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ විශ්මිත නිර්මාණයක් ලෙසින් සැළකෙන මරීනා බේ සෑන්ඩ්ස්හි ගත කළ නිවාඩුවත් මගේ ජීවිතයට චමත්කාරයක් එක් කළා.

එහි ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටි බෝට්ටුවක හැඩය ගත් පිහිනුම් තටාකයේ සිට අවට නරඹන්නට ලද අවස්ථාවක් මගේ ජීවිතයේ දුටු සුන්දරම දසුන් අතරට එක් වෙනවා.

ඒ වෙලාවේ මම වළාකුලක ඉන්නවා වගේ හැඟීමක් හිතට දැණුනේ. මේ සුපිරි සංචාරක හෝටලයේ ඇති පහසුකම් අතරේ නට්‍යයක් නරඹන්නත් මමත් මගේ මහත්තයත් අමතක කළේ නැහැ.