වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




පරණ දෙදෙනෙක් සහ අලුත් සගයෙක් තැනූ ‘ග්‍රීක පුරාවත’

පරණ දෙදෙනෙක් සහ අලුත් සගයෙක් තැනූ ‘ග්‍රීක පුරාවත’

නදීක ගුරුගේ, චාමින්ද රත්නසූරිය සහ නඳුන් රොෂාන්ත හමු වෙමු

ගී‍්‍රක පුරාවෘත්තයක දෙවඟනකසේ
මා සිතුම් රළ පතරේ කිමිදෙනා
ඔබ කවුරුදෝ
දෑස රවටන මිරිඟු සයුරදෝ
අහස දිදුලන සිකුරු තරුවදෝ
ජීවිතේ මග අහුරා ඉන්නා
මියුළඟන ඔබ කවුරුදෝ නො හැඟෙයි
මහද සිහිනයන් පවා
ගෙවෙන නිමේෂයන් පවා
හෙළන සුසුමන් පවා
නෙතඟ බැල්මෙන් චායා
අත්පත්කර ගන්නා ඔබ කවුරුදෝ
ජීවිතේ මග අහුරා ඉන්නා...
වාලුකා වෙත
රුදු වැලිතලයක
දුර පෙනෙන කෙම්බිමක
පතොක් කටුමත පිපී
කළු දළ මල ඔබ ළඳේ
ජීවිතේ මඟ අහුරා ඉන්නා...

‘මා ග්‍රීක පුරාවත ලියුවා’ මා හිතවත් ගීත රචක චාමින්ද රත්නසූරිය මා සමඟ පැවසුවේ බත්තරමුල්ල දියත උයනේ ගෙවී ගිය සුන්දර සැන්දෑවකය. නිරතුරුවම වෙනස් යමක් කරන්නකු ලෙස ප්‍රකට චාමින්ද මෙවර ඓතිහාසික ග්‍රන්ථයක් ලීවාය යන සිතිවිල්ල මසිතට ගෙවැදුණේ ඉබේටමය. දියවන්නාවේ රළ පිට රළ පරයා නැඟෙන ආගන්තුක සුලං රැලින් සුපෝෂිත වූ මේ සැන්දෑවේ අප කතා කරමින් උන්නේ ගීත, පද සහ සංගීතය පිළිබඳවය. මේ මාතෘකාව ඇතුළාන්තයට ‘ග්‍රීක පුරාවත’ රිංගීම කොතරම් සුදුසුදැයි මම තනිව ප්‍රශ්න කළේ මේ මොහොතේය.

මීට පෙර චාමින්ද ලියූ රොමාන්තික, අර්ථාන්විත, රැඩිකල් වදනින් පෝෂිත ගීත ගොන්න මට මතකය. ඩැෆඩිල් මල, කැමිලියා මල් සුවඳට, අමීෂා, රොමාන්තික ඔපෙරාව, මල් පිට මල් වැනි ජනප්‍රිය ගීතත් එක් රසික පිරිසක් අතර පමණක් අතිශය ජනප්‍රියව සැරිසරන චාමින්දගේ ඇතැම් ගීතත් මට යළි මතකයට නැඟෙන තරමට මේ හැන්දෑව සුවදායකය.

‘මේක මියුසික් කළේ නදීක’

වැව් දියවර අතර සඳ දඟ කරන ළෙන්ගතු බව විඳිමින් දැහැනකට සම වැදී උන් මා ඉන් මිදුණේ චාමින්දගේ එකවරම පිට වූ වදන් කිහිපයකිනි.

‘එතකොට ගීත පුරාවත කියන්නේ අලුත්ම සින්දුවද’

දැන් හිතෙහි කැකෑරුණු පැනය නිම වුව ද සියුම් දුකක් හිත පිරිමැද ගත්තේ හිතවත් චාමින්ද අතින් පොතක් බිහි වූයේ යැයි යන ප්‍රීතිමත් හැඟීම හිතින් නික්ම ගිය බැවිනි.

‘මේක ටිකක් විතර වෙනස් ගීතයක්. මං කවදත් රැල්ලට ගීත ලියන්නේ නැහැනෙ. මං රැල්ලෙන් රැල්ලට පාවෙන ගීත ඔරුවක් නෙවෙයි. ඒ නිසා මිනිස්සුන්ට විඳින්න, රසභාව ගලපගන්න පුළුවන් ගීතයක් බිහි කරන්නට මං නිතරම වෙහෙසෙනවා. මේ අතරෙදි තමයි මට නඳුන් රොශාන්ත කියන අපූරු තරුණයා හමු වුණේ. ඔහු නදීකගෙන්, කසුන්ගෙන් වගේම ස්ව අධ්‍යයෙන් සංගීතය හැදෑරූ බුද්ධිමත් ඒ වගේම විධිමත් චින්තනයක් තියෙන අපූරු තරුණයෙක්. ඔහුට ගීතයක් එළිදැක්වීමට අවශ්‍ය බව පැවසූ පමණින් ඒ පිළිබඳ අපි බොහෝ දේ සාකච්ඡා කළා. නදීක මම සහ ඔහු එතැන ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළා. අපි තිදෙනාම එකම මඟක යන වග ඒ කතාවලදී වැටහුණා. ඒ නිසා ‘ග්‍රීක පුරාවත’ පදවැල මා අතින් ලියැවුණා.

‘ග්‍රීක පුරාවතක දෙවඟනක් සේ’ ගීතය ආරම්භ වන්නේ එහෙමයි. මොකද අපි හැමෝම ග්‍රීක පුරාවෘත්තිවල ඉන්න දෙවඟන ගැන පුංචි කලේ ඉඳලම අහල තියෙනවා. නමුත් මේ දෙවඟන අප සැවොම මවාගෙන ඉන්නේ විවිධ ස්වරූපවලින්. ඒ නිසා ඒ දෙවඟන පාදක කරගෙන වෙනත් කතාවකට මඟක් තනන්නට මට ඕනෑ වුණා. ඒ අනුව තමයි ග්‍රීක පුරාවත බිහි වුණේ.

ගීත පිළිබඳ අප කතා බහ කරමින් උන් මාතෘකාව තවත් පුළුල් කරමින් චාමින්ද පැවසුවේ ග්‍රීක පුරාවතෙහි බිහිවීම පිබඳවයි.

මේ කතාබහ අතරතුර උයනේ නිදහස් බංකුව වෙතට නදීක හා නඳුන් පැමිණ එකත්පස්ව බලා උන්නේ අපේ කතාන්දරයට සියුම් හෝ බාධාවක් නොවන පරිද්දෙනි.

‘අපි කතා කරමින් උන්නේ ගීත පුරාවත ගැන නදීක’

මම නදීකට සහ ආගන්තුක තරුණයාට මාතෘකාව පිළිබඳ ඉඟිය දුන්නේ මෙම කතාබහ දීර්ඝව ගලා යා යුතු බැවිනි.

‘හොඳයි . . . මේ හාදයා තමයි ඔය ගීතය කිව්වේ’

නදීක නඳුන් මා හට හඳුන්වා දුන්නේ එපරිදි උණුසුම් හෘදයාංගම බවකිනි. දැන් කතාබහට අවශ්‍ය නිත්‍ය යාවත ත්‍රිත්වයම මා ඉදිරියේය. චාමින්දට පසුව නදීක ග්‍රීක පුරාවත ගැන කෙටි හැඳින්වීමක් කිරීමට හැරුණේ තඹ පැහැ ගත් දියවර දෙසටය.

‘ඇත්තටම මේ තරුණයාට විශාල ස්වර පරාසයක ගීත ගායනයේ හැකියාවක් මා දුටුවා. ඔහු පාසල් කාලයේ සිටම ගීතය හා සංගීතය පමණක් නෙවෙයි විශ්වීය ගීත සාහිත්‍ය ගැනත් හොඳ දනුමක් සපුරාගත් අයකු ලෙසට මට වැටහුණා. එවැනි අයකුට නිකම්ම නිකම් ගීතයක් නිර්මාණය කිරීම අසාධාරණයක්. ඒ නිසාම වෙනස්ම සංගීත ආකෘතියක ගීතයක් නිර්මාණය කරන්නට මා පෙළඹුණා. චාමින්දගේ රසබර අරුත්බර පදවැල මේ කටයුත්තට මනාව ගැළපුණා. මේ අයුරින් තැනූ ගීය තමයි ‘ග්‍රීක පුරාවත’.

නදීක තමාගේ අදහස ඉතාමත් මනාව ගොනු කළේය.

දැන් ඉතිරිව ඇත්තේ නඳුන්ය. චාමින්ද, නදීක ලංකාවේ සංගීතය ඇසුරු කරන්නන් හොඳින්ම හඳුනා ගත්ත ද නඳුන් මේ සංගීත උයනට ආගන්තුක පුෂ්පයකි. එබැවින් මේ වෙනස්ම මඟක යන නඳුන් මුල සිට හඳුනා ගැනීම වැදගත් යයි මම තීරණය කළෙමි.

‘පුංචි කාලේ ඉඳලම මගේ ඇඟේ තිබුණේ සංගීතය. ඉස්සර පාසලේ බෑන්ඩ් එකේ මං ට්‍රම්පට් වාදනය කළා. ඒ වගේම මගේ දෑඟිලි තුඩු නිරතුරුවම රැඳුණේ පියානෝවේ ස්වර පුවරුවේ. මේ කාරණා නිසාම දවසින් දවස මම සංගීතය සොයන්න පටන් ගත්තා. විවිධ ආකරයේ ගීත, සංගීත විධි ක්‍රම මං ගවේෂණය කළා. හැමදාමත් මට උවමනා වෙලා තිබුණේ යන රැල්ල තේරුම් අරගෙන ඊට වඩා හොඳ පවතින ගුණාත්මක වගේම සංගීතමය අගයෙන් ඉහළ නිර්මාණ කරන්නටයි. මෙහෙම කාලයක් ගත වුණා. මං කසුන් කල්හාරගෙන් ගීත ගායනය හැදෑරුවා. ඉන් අනතුරුව මට නදීක ගුරුගේ නමැති අර්ථ පූර්ණ සංගීතවේදියා හමු වුණා. ඇත්තෙන්ම ඔහු වෙනස් විදියට හිතන සාමාන්‍ය කෙනෙක්. මගේ ජීවිතේ ආසාව තිබුණෙත් එහෙම අයත් එක්ක නිර්මාණයක් කරන්න.

නදීක අයියා මාර්ගයෙන් තමයි මට චාමින්ද අයියා මුණ ගැසුණේ. ඔහුගේ ගීත වෙනස්ම ආරක් ගත් ඒවා. මට නිවැරැදිම පුද්ගලයන් දෙදෙනා හමු වූ තැන ගීතයක් නිර්මාණය කිරීමේ අදහස මා ඔවුන් හමුවේ තැබුවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ග්‍රීක පුරාවත බිහි වුණේ.

ඇත්තටම මේක අලුත්ම අත්හදා බැලීමක්. මෙම ගීතයේ රූප රචනය පවා ඉතාම වෙනස්. ඒ වෙනසට තමයි අපි හැමෝම එකතු වුණේ.

මං හිතනවා මේ ගීතය ජනප්‍රිය වේවි කියලා. දැනටත් සංගීතය රස විඳින පිරිස අතර මේ ගීතය සහෘදයි.

අපේ කතාබහ තාවකාලිකව නිමා වුණා. මේ නිමාව තවත් කතාබහක ඇරැඹුමක්.