වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




Re-Make - නැත්නම් ඉතින් . . .?

Re-Make - නැත්නම් ඉතින් . . .?

උදිත සංජය

අද සමහරුනට Live  බෑ

එදා එච්. ආර්. ජෝතිපාලයන් ගැයූ ආදරේ හිතෙනව දැක්කම සහ රෑ දවල් මල් හැඟුම් යන ගීත ද්විත්වය අද වෙනත් හඬකින් වෙනස් ආකරයෙන් මේ දිනවල ඇසෙනවා. ඒ ගී රීමේක් කළේ කවුද කියලා අපි ටිකක් විපරම් කරලා හොයලා බැලුවා. එහෙම හොයාගෙන හොයාගෙන යද්දී ඒ යොවුන් ගායකයාව අපට හමු වුණා. ඔහු උදිත සංජය. උදිත සිරස සුපිරි තරු සොයා යෑමේ සිව්වන අදියරේ අනු සූරතාවය දිනාගත් තැනැත්තායි. ආදරේ හිතෙනව දැක්කම, රෑ දවල් මල් හැඟුම් ඔහු නැවත ගයලා තියෙන්නේ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව කියලා ඒවා අහපු ඕනෑම කෙනෙකුට හැඟී යනවා ඇති. තවත් විදිහකින් කිව්වොත් උදිත වෙන්ඩ ජෝති කෙනෙක් වෙන්න හදලා නැහැ. මේ වගේ තව අපේ පැරැණි ගීත දෙක තුනකම උදිත රීමේක් කරන්නට සූදානමින් සිටිනවාලු. ඔහු මේ ඇවිත් සිටින්නේ ඒ ගැන වගේම උදිතගේ අලුත් නිර්මාණ ගැන කතා කරන්න.

* උදිත ඔබ සඳත් නිදි වරයි සහ දුක නැද්ද කියලා ස්වනිර්මාණ කිහිපයක්ම ඉදිරිපත් කළා. ඒත් දැන් වැඩිපුරම අසෙන්නේ රීමේක් කරපු සිංදු දෙක?

එක ඇත්ත. මං හිතන්නේ රීමේක් කරපු ගීතවලට මිනිස්සු ගොඩක් කැමැතියි. අනික දැන් ඉන්න අය පැරැණි ගීත දන්නෙත් නැහැ. මෙමඟින් මෙහෙම සිංදුවක් තිබුණා කියලාවත් ඔවුන් දැනගනීවි.

* ජනප්‍රියවීම අඩු ප්‍රවණතාවයක් තියෙන හින්දද මේ රීමෙක් කළේ?

ඔබ කියන කතාවේ යම් සත්‍යයක් තියෙනවා. අලුත් සිංදුවක් එක පාරටම ජනප්‍රිය කරගන්න අමාරුයි. මගේම ගීත කරලා ඒවා මිනිසුන් අතරට යවන්න මං කාපු කට්ට දන්නේ මං විතරයි. හැබැයි රීමේක් එහෙම නැහැ. කරලා මාධ්‍ය ආයතනවලට බාර දෙන්න විතරයි තියෙන්නේ. ඉබේම ඒවා ජනප්‍රිය වෙනවා.

* ඔබ ඔය වහෙන් ඔරෝ කියන්නේ අලුත් සිංදුවක් ප්‍රමෝට් කරගන්න මුදල් වියදම් කරන්න ඕනෑ කියන එකනේ?

ඒක ඉතින් දන්න අය දන්නවා. නමුත් වියදම් නොකර අලුත් ගීත ජනප්‍රිය වන අවස්ථා තියෙනවා. ඒ ඒවා ගයන ගායක ගායිකාවන්ගේ වාසනා ගුණය මත.

* ඔබ කාගෙන් අහලද ආදරේ හිතෙනවා දැක්කම සහ රෑ දාවල් ගීත රීමේක් කළේ?

ඒ දෙකම චිත්‍රපට ගීත. එම චිත්‍රපටයන් නිෂ්පාදනය කරලා තියෙන්නේ නීල් රූපසිංහ මහත්මයා. මං ඔහුගෙන් අවසරය ගත්තා. සුපර් ස්ටාර් ඉන්න කාලේ ඉඳලා ඔහු මං ගැන දැනගෙන පැහැදීමකින් ඉඳලා තියෙන්නේ. නීල් මහත්මයා උදව් කළා මේ ගීත යළි ගයන්න මට ලබා දෙන්න. මමත් ඔහුගේ විශ්වාසය කඩ කළේ නැහැ.

* මේවා ගැයවාට පසු අන්තවත් චෝදනා එල්ල වන්න ඇති?

මොකද නැත්තේ. මට වටින් ගොඩින් බනිනවා කියලා ආරංචි වුණා. කවුරුවත් තවම මූණට නම් මුකුත් කිව්වේ නැහැ. හොඳම වැඩේ මේකයි. පසුගිය සිනමා ගී ප්‍රසංගයකදී මෙම ගීතය භාවිත කළා. මගේ හිතවතකු කියූ පරිදි මට බැන බැන හිටපු කිහිප දෙනෙකුත් එදා ඒ ගීතයට නැටුවලු.

* මේ ගීත දෙක රිඟින් ටෝන් දාලා කීයක් විතර හොයා ගත්තද?

රිඟිං ටෝන් ගැන මගේ පැහැදීමක් නැහැ. ඒ ආයතන දෙන ඩවුන්ලෝඩ් රිපෝට් සියල්ල වැරැදියි. ඔවුන් ඒ අයගේ වාසියට හැම දෙයක්ම තීරණය කර ගන්නවා. අන්තිමේ ගායකයා ලොස්ට්. මේ වන විට රිඟින් ටෝන්වල බහින කලාවක් තියෙන්නේ. ඒ හින්දා රිඟින් ටෝන්වලින් හම්බ කරන පරමාර්ථය අතහැර ගන්න ඕනෑ.

ද අලුත් සිංදු අහලා කාලයක ගියාට පසු නොදැනීම අමතක වෙනවා. මොකද ඒ?

එයට ප්‍රධානම හේතුව වචනවල කිසිම හැඟීම්බර බවක් නොතිබීම. මං ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. අසංග ප්‍රියමන්ත පීරිස්ගේ ගීයක් තියෙනවා නේද නුපුරුදු ඔබ දුටු පළමු දිනේ, සුපුරුදු ලෙස පෙනුණා කියලා. ඒක ලිව්වේ මගේ මාමා උපාලි ජයරත්න. එම ගීතය අහද්දී චිත්ත රූප මැවෙන අන්දම බලන්න. අද සිංදුවල එහෙම නැහැ. හරියට චුවිංගම් වගේ. රස නැති වුණාම එපා වෙනවා. පැරැණි ගීත මී කිරි වගේ කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ.

* වර්තමානය වන විට තාක්ෂණය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ගොළුවොත් ගීත කියන යුගයක් මේක. එහෙව් තත්ත්වයක් මත සැබෑ ගායකයෝ හුදකලා වෙලා නේද?

මං ඔය කතාවට මෙන්න මෙහෙම පිළිතුරක් දෙන්නම්. හැබැයි ටිකක් සැරයි.

* ඒකට කමක් නැහැ. සැර වුණත් ඇත්ත කියන්නකො?

සැබෑ ගායකයකුට ලයිව් සිං කරන්න පුළුවන් වෙන්න ඕනෑ. අද අපේ පරපුරේ ජනප්‍රිය ගායකයො ඉන්නවා ස්ටේජ් එකේ ලයිව් සිං කරගන්න බැහැ. නානවා. ඒ වැරැද්ද වහ ගන්න මයික් එකක් අල්ලගෙන පිටතින් සිංදුව ප්ලේ කරලා බොරුවට කට හොල්ලනවා. මේ තත්ත්වය හින්දා ඇත්ත ගායකයොත් නන්නත්තාර වෙලා. මට නම් මේ පල් සිංදු, වල් සිංදු කියන අයට වඩා බස් ගායකයෝ, මල් ගායකයෝ හොඳයි. මොකද ඔවුන්ට ස්ටේජ් එකට නැගලා ලයිව් සිංග් කරන්න පුළුවන්. ගීත කියන්න බැරි ගායකයෝ බිහිවීමේ මුල මේ නව තාක්ෂණය. එදා තිබුණු තාක්ෂණයත් එක්ක ගීත කියන්න බැරි අය ඉබේම හැලුණා. මොකද එක ටේක් එකකින් මුලු සිංදුවම කියන්න එපායැ.

* ඔබ මයිම් කරන්නෙම නැද්ද?

ප්‍රසංග වේදිකාවේ බාල මයික් තියෙනවාට මං ආස නැහැ. මට එවලෙ හිතුණොත් මයිම් කරන්න එතකොට කරනවා. නමුත් එහෙම නැතිනම් කොයි වෙලාවකවත් මං මයිම් කරන්නේ නැහැ ලයිව් කියනවා මිසක.

* ගීතයක් ජනප්‍රිය කරන්න මියුසික් වීඩියීවක් ඕනෑමද?

අද වන විට රූප රචනාවට මිනිස්සු පුරුදු වෙලා. ඉතින් වීඩියෝවක් නොකරම බැරි තත්ත්වෙකට ඇවිල්ලා. මටත් ඊට අනුගත වන්නට සිද්ධ වුණා.

* රෑ දවල් ගීතයේ වීඩියෝව හරිම අමුතුයි කියලා නරඹපු බොහෝ දෙනා කියනවා?

එය හරහා අපි මෝෂන් කන්ට්‍රෝල් කියන තාක්ෂණය මුල් වරට ලංකාවට ගෙනාවා. ලෝඩ් ඔෆ් ද රිංග්ස් වැනි චිත්‍රපටවලට භාවිතා කරලා තියෙන්නේ ඒ උපක්‍රමය. මෙම වීඩියෝව අධ්‍යක්ෂණය කළේ දුමින්ද අලහේන්ද්‍ර. විශ්ව කැමරාව මෙහෙය වූවා. මං මේ ගීතය රීමේක් කළේ කිසිදු සංගීත බණ්ඩයක් භාවිත නොකර කටින් විතරයි.

* රීමේක් කරපු ඊළඟ ගීත කවදා විතරද අපට අසන්නට ලැබෙන්නේ?

මං ඒ ගීත මොනවද කියලා දැන්ම එළි කරන්නේ නැහැ. ඉතාම ඉක්මනින් ඒවා අහන්න ලැබේවි.

* උදිතගේ පෞද්ගලික විස්තර මොනවද? පාසල, ගම් පළාත එහෙම?

මගේ ගම මොරටුව. මොරටුව වේල්ස් කුමාර විදුහලෙනුයි අධ්‍යාපනය ලැබුවේ. මොරටුමුල්ල ශ්‍රී බෝධි දහම් පාසලෙන් තමයි මං මුල් වරට ගායකයෙකු විදිහට කලඑළියට ආවෙ. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. පවුලේ අම්මයි තාත්තයි මල්ලිලා තුන් දෙනයි. මම දැනට තාත්තාගේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා ඉන්නවා.

* ඔබ වැනි ජනප්‍රිය තරුවකට පෙම්වතියක් නැහැ කියලා කියන්න බැහැ?

ඇත්තටම පෙම්වතියක් නැහැ. මිනිසකු විදිහට මං තවම අස්ථිරයි. ජීවිතේ ස්ථාවර වුණු දවසට යළි ඒ ගැන හිතනවා.

* යළි හිතනවා කියලා කිව්වේ කලින් පෙම්වතියක් හිටියද?

ඔව්. සුපර් ස්ටාර් යන්න කලින් හිටියා.

* ඇය අද වන විට යහළුවකු විදිහටවත් ඔබට කතා කරන්නේ නැද්ද?

ඒ ප්‍රශ්නයට මං ප්‍රශ්නාර්ථයකින්ම ඔබට පිළිතුරක් දෙනවා.