වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

මරියසෙල් සිහි වෙයි

සිහින නෙළුම් මල් පොකුණු පුරා ගීතය ඇසෙද්දී එය ගයන මරියසෙල් ගුණතිලකව නිබඳව සිහි වේ. ඒ මතක් වන සෑම වාරයක් පාසාම ඇයට මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
 

රෝහිණී දයාරත්න

දිවුලපිටිය

ඇන්ටන්ට දිගාසිරි

අල්ලපු ගෙදර චිත්‍රපටයෙන් සහාය අධ්‍යක්ෂවරයකු ලෙස සිනමාවට පිවිසි ඇන්ටන් ග්‍රෙගරි හැට හැත්තෑව දශකයේ සිංහල සිනමාවේ ජය ධජ නැං වූ නළු නිළි රැසකට පෙරමුණට පැමිණීමට තම දායකත්වය ලබා දුනි. කලාභූෂණ සම්මානයෙන් ද පිදුම් ලද එතුමා චිත්‍රපට පහක් අධ්‍යක්ෂණය කරමින් තම දක්ෂකම් පෙන්වන ලදී. ග්‍රෙගරිගේ ජීවිත කතාව අළලා ඇන්ටන් ග්‍රෙගරි සිනාමාලෝකනය නමින් පොතක් ද ඔහු එළි දැක් විය. අද වන විට ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් විවේකීව සිටින එතුමන්ට දීර්ඝායුෂ පතමි.
 

මල්ලිකා අබේසේකර

කටාන

ඉන්ද්‍රාණි නැතිව පාළුයි

ප්‍රසංග වේදිකාවට සුදු අසු පිට නැඟ පැමිණි ඉන්ද්‍රාණි පෙරේරා කාලෙකින් වේදිකාවේ නොදැකීම ශ්‍රාවක අප හදවතට පාළුවක් ගෙන දෙන්නෙකි.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ

කුමාරගේ සටන හොඳයි

සටන් අධ්‍යක්ෂ වසන්ත කුමාරවිලට,
මෑතකදී මා දුටු හොඳම සටන් අධ්‍යක්ෂවරයා ඔබයි. එය ඔබ රන්ජා චිත්‍රපටයන් මනාව පෙන්නුම් කළා.
 

දයානන්ද ද සිල්වා (චිත්‍ර ශිල්පී)

සීනිගම

හික්කඩුව

ස්වර්ණපාලි හොඳයි

ඓතිහාසික කතාවක් පසුබිම් කොට ගෙන කේ. බී. හේරත් රචනා කළ ස්වර්ණපාලි ටෙලි සිතුවම මට දැනෙන අන්දමට දෙරණ නාළිකාවේ විකාශය වන හොඳ ටෙලි සිතුවමකි. හිමාලි සිරිවර්ධන, සනත් විමලසිරි, බුද්ධදාස විතානාච්චි ඇතුළු නළු නිළියන්ගේ දක්ෂ රංගනය මුළු නාට්‍යම ඔපවත් කරයි.
 

ධර්මා ඒකනායක

මාතලේ

චතුරගේ
 

හඬ ලස්සනයි

නිවේදක චතුර අල්විස්ටයි මේ ප්‍රසාදය.

දෙරණ රූපවාහිනිය තුළින් දෙරණ අරුණ පුවත්පත් විස්තර වැඩසටහන ඉදිරිපත් කරන චතුර අල්විස් එම වැඩටහන තුළින් පුවත් විස්තරවලට වඩා වැඩි යමක් අප වෙත ළඟා කර දෙමින්, විනෝදාත්මකව, රසවත්ව, අර්ථවත්ව එය මෙහෙයවනු ලබන බවයි මගේ අදහස. එමෙන්ම ඔහුගේ ළඟන්නා සුළු ගායනය ද ඇගයීමට ලක් කළ යුතුය.
 

විමල් රණසිංහ

ග්‍රෑන්ඩ්පාස්

කොළඹ 14

රනා අගෙයි

බොළඳ ප්‍රේම කතාවක් ද නොවේ. රහස් පරීක්ෂක කතාවක් ද නොවේ. ත්‍රාසය භීතිය දනවන්නක් නොවුණ ද සැමට එක සේ නැරැඹිය හැකි සිත් ගන්නා සුළු හොඳ නිර්මාණයක් ලෙස රනා මම අගය කරමි.
 

කල්‍යාණ ජයනෙත්ති

මැටරඹ

උණවටුණ

S.M.S.

ප්‍රවේගය, ස්පන්දන, කල්පාන්තේ සිහිනයක්, ඇඩ්‍රස් නෑ වැනි චිත්‍රපට තිරගත වන තෙක් අපි මඟ බලාගෙන සිටින්නෙමු.
 

ඉසුරු

හැඳල

මෙම සිතිවිල්ල පහළ වූයේ ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍ය නැරැඹුවායින් අනතුරුවය. සාරංග මෙන්ඩිස් මහත්මයෝ ඔයාට හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක් කරන්න පුළුවන්. ඔබට ඒ හැකියාව තියෙනවා කියලා ගිනි අවි සහ ගිනි කෙළි හරහා ඔප්පු කළා.
 

නලින්

වැල්ලම්පිටිය

අතීතයේදී මල් ශාලාවක දැන්වීමක් නිසා කරුණාරත්න අබේසේකරයන්ගේ වැඩ තහනමක් ඇති කළා. ඒත් අද ටෙලි නාට්‍යවල අති නවීන පන්නයේ ගිනි අවි පෙන්වනවා. එදයි අදයි වෙනසක තරම.
 

සමන් ගාල්ලගේ

කැටපළ

ගුවන් විදුලි නිවේදකයින් ටිකක් ඉංග්‍රීසි වචන දාලා කතා කළාට කමක් නැහැ කියලා මං හිතනව. මොකද දැන් සාමාන්‍ය මනුස්සයින් පවා කතා කරද්දී ඉංග්‍රීසි වචනයක් දෙකක් පාවිච්චි කරන නිසා.
 

පියල්

පානදුර

සිටි එෆ් එම් හිත මිතුරු සුළඟ වැඩසටහන මරු. අපට එමඟින් ලබා දෙන ගීත ද හරිම රසවත්. අන්න ආදර්ශවත් වැඩසටහන්.
 

නිලන්ත

ලක්ෂාන්

නදීක

ගම්පහ

සමසහර ටෙලි නාට්‍යවල ගැහැනු ළමයි අඬවනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. ටෙලි නාට්‍යයක් ජනප්‍රිය කරන්න නම් ගැහැනු ළමයි අඬනවා පෙන්වන්නම ඕනෙම නැහැනෙ.
 

ප්‍රනීත් පෙරේරා

මොරටුව

සුරාජ් මාපා අයියේ, මට හිතෙන විදිහට මකුළු දැල් ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් ඔබට සම්මානයක් ලැබෙනු නිසැකයි.
 

හර්ස විරාජ්

මාකඳුර

අප නිළි රැජන මාලිනී ෆොන්සේකා රඟන චරිත තුළින් ඇය දිනා ගන්නා ගෞරවාදරය ඉමහත්ය. මේ දිනවල විකාශය වන රනා ටෙලි නාට්‍යයේ ඇය කරන චරිතය ද එවැන්නකි. එහි මාලිනී දිරිය මවකගේ චරිතය රඟයි. එමඟින් ඇය නැවතත් අපේ ගෞරවාදරයට පාත්‍ර විය.
 

අනුර ජයමාන්න

කඩවත

ආශා එදිරිසිංහ අදටත් හෙටටත් මතුවටත් අපේ ජනප්‍රිය නිළියයි.
 

ගම්ලත්

පාදුක්ක

කොතරම් සිංදු ඇහුණත් සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නායක අජිත් මුතුකුමාරණගේ සිංදුවක් ඇහැව්වාම මට ලැබෙන වින්දනය ගොඩක් වැඩියි. අජිත් අයියා සතු මනුස්සකම, ආදරය ඒ ගීතවල තියෙනවා කියලා මට හිතෙනවා. අජිත් තමයි දකුණේ සුපර් ස්ටාර්.
 

දිලුක

මොණරාගල

ශේෂද්‍රි ප්‍රියසාද්, ඩිනක්ෂි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් යන සොයුරියන් තිදෙනා එකම නිර්මාණයකින් දකින්නට ආසයි.
 

ප්‍රසාදි

රත්නපුර

පුංචි වලව්ව ටෙලි සිතුවමේ තිලක් කුමාර රත්නායක රඟන චරිතයේ අස්වාභාවික හැසිරීම් නිසා තිලක්ගේ රංගනය මට සිතෙන හැටියට යටපත්ව ඇත. ඔහු මීට ප්‍රථම රඟපෑ ඒකාංගික ටෙලි නාට්‍යවල පවා නිරූපණය කළ චරිත අපට අදටත් මතකය. මෙතුළින් ද තම සොභාවික රංගනයක් ඉදිරිපත් කළා නම් ඉතාමත් සාර්ථක වන්නට තිබිණි.
 

එන්. කුමාරිහාමි

වැලිමඩ

ළමා නිළියන් දෙපොලක් වන සරලා කාරියවසම් සහ ළමා නිළි සඳලි වැලිකන්න පිළිබඳ කිසිදු තෙරතුරක් මෑතකදී වර්තා වූයේ නැත. එදා ළමා නිළියන් වුව ද අද ඔවුන් වැඩිහිටියන්ව ඇති වග සිතමි.
 

ෆාතිමා

වැලිගම

විජය කුමාරතුංග අප අතරින් වයෝ වී වසර විසි හයක් ගත විය. එහෙත් ඔහු පිළිබඳ මතකයන් කෙදිනකවත් බැහැර යන්නේ නැහැ. විජයට වෙඩි තබා ඝාතනය කළ තැන සමරු ඵලකයක් හදන්නේ නම් ඉතාමත් වටියි.
 

අමේෂි කවීෂා

කොළඹ

නළු නිළියන්ගේ උඬඟුකම සරසවිය පත්තරේ උපන් දින තීරයෙන් මනාව වටහා ගත හැකිය. එහි උපන් දිනය ඇති නළු නිළියන් බොහෝ දෙනෙකු දුරකතන අංක සටහන් කරන්නේ නැත. එයින් තේරෙන්නේ උපන් දිනය දවසටවත් සුබ පතනවාට ඔවුන් අකැමැති බවය.
 

ශෂී

ලිහිණියාව

මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන පාරමී ටෙලි සිතුවම හුඟක් ලස්සනයි. ඒත් එය විකාශය වෙන්නේ උදෑසන 11.30 ටයි. එම ගුවන් කාලයේදී බොහෝ දෙනා නිවෙස්වල නොමැති බැවින් හැමෝටම පාරමී බලන්නට නොහැකිය. කාටත් ගැළපෙන වෙලාවක එය පෙන්වනවා නම් ගොඩක් හොඳයි.
 

ලක්මාල්

අකුරැස්ස

කාලයක් රැප් ගීත රැල්ලක් තිබුණා. අද වන කොට ඒ ගීත ඇසෙන්නෙම නැති තරම්. ඒ ගීත යළිත් නිර්මාණය වෙනවා නම් දැන් ඇති විරහ ගීත රැල්ල යටපත් වනු ඇති.
 

මිහිර

අලුත් වීදිය

ඔබ එවන දහසකුත් එකක් ප්‍රතිචාරයන් අතරින් තේරා ගත් කිහිපයක් මෙලෙස ප්‍රතිචාර පිටුවෙහි සනිටුහන් වේ. කෙටි පණිවුඩ අයුරින් ප්‍රතිචාර එවන විට එහි අග ඔබේ නම සහ ප්‍රදේශය සටහන් කරන්නට යැයි නැවතත් අප මතක් කරන්නෙමු. ප්‍රතිචාර ක්ෂණිකව එවන්න 0752805047 අංකයට.

ප්‍රතිචාර, ‘සරසවිය’
ලේක්හවුස්, කොළඹ 10

මේ ලිපිනය තැපැල් හෝ සටහන් පත් වෙනුවෙනි.