වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




හොලිවුඩ් සිනමාව උඩු යටිකුරු කළ යක්දෙස්සා ‘දි එක්සෝසිස්ට්’

හොලිවුඩ් සිනමාව උඩු යටිකුරු කළ යක්දෙස්සා ‘දි එක්සෝසිස්ට්’

උතුරු ඉරාකයේ ගිනිදන වැලිකතර මැද, කඳුකර ඉසව්වක, කහ පැහැති දූවිලි වලාවන්ගෙන් වට වුණ, පුරා විද්‍යා කැනීම් වැඩ බිමක් හරහා දිව යන පතල් කම්කරුවෙකි. කෙසඟ පෙනුක් ඇති ඔහු කඩිනමින් ලඟා වූයේ කැනීම් කටයුතු නිරීක්ෂණය කරමින් සිටි සුදු ජාතික වයස්ගත පුද්ගලයෙකු වෙතයි. ඔහුට යමක් පැවසූ කම්කරුවා වහ වහා ඔහු කැටුව යන්නේ ඊට සුළු මොහොතකට කලින් ගොඩ ගත් පුරාවස්තු කීපයක් පෙන්වීමටයි.

වෘත්තීය පුරා විද්‍යා ගවේශකයෙකු මෙන්ම කතෝලික පූජකවරයෙකු වූ ලැන්කෙස්ටර් මෙරින් නමැති ඔහු එම පුරා වස්තු අතර තිබූ සුවිශේෂ යමක් අතට ගනිත්ම ඔහුගේ මුළු සිරුරම විදුලි සැරයක් වැදුනාක් මෙන් ගැහෙන්නට පටන් ගනියි. අවට පරිසරය ද හදිසියේම වෙනස් වූ සෙයක් ඔහුට හැඟී යන්නට වෙයි.

එය තම ගමන් මල්ලේ දමාගත් ඔහු කඩිනමින් ළඟා වන්නේ නගරයේ ඔහුගේ කාර්යාලය වෙතයි. එහිදී යළිත් ඉහත කී පුරා වස්තුව හෙවත් විකෘති අමනුෂ්‍ය රුවක කඳින් වෙන්ව ගිය හිස කොටස අතට ගත් විගසම පෙර මෙන් ඔහුගේ අත පුපුරු ගසන්න වූවා පමණක් නොව මෙතෙක් වේලා දෙපසට වැනෙමින් තිබුණු පැරණි බිත්ති ඔරලෝසුවේ පෙන්ඩියුලමද එක්වරම නතර වෙයි.

ක්‍රිස් මැක්නීල්, ප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට නිළියකි. දූවරු දෙදෙනෙකුගේ මවක් වූ ඇගේ බාල දියණිය රේගන් නමැති 12 හැවිරිදි වියේ පසුවන සුකොමල දැරියකි. කාර්යබහුල නිළියක් වූ ක්‍රිස්ගේ සුවිසල් නිවසෙහි එදා රාත්‍රියේ ඈ රඟපාන නවතම චිත්‍රපටයේ ශිල්පීන් උදෙසා ප්‍රීති සාදයක් පැවැත්වෙයි.

හදිසියේම පහත මාලයේ විසිත්ත කාමරයේ අමුත්තන් අතරට රාත්‍රී නිදන ඇඳුම පිටින්ම පැමිණෙන රේගන් අවට සිටින සියල්ලෝම විමතියට පත් කරවමින් කිසිදු පැකිළීමකින් තොරව ආලින්දය මැද හිටිවනම මුත්‍රා කරන්නට පටන් ගනී. 1973 වසරේ හොලිවුඩ් සිනමා වංශ කතාවේ කැපී පෙනෙන ආන්දෝලනයක් සිදු කළ ‘දි එක්සෝසිස්ට්’ සිනමාපටයේ ආරම්භක දර්ශනයන් පෙළ ගැසෙන්නේ ඒ අයුරිනි.

මධ්‍යකාලීන හොලිවුඩ් සිනමාව ප්‍රභේද රාශියක චිත්‍රපට වශයෙන් වර්ගීකරණය වී තිබිණ. එයිනුත් අද්භූත හෙවත් භයානක රසය කුළුගැන්වුණ චිත්‍රපටවලට වැඩිහිටි ප්‍රේක්ෂක පිරිස් බොහෝ සෙයින් ආකර්ශණය වී සිටින බව අවිවාදිත කරුණකි. අයිරිෂ් ජාතික ලේඛකයෙකු වන බ්‍රෑම් ස්ටෝකර් විසින් රචිත ‘ඩ්‍රැකියුලා’ පුරාවෘතය පාදක කොට ගනිමින් බ්‍රිතාන්‍යයේ ‘හැමර්’ චිත්‍රපට සමාගම විසින් හොරර් ඔෆ් ඩ්‍රැකියුලා, බ්‍රයිඩ්ස් ඔෆ් ඩ්‍රැකියුලා වැනි චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කොට තිරයට ගෙන එන්නේ මෙම රසික පිරිස ඉලක්ක කොට ගනිමිනි.

මිනිස් ලේ උරා බොන, මිනී පෙට්ටියක් තුළ සයනය කරන, වෙඩි තබා හෝ විනාශ කළ නෙහැකි අමරණීය ආත්මයක් හිමි අපූර්ව පුද්ගලයෙකු වන ‘ඩ්‍රැකියුලා’ නම් චරිතය ලෝ පුරා සිනමා රසිකයින්ගේ නොමඳ ජනප්‍රියත්වයට පත් වන්නේ එම චිත්‍රපට මාලාව හරහාය.

ඩ්‍රැකියුලා චිත්‍රපට නිෂ්පාදනය බ්‍රිතාන්‍යයෙන් නොනැවතී ඇමෙරිකාවටත් ඉනික්බිති ජර්මනිය හා ඉතාලියටත් ව්‍යාප්තව යන්නට පටන් ගත්තේ ලැව් ගින්නක් පරිද්දෙනි. එහෙත් ‘ඕනෑම දෙයක් ඕනෑවටත් වඩා ඕනෑම නෑ’ යැයි කියන්නා සේ ඩ්‍රැකියුලා චිත්‍රපටවලටත් කන කොකා හඬන්නට පටන් ගත්තේ ‘හැමර්’ චිත්‍රපට සමාගම වැනි දැවැන්ත ව්‍යපාර බංකොලොත්භාවයට පත් කර වූ ආර්ථික අවපාතයේ බල මහිමයෙනි.

එම චිත්‍රපට මාලාව පුරා යම්කිසි ඒකාකාරී ස්වභාවයක් දක්නට ලැබීම ප්‍රේක්ෂකයින් උදාසීනභාවයට පත් කිරීමට තවත් හේතුවක් විය. සමහර අධ්‍යක්ෂවරු සත්‍ය කතා පුවත් ඇසුරෙන් චිත්‍රපට නිර්මාණයට නැඹුරුවක් දක්වන්නට වූයේ එහෙයිනි. ‘දි එක්සොසිස්ට්’ චිත්‍රපටය බිහි වුණේ එවැනි පසුබිමක් යටතේයි.

1949 අමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි කුඩා නගරයක් වූ කොටේජ් සිටි හි විසූ භූතාවේශයකට නතු වූ කුඩා දරුවෙක් සහ කතෝලික පූජකවරයෙකු අතර සිදු වූ ක්‍රියාදාමයක් පාදක කර ගනිමින් 1971 දී විලියම් පීටර් බ්ලැටී විසින් ලියැවුණු ග්‍රන්ථයක් ඇසුරින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ ‘වෝනර් බ්‍රදර්ස්’ චිත්‍රපට සමාගම විසිනි.

සැබෑ කතා පුවතට සම්බන්ධ වූ වොල්ටර් පැලොරාන් නම් වූ පූජකවරයා 2005 වසරේදී මිය යන තෙක්ම කියා සිටියේ එම භූතාවේශයට ගොදුරු වූ පිරිමි දරුවා කිසි විටෙකත් චිත්‍රපටය් දැක්වෙන පරිදි, අස්වාභාවික ලෙස හැසිරීම, කටහඬ වෙනස් කරමින් විවිධ භාෂාවලින් කතා කිරීම, ශුද්ධ වූ ද්‍රව්‍යයන්ට නිගරු කිරීම, කොල පාට වමනය දැමීම සහ ප්‍රසිද්ධියේ මුත්‍රා කිරීම වැනි ක්‍රියා සිදු නොකළ බවයි. එහෙත් ඉහත සඳහන් සියලු කාරණා තිර නාටකයට අනුව චිත්‍රපටයේ ‘රේගන්’ ලෙස රඟ පෑ දොළොස් වියැති කුඩා දැරිය විසින් අති සාර්ථක ලෙස රංගනයෙන් ඉදිරිපත් කර තිබිණි.

එම සුවිශේෂ චරිතය සඳහා දැරියන් කීප දෙනෙකුම වෝනර් චිත්‍රපට සමාගමේ විධායක නිෂ්පාදක නොයෙල් මාර්ෂල් හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ‘විලී වොන්කා ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි’ හි රඟපෑ ඩෙනිස් නිකර්සන් ද ‘ෆැමිලි අෆෙයාර්’හි රඟපෑ ඇනිසා ජොන්ස් ද තිර පරීක්ෂණවලින් අසමත් වූ හෙයින්, ‘ද වේ වී ලිව්’ නම් චිත්‍රපටයේ වැඩි ප්‍රසිද්ධියක් නොලත් ළමා නිළියක වූ ‘ලින්ඩා බ්ලෙයාර්’ රේගන් ගේ චරිතය සඳහා තෝරා ගන්නා ලදී. මෙරින් පියතුමාගේ චරිතයට මාලන් බ්‍රැන්ඩෝ සහ ඩේමියන් පියතුමා ලෙස ජැක් නිකල්සන් ද යෝජනා වූ නමුදු තිර රචක පිටර් බ්ලැටී විසින් ඩේමියන් පියතුමාගේ චරිතයට තෝරා ගත්තේ ස්ටේසී කීච් නම් නළුවායි. එහෙත් වෝනර් බ්‍රදර්ස් සමාගම් කීච් වෙනුවට ජේසන් මිලර් ආදේශ කර ගන්නා ලදී.

මෙරින් පියතුමා ලෙස මැක්ස් ෆොන් සිඩෝ රඟපෑ අතර දැරියගේ මව වූ ක්‍රිස්ටීන්ගේ චරිතයට සුප්‍රකට නිළියන් දෙදෙනෙකු වන ජේන් ෆොන්ඩා සහ ෂර්ලි මැක්ලේන් යෝජනා වූ නමුදු අවසානයේ ක්‍රිස් ලෙස රඟපෑවේ එලන් බර්න්ස්ටයින්ය. සෙස චරිත නිරූපනයට එක් වුණේ ලී ජේකබ්, කිටී වින්, අයිලින් ඩයට්ස්, ජැක් මැක්ගොවන්, විලියම් ඔ’මැලේ පියතුමා සහ රොබට් සිමන්ඩ්ස් යන නළු නිළි පිරිසයි. දැරියට ආව්ශ වූ භූතයාගේ හඬ සැපයුවේ මර්සිඩීස් මැක් කේම්බ්‍රිජ් විසිනි. තිර කතා රචක විලියම් පීටර් බ්ලැටී ද චිත්‍රපටයේ සුළු ජනිකාවක පෙනී සිටීම විශේෂත්වයකි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා ජෝන් බූමන් සහ මයික් නිකොලොස් ගේ නම් මුලින් යෝජනා වූ අතර පීටර් බ්ලැටීගේ බලවත් වුවමනාව මත අධ්‍යක්ෂණය පැවරුණේ විලියම් ෆ්‍රීඩ්කින් නමැති සම්මානනීය අධ්‍යක්ෂවරයා වෙතයි. ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන් ඔහු ලබා තිබූ ප්‍රසිද්ධිය එයට ඉවහල් විය.

ප්‍රධාන රූගත කිරීම් ඇරැඹුණේ සිරියානු දේශ සීමාව අසල ඉරාකයේ සින්ජා නගරය ආශ්‍රිතවයි. චිත්‍රපටය ආරම්භයේ දැක්වෙන පුරා විද්‍යා කැනීම් වැඩ බිම ‘නයින් වේ’ පළාතේ ඓතිහාසික ‘හට්‍රා’ නගරයේ වූ සැබෑ කැනීම් ප්‍රදේශයකි. භූතාවේශයට පත් වෙන දැරියගේ නිවස සහ ඇගේ නිදන කාමරය ප්‍රති නිර්මාණය කෙරුණේ මෑන්හැට්න් හි ‘සෙකෝ’ චිත්‍රාගාරය තුළයි. භූතාවේශය උත්සන්න වූ අවස්ථාවලදී ඇගේ සහ පියතුමාගේ මුවින් පිටවන හුමාලය සැබෑ අයුරින්ම රූගත වන පරිදි කාමරයේ උෂ්නත්වය දැඩි ලෙස අවම කිරීම සඳහා අධි ශීතකරණ යන්ත්‍ර යොදා ගන්නා ලදි.

තුනී නයිටියක් පමණක් ඇඟලා සිටි ලින්ඩා රූගත කිරීම් අතරතුර වරෙක කෑ ගැසුවේ දැඩි ශීතල උහුලාගත නොහැකිවයි. වොෂින්ටන් නගරයේ ජෝජ්ටවුන් හි එම් වීදියේදී රූගත කෙරුණු භූතයාගේ ප්‍රහාරයට ලක් වී තරප්පුවෙන් වැටී මිය යන ඩේමියන් පියතුමාගේ ජවනිකාවේදී ඔහු වෙනුවට පෙනී සිටි ‘ස්ටන්ට්’ ශිල්පියාට දෙවරක් තරප්පුවෙන් පහළට පෙරළීමට සිදු වූ අතර ඔහුගේ ආරක්ෂාව පිණිස තරප්පු පෙළ අඟල් 1/2 ක් ඝනකමැති රබර් ෂීට් යොදා ආවරණය කරන්නට ද සිදු විය. ඩේමියන් පියතුමාගේ කාමරය ලෙස භාවිත කෙරුණේ නිව් මෝත් හෝල් හි තෝමස් එම් කිං පියතුමාගේ කාමරයයි. ඩාල්ග්‍රන් චැපල් හි පිහිටි කන්‍යා මරියතුමීගේ විකෘති කරන ලද පිළිමය රැගත් දර්ශනය රූගත කෙරුණේ ෆෝඩ්හැම් විශ්ව විද්‍යාලයේ සභාපතිතුමාගේ කාර්යාලය තුළදීයි.

චිත්‍රපටයට සහභාගි වූ නළු නිළියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ විශ්වාසය වූයේ ඔවුන් සියලු දෙනාම යම්කිසි ශාපයකට ලක් වූ බවයි. රූගත කිරීම් අතරතුර යම්කිසි අනපේක්ෂිත දෑ සිදු වූ බව රචක පීටර් බ්ලැටී ද වරෙක පිළිගත්තේය. චිත්‍රාගාරයේ ඇති වූ ගින්නකින් විනාශ වූ රේගන් දැරියගේ නිදන කාමරය නැවත ප්‍රතිනිර්මාණය කිරිමට සිදු වූ අතර පූජකවරයකු ගෙන්වා කීප වතාවක්ම පිරිස වෙනුවෙන් යාඥා කොට සෙත් පැතීමටත් සිදු වූයේ ඉන් අනතුරුවයි. ලින්ඩා විසින් එල්ල කරන ලද පහරකින් ඇගේ මව ලෙස රඟපෑ එලන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා යොමු වුණි.

අයිරිෂ් ජාතික නළු ජැක් මැක්ගොවර්න් ඔහුගේ දර්ශන රූගත කිරීම් හමාර වී දින කීපයකින් හදිසියේ වැළඳුන ඉන්ෆ්ලුවැන්සා රෝගයෙන් මරුමුවට පත්වීමෙන් සිදු වුණේ ඇතැමුන්ගේ සැක සංකා තහවුරුවීමයි. 1972 අගෝස්තු 14 දින ආරම්භ කොට දින 85 කින් අවසන් කිරීමට බලාපොරොත්තු වූ රූගත කිරීම් දින 224 ක් දක්වා දීර්ඝ කාලයක් පුරා පැවතීමට මෙම කරුණු කාරණා ද බලපෑවේය.

සුප්‍රකට සංගීතඥ ලාලෝ ෂිෆ්රින් ගේ සංගීත නිර්මාණය අධ්‍යක්ෂක ෆ්‍රීඩ්කින් විසින් ප්‍රතික්ෂේප කළේ එය අසන ප්‍රේක්ෂකයින් භීතියෙන් මුසපත් වෙතැයි අදහස් කළ හෙයිනි. ඒ අනුව සංගීතකරුවන් තිදෙනෙකුගේ දායකත්වයෙන් බිහි වූ සංගීත නිර්මාණයක් චිත්‍රපටයට ඇතුළත් කෙරුණි. ඒ අතුරින් අතිශය ජනප්‍රියත්වයට පත් වූයේ මයික් ඕල්ඩ්ෆීල්ඩ්ගේ ‘ටියු බියුලර් බෙල්ස්’ නම් සංගීත කණ්ඩයයි. එය පසුකාලීනව නිෂ්පාදනය වූ වෙනත් අද්භූත චිත්‍රපට කීපයකත් පසුබිම් සංගීතයක් ලෙස අසන්නට ලැබුණි. දායක වුණු අනෙක් සංගීත ශිල්පීන් දෙදෙනා වන්නේ ජැක් නිට්ෂේ සහ ස්ටීව් බෝඩෙකර්ය.

චිත්‍රපටයේ එන භීතිය දනවන දසුනක් වූ ‘මකුළු ගමන’ හෙවත් බිත්තිය සහ සිවිලිම දිගේ දණගාමින් පැමිණීමේ ජවනිකාව ඉවත් කිරීම අධ්‍යක්ෂක ෆ්‍රීඩ්කින් අදහස් කළේ ඒ සඳහා යොදාගත් ලණු පොටවල් යාන්තමින් දිස් වූ නිසයි. එහෙත් ‘එක්සෝසිස්ට්’ 25 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ ඩී. වී. ඩී. තැටියේ ඩිජිටල් පරිඝණක ආධාරයෙන් ප්‍රතිනිර්මාණය කරන ලද ‘මකුළු ගමන’ ද ඇතුළත්ව ස්ටීරියෝ ඩොල්බි ක්‍රමයට ශබ්ද පරිපාලනය කරන ලද පිටපතක් වෙළෙඳ පොලට නිකුත් කරන ලද්දේ 2000 වසරේදීයි.

‘දි එක්සෝසිස්ට්’ චිත්‍රපටය ප්‍රසිද්ධ සිනමා ශාලා වෙත මුදා හැරුණේ 1973 දෙසැම්බර් 26 වෙනිදා සිටයි. එය තිරගත වීමටත් පෙර මහත් ආන්දෝලනයන්ට තුඩු දුන් නිසා අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර වානිජමය අංශයෙන් ද අති සාර්ථකත්වයක් ලැබූ චිත්‍රපටයක් වුණා. විවිධ සංස්කෘතික සංවිධාන මඟින් එල්ල කරන ලද විරෝධතා හේතු කොට ගෙන නළු නිළි සහ කාර්මික පිරිස වෙත නොයෙකුත් තර්ජන එල්ල වන්නට පටන් ගත් හෙයින් චිත්‍රපටය තිරගත වීමෙන් පසු මාස 6 ක් තිස්සේ ලින්ඩා බ්ලෙයාර් පසුපස ආරක්ෂක නිලධාරීන් යෙදවීමට වෝනර් බ්‍රදර්ස් සමාගමට සිදු විය. මෙම චිත්‍රපටයේ අති දක්ෂ ලෙස රඟපෑවද ලින්ඩා බ්ලෙයර්ට අත් වූයේ නරක කළ දසාවකි. ඇය ඉන් පසු රඟපෑවේ අවර ගණයේ චිත්‍රපට කිහිපයකය. එමෙන්ම ඇය තදින් මත් ද්‍රව්‍ය භාවිතයට ද ඇබ්බැහි වූවාය.

චිත්‍රපටය තිරගතවීමෙන් අනතුරුව කොතෙකුත් විවේචන එල්ල වූවත් අද්භූත හෝ භයානක සිනමාව උඩු යටිකුරු කළ ‘දි එක්සෝසිස්ට්’ එවකට සිනමා රසිකයින් හට පෙර නොදුටු විරූ අපූර්ව ගනයේ අත්දැකීමක් ලබා දුන් බව අවිවාදිත කරුණකි. 1974 වසරේ ආදායම් වාර්තා අතර දෙවැනි තැනට පත් වෙමින් ඩොලර් මිලියන 66.3 ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ගත් චිත්‍රපටය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ලබා ගත් ආදායම ඩොලර් 232,671,011 ක මුදලකි. අවුරුදු 18 ට වැඩි ප්‍රේක්ෂකයින් සඳහා පමණක් අනුමතිය ලත් චිත්‍රපටය 2001 වසරේදී විශේෂ අවසරයක් මත බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය විය.

හොලිවුඩ් සිනමාවේ අද්භූත සිනමා කාණ්ඩයේ පැහැදිලි වෙනසක් සිටුහන් කළ ‘දි එක්සෝසිස්ට්’ 1973 ඇකඩමි සම්මාන 10 ක් සඳහා යෝජනා වුණ. හොඳම චිත්‍රපටය, හොඳම නිළිය, හොඳම සහාය නිළිය, හොඳම සහාය නළුවා, හොඳම අධ්‍යක්ෂක, හොඳම තිර රචනය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය, නිෂ්පාදන සැලසුම හා ශබ්ද පරිපාලනය යන අංශ එයට ඇතුළත් වුණු අතර හොඳම තිර නාටකය සඳහා රචක විළියම් පීටර් බ්ලැටී සහ හොඳම ශබ්ද පරිපාලනය වෙනුවෙන් රොබට් ක්නඩ්සන් සහ ක්‍රිස් නිව්මන් ඇකඩමි සම්මාන හිමි කර ගනු ලැබුවා. 1973 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී අංශ 7 ක් සඳහා නාම යෝජනා වූ අතර වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානය විලියම් ෆ්‍රීඩ්කින්, හොඳම සහාය නිළිය හිමි සම්මානය ලින්ඩා බ්ලෙයාර් සහ හොඳම තිර නාටකය වෙනුවෙන් විලියම් පීටර් බ්ලැටි ද සම්මාන දිනා ගන්නා ලදී.

චිත්‍රපටය තිරගත වී සුලු කාලයක් තුළම අනුකරණ සහ කොපි චිත්‍රපට පෝලිමේ නිපද වෙන්නට පටන් ගත් අතර, 1977 දී ජෝන් බූමන් අධ්‍යක්ෂණය කොට ලින්ඩා බ්ලෙයාර් රංගනයෙන් දායක වූ ‘දි එක්සෝසිට් – 2’ සහ 3 වෙනි කොටසට අමතරව 1974 ඉතාලියේදී නිපද වූ ‘බියොන්ඩ් ද ඩෝ’ තුර්කි නිෂ්පාදනයක් වන ‘සේටන්’ ජර්මනියේ නිපද වූ ‘මග්දලීනා’ 1976 බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් වූ ‘ද ඩෙවල් විල් ඉන්’ සහ ‘ඇබී’ ද එක්සෝසිස්ට් කොපි කර නිෂ්පාදනය වූ චිත්‍රපට ගොන්නට එක් වුණා. එහෙත් එම චිත්‍රපටවලින් වැඩි ප්‍රමාණයක් ‘එක්සෝසිස්ට්’ චිත්‍රපටය අමු අමුවේම කොපි කරමින් හැදූ ‘කාබන් කොපි’ බවට පත් වූයේ ‘ඔර්ජිනල්’ චිත්‍රපටය ලබාගත් ජනප්‍රියත්වයෙන් අයථා වාණිජමය වාසි ලබා ගැනීමට ඇතැමුන් පෙළඹුණු නිසාවෙනි.

එදා හොලිවුඩ් සිනමාව උඩු යටිකුරු කරමින් සිනමා ලෝලීන්ගේ හදත් තුළ ඇවිල වූ භීතියේ තරම කෙතෙක් ද යන්නට හොඳම උදාහරණය වන්නේ, ඊට වසර 30 ක් ගත වූ පසුවත් 2004 වසරේදී ‘එක්සෝසිස්ට් ද බිගිනින්’ යනුවෙන් තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය වී කරළියට පැමිණීමයි.

‘ඩ්‍රැකියුලා’ චිත්‍රපට පිළිබඳ කතා මාලාව අදින් අවසන් වන අතර මෙතෙක් කල් අප හා රැඳී සිටි රසික ඔබ සැමට ‘සරසවිය’ වෙනුවෙන් අපගේ ප්‍රණාමය මෙයින් පුද කරමු.