වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




පුබුදු අයියා පිටි ගෝනියක් වගේ

පුබුදු අයියා පිටි ගෝනියක් වගේ

භවාන්තරණයේ කුසලතා පිරි හඳුන්වා දීම
රශ්මි රූත් අබේකෝන්

* මාරිට සෑහෙන්න ප්‍රශ්න නේද?

හ්ම්ම් . . .

* තව කොච්චර කල් එයා මෙහෙම විඳවනවද?

වැඩි කාලයක් මාරි මේ විදිහට ඉන්නේ නැහැ. ළඟදීම එයා පරිණත කෙනෙක් විදිහට හිතන්න පටන් ගනීවි.

* මාරිට පණ පොවන්න ලේසි වුණාද?

ඔව්. මාරිව මට හිමි වෙද්දී අරුණ ජයවර්ධන මහත්මයාගේ සුළඟට එන්න කියන්න ටෙලි ෆිල්ම් එකේ රඟපාලා රංගනය පිළිබඳ පුංචි හෝ අත්දැකීමක් ලබලයි මං හිටියේ. පිටපත කියවලා මාරිට ඕනෑ ගතිගුණ මවාගෙන මං එහි රඟපෑවා.

* මාරි ජීවත්වන භවාන්තර නාට්‍යයේ අධ්‍යක්ෂ රංග බණ්ඩාරනායක ඔබට මොන වගේ සහයක් ද දුන්නේ?

ඇත්තටම ඒ ගැන කියන්න වචන නැහැ. රංග අයියා මාරිගෙ චරිතයට කෙනෙක්ව හොය හොය ඉඳලා. ඒ වෙලාවෙයි මාව ඔහු පත්තරේක කවර්පේජ් එකකින් දැකලා තියෙන්නේ. කවරේ ඡායාරූප ශිල්පියාට කතා කරලා ඔහු මාර්ගයෙන් මාව සම්බන්ධ කරගෙන මාරි ගැන කිව්වා. ඒ කතා කළ මොහොතේ ඉඳලා අද දක්වා රංග අයියා පුදුම විදියට සහයක් මට මාරිව නිරූපණය කරන්න ලබා දුන්නා.

* පුංචි තිරයට මාරි වුණාට ඔබට ඇත්ත නමකුත් තියෙනවනේ. දැන් ඒක කියන්න වෙලාව.

මම රශ්මි රූත් අබේකෝන්.

* රශ්ම් නිළියක් විතරක් නෙවෙයි. නිවේදිකාවක් ලෙසින් ද අප හමුවට එනවා නේද?

ඔව්.

* ඒ ගැනත් කියමු?

රංගනයටයි නිවේදනයටයි අවස්ථාව ලැබුණේ එකම කාලයේ. මං කාලයක් බුදවත්ත සර් ගාව නර්ථන හැදෑරුවා. එතෙන්දි ගයාන් ශ්‍රීමාල් අයියව මුණ ගැසුණා. ඔහු මාව සිරසට හඳුන්වා දුන්නා. එම නාලිකාවේ සුබාසිරි සහ අයි ස්ටයිල් කියන වැඩසටහන තමයි මං මෙහෙය වන්නේ.

* එම වැඩසටහන් ඔබ නිවේදනය කරද්දී පෙනෙන කාරණයක් තමයි ඔබට ඇතැම් සිංහල වචන හරියාකාරව කියාගන්න බැහැ කියන එක. ඇයි එහෙම වුණේ?

දැන් හොඳයි. ඉස්සර මට සමහරක් සිංහල වචන කියන්නම බැහැ. ඒ වගේම ‘හ’ ශබ්ද කටින් පිට වුණෙත් නැහැ. ඒ මං ටිකක් බටහිර පන්නයට හැදිච්ච කෙනෙක් නිසා වෙන්න ඇති. කොහොම හරි වැඩ සටහන්වල නිෂ්පාදකවරුන්ගේ සහයෙන් දැන් ටිකක් හොඳට සිංහල කතා කරනවා.

* රඟපාද්දී ඒ ගැටළුව ආවේ නැතිද?

මං අර කලින් කිව්වා වගේ දැන් ටිකක් සිංහල වචන හුරු නිසා හරි. ඒක නිසා රංගනයට ඒ ගැටළුව නැහැ.

* භවාන්තරවලින් පසුව ඔබට රංගනය සඳහා අරාධනා ලැබුණාද?

මට නිර්මාණ කිහිපයකටම කතා කළ නමුත් නොවැම්බර්වල මගේ CIMA එක්සෑම් එක තියෙනවා. එය ඉවර වෙනකම් මුකුත්ම කරන්න විදිහක් නැහැ.

* අනාගතයේ ව්‍යාපාරික අංශයට යොමු වන්නද හිතාගෙන ඉන්නේ?

එහෙම හිතාගෙන තමයි ඉගෙන ගන්නේ.

* එතකොට කලාව?

කලාවත් කරනවා.

* රංගනය නිවේදනය ගැන වැඩිපුර හදාරන්න අදහසක් නැතිද?

ඇත්තටම ඒ ගැන ඉගෙන ගන්න ආසයි. ඒත් ලංකාවේ රංගනය, නිවේදනය හදාරන්න තැනක් කෝ.

* එහෙම කියලා හරි යන්නේ නැහැනෙ රශ්මි. මහේන්ද්‍ර පෙරේරා, අනෝජා වීරසිංහ වැනි අය රංගනය ගැන ඕනෑ තරම් වැඩමුළු පවත්වන්නේ. එයින් එකකට යන්න පුළුවන්නේ?

ඒක නම් ඇත්ත. බලමු ඉදිරියට ඒ ගැන හිතලා.

* ඔබ ඇයි ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වන්න හිතුණේ?

මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් නිසා.

* කවදා හරි තාත්තත් එක්ක එකතු වෙලා ටෙලි නාට්‍යයක් හෝ ෆිල්ම් එකක් නිෂ්පාදනය කරන්නද හිතාගෙන ඉන්නේ?

ඔබ ඔහොම කියනකම් මට ඒ අදහස ඔළුවට ආවේ නැහැ. අදහස නම් හොඳයි. හැබැයි ළඟදී නම් නිෂ්පාදනයකට අත ගසන්න බැහැ. ඔක්කොටම කලින් අධ්‍යාපන කටයුතු නිම කරන්න ඕනෑ.

* විවාහය ගැන හිතන්නෙත් අධ්‍යාපන කටයුතුවලින් පසුවද?

හරියටම හරි.

* නළුවකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් මොකද කරන්නේ?

ප්‍රතික්ෂේප කරනවා. මං කවදා හරි බඳින්නේ අම්මලා හොයලා දෙන කෙනෙක්ව.

* අම්මයි තාත්තයි ඔබට නළුවෙක්ව යෝජනා කළොත් ඔබ මොකද කරන්නේ?

අම්මලා මට වැරැදි කෙනෙක්ව තෝරා දෙන්නේ නැහැ. නළුවකු වුණත් මට හොඳ නම් එයාලා යෝජනා කරාවි. මාත් ඊට කමැත්ත දේවි. අම්මයි තාත්තයි මට වැරැදි දෙයක් කරන්නේ නැහැ කියලා මං දන්නවා.

* රශ්මි ටෙලි නාට්‍යවලටද චිත්‍රපටවලටද වඩාත් කැමැති?

ටෙලි හොඳයි. ටෙලි නාට්‍යවලින් ඉක්මනින් මිනිසුන් අතරට ගියහැකි.

* භවාන්තර ටෙලි නාට්‍යයේ ඔබ අමාරුවෙන්ම රඟපෑ දර්ශනය මොකක්ද?

පුබුදු චතුරංග අයියව ස්ටේෂන් එකේ ඇදගෙන ගිහින් කෝච්චියට දාන දර්ශනයයි අමාරුවෙන්ම කළේ. මං වගේ දෙකක් විතර මහත පුබුදු අයියා පිටි ගෝනියක් වගේ ඇදගෙන ගියා දෙතුන් පාරක්ම. ඒ සීන් එක ඉවර වෙද්දී ඇඟට හරිම අපහසුවක් දැනුණා.

* රශ්මිගේ පවුලේ කවුද ඉන්නේ?

මමයි අම්මයි, තාත්තයි, අයියයි, සීයයි. අයියා විදෙස් ගතවෙලා අධ්‍යාපනය හදාරනවා.

* රශ්මිගේ ගෙවල් කොහෙද?

කොළඹම තමයි.

* ඉගෙන ගත් පාසල?

කලම්බු සවුත් ජාත්‍යන්තර පාසල.

* උපන් දිනය?

මේ මස 27. ඒ කියන්නේ හෙට.

එහෙනම් අපි කලින්ම සුබ උපන් දිනයකට ආසිරි පතනවා.

තැන්ක් යූ.

* රශ්මි ගොඩක් සුරතලුන්ට ආසයි කියන්නේ ඇත්තද?

අනේ ඔව්. මං සත්තුන්ට හරිම ආදරෙයි. විශේෂයෙන්ම බල්ලන්ට.

* රශ්මි අපි සෑහෙන්න දේවල් කතා කළා. ඔබේ තවත් අදහසකින්ම මේ සංවාදයට විරාමයක් තබමු.

භවාන්තර කියන්නේ මගේ ජීවිතයේ ටර්නිං පොයින්ට් එකක්. ඒ වගේම මාරිට ගොඩක් ප්‍රෙක්ෂකයෝ ආදරය කරනවා. මං ඒ ආදරයට හරිම ආදරෙයි. මේ හැම දේටම මට උදව් කළ හැමෝටම මේ වෙලාවේ තුති පුදන්නට කැමැතියි.