වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




තරහ වෙන්න, යාළු වෙලා හිටිය ද?

තරහ වෙන්න, යාළු වෙලා හිටිය ද?

රවීන්ද්‍ර රන්දෙණිය තරංගා චිත්‍රපටයේ රූපගත කිරීම්වලට නුවර යනවා කියලා ගිහින් ටික දවසකට පස්සේ සුමිත්ත අමරසිංහ අයියයි, සුමිත්‍රා අමරසිංහ එයාගේ බිරිඳයි දවසක් හවසක අපේ ගෙදර ආවා. ඉස්සර මම ඒ දෙන්නගෙ නම් දෙක ගැන හරියට හිතනවා. සුමිත්තයි, සුමිත්‍රායි හරියට අම්මලා තාත්තලා හිතලා දාපු නම් දෙකක් වගේ. දැන් තමයි තේරෙන්නේ ඒවාත් සංසාර බැඳීම් කියලා. සුමිත්ත අයියා නොසිතූ මොහොතක අපි අතරින් වෙන් වුණා. සුමිත්‍රා අක්කා එදා ඉඳලා සුදු පොරවගෙන සියලු ආශාවන් අත්හරින්න උත්සාහ කරමින් සංසාරයෙන් එගොඩ වෙන්න පෙරුම් පුරනවා. ඒ නිසා වෙන්නැති ඒ දෙන්නට හොඳට ගැළපෙන නම් දෙකක් ලැබෙන්න ඇත්තේ.

ඒ දෙන්න ඇවිත් කිව්වා මට තරංගා චිත්‍රපටයේ චරිතයකට කතා කරන්නයි ආවේ කියලා.

මං, මට කරන්න තියෙන චරිතෙ ගැන විස්තර ඇහුවා. ටිකක් වැඩිහිටි චරිතයක් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ. මේකෙ ලස්සන සිංදුවක් කියන්න තියෙනවා. එහෙම කියපු ගමන්ම මං කිව්වා අනේ මට සිංදු කිය කියා රඟපාන ඒව නම් කරන්න බැහැ කියලා. සිංදුවක් කියන්නේ ගස් වටේ නටන එකක් නෙවෙයි. නන්දා මාලිනී කියන ලස්සන දරු නැළවිලි ගීතයක්. එහෙම කිව්වම මම කැමති වුණා.

ඉන් පස්සේ නියම කරගත් දවසට අපි නුවර රංගල ප්‍රදේශයේ ලස්සන තේ වතුයායකට ගියා. මෙතෙක් රඟපාපු චිත්‍රපටවල චරිත ඉතාම කුඩා චරිත වුණත් ඒ මතක බොහොම සුන්දරව මිහිරිව හිතේ තැන්පත් වුණා. තරංගා චිත්‍රපටය ගැන මතකය අවදි කරන්නේ එහිදී සිදුවන අමිහිරි මතක තමයි සිත ඇතුළේ තැන්පත් වෙලා තවමත් ඉතුරු වෙලා තියෙන්නේ. රවීන්ද්‍ර රන්දෙණිය මට කැමැතියි කියපු වෙලාවේ මම එයාට අකැමැති බව පෙන්නුවත්, මගේ හිත ඇතුළෙත් එයා ගැන කැමැත්තක් තියනවා කියලා මට දැනුණේ එහේදි වෙච්ච සිදුවීම්වලදී. නමුත් ඒ සිදුවීම් නිසාම මගේ කැමැත්තත් මම අකැමැත්තෙන් හරි දිය කර දාලා හිත හදා ගත්තා.

අපි සේරම නැවතිලා හිටියේ තේ වත්තේ මැද තිබුණ විශාල බංගලාවක. බංගලාවේ පුංචි පුස්තකාලයක් තිබුණා. මම උදේ පොත් බලන කොට රවි අයියත් ඇවිත් මේ පොත කියවන්න කියලා පොතක් තෝරලා දුන්නා. ඒ පොතේ නම මළගිය ඇත්තෝ. මම එදා තමයි පළවෙනි වතාවට මළගිය ඇත්තෝ පොත කියෙව්වේ. මට එදා විවේක දවසක්. මම දවසම කාමරේට වෙලා පොත කියෙව්වා. උදේ රූගත කිරීම්වලට පිටත් වුණ නළු නිළියෝ සියලු දෙනාම හවස නවාතැනට ආවා. සියලු දෙනාගෙම කතාවල්, සිනහවල් දවසේ වෙච්ච සිදුවීම් මතක් කරමින් කියන දේවල් මගේ කන් ඇතුළටත් රිංගුවා. මළගිය ඇත්තේ පොත ඇතුළේ මම ඒ දේවල් රූපගත කළා. රෑ වෙලා සේරම සාලයට ඇවිත් සතුටු සාමිචියේ. මම තාම කාමරේ. රවීන්ද්‍ර රන්දෙණිය මාව හොයාගෙන කාමරයට ආවා. ඇයි අද එළියටවත් එන්නේ නැද්ද. මම ඇහෙන්නෙ නැහැ වගේ හිටියා. තවත් මොන මොනවදෝ ඇහැව්වා. ඒ එකකටවත් මම උත්තර නොදී පොත දිහා බලාගෙන හිටියා.

බුද්ධි වික්‍රම

එතකොට රවීන්ද්‍ර රන්දෙණිය ඇහැව්වා ඇයි මේ මාත් එක්ක තරහා වෙලා ද කියලා. මම එතකොට තරහින් කිව්වා ඇයි තරහ වෙන්න අපි යාළු වෙලා හිටිය ද කියලා. රවී පස්සේ දවසක කිව්වා එවෙලේ එයා හිතුවා කියලා මේකිගෙ ආඩම්බර මම මොකටද බලන්නේ කියලා.

ඉතින් කොහොම කොහොම හරි දෙන්නට දෙන්නා හිත නරක් කරගෙන තමයි ආයිත් කොළඹ ආවේ. මම හිතුවේ රවීන්ද්‍ර රන්දෙණිය මං ගැන ආයිත් නම් කවදාවත් හිතන එකක් නැහැ කියලා. ඉන් පස්සෙත් රවී මට පුංචි ලිපියක් එවලා තිබුණා. මම පිළිතුරු ඇරපු ලිපියේ මුලින්ම ලියපු කවි පේළිය මට අද වගේ මතකයි. මම ලිව්වේ,

‘පවස නිවන දිය බිඳක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ’ කියලා. ඉන් ටික දවසකට පස්සේ රවී ආයිත් අපේ ගෙදර ආවා. එදා වෙච්ච සිදුවිමකුත් මගේ මතකයෙන් ඈත් වෙන්නේ නෑ.

අපේ ගෙදර ඉස්තෝප්පුවට ටිකක් ඈතට වෙන්න තමයි අපි නාන ළිඳ තිබුණේ. ළිඳ වටේට ක්‍රෝටන් ගස් හිටවලා තිබුණේ. හුළඟට ක්‍රෝටන් ගස් එහාට මෙහාට වැනෙන කොට ළිඳ ගාව නාන කෙනාව ඉස්තෝප්පුවේ කවුරු හරි ඉන්නවා නම් එයාට පේනවා. එයා වුවමනාවෙන් බැලුවොත් ඒ කවුද කියලා අඳුර ගන්නත් පුළුවන්. ළිඳට එන්න අඩි පාරවල් දෙකක් තිබුණා. එකක් ඉස්තෝප්පුව පැත්තේ. අනිත් එක මුළුතැන්ගෙය පැත්තෙන්.

එදා මම ළිඳ ළඟ නාන කොට කාර් එකක සද්දයක් ඇහුණා. මම ක්‍රෝටන් ගස් අතරින් දැක්කා රවීන්ද්‍ර රන්දෙණියගේ කාර් එක මිදුලේ නවත්වනවා. ඒ වෙලාවේ මගේ ඇඟ පුරාම සබන්. මම දෙසැරයක් හිතුවෙ නැහැ. සබන් පිටින්ම කුස්සිය පැත්තට දුවල ගියා. කුස්සියට ගොඩ වෙන පඩිය උඩ ඉඳලා අම්මේ – අම්මේ කියලා අම්මට කතා කළා. අම්මා කිව්වා මොකද මේ ඇඟ පුරාම සබන්නේ, ගිහින් වතුර දෙකක්වත් දාගෙන එන්න කියලා. මං කිව්වා, බෑ මට ලැජ්ජයි. මාව ඒගොල්ලන්ට පේනවා. කුස්සියේ තියෙන වතුරවලින් දෙකක් දාන්නකො මම පස්සේ අම්මට වතුර පුරවලා දෙන්නනම් කියලා. අම්මා පඩිය උඩ ඉඳලම මට වතුර දෙකක් දාලා බාගෙට සබන් පිටින් ගෙට ගත්තා.

දැන් කොළඹ පළාතෙ ළිඳවල් නැති නිසා එහෙම සිදුවීමකට කාටවත්ම මුහුණ දෙන්න වෙන එකක් නැහැ. වාසනාවකට දැන් අපි ඉන්න ගෙදර අපිට තාමත් ලස්සන ළිඳක් තියෙනවා. අපේ දරුවෝ සියලු දෙනා පිටරටවල්වල ඉඳන් ඇවිත් අපේ පුංචි මුනුපුරාත් එක්ක ළිඳෙන් වතුර ඇදගෙන නාගෙන මිදුල පුරා දුව දුව සංතෝසෙන් හිනා වෙනකොට නොදැනුවත්වම එදා වෙචච සිදුවීම ළඟ මගේ හිත නතර වෙනවා. ඒ වෙලාවට රවී මේ ජීවිතේ කොයිතරම් දේවල් මට දීලා තියෙනවද කියලා හිත සන්තෝසෙන් පිරිලා ඉතිරිලා යනවා.

එදා රවීන්ද්‍ර රන්දෙණිය අපේ ගෙදර ඇවිත් හිටියේ තරංගා චිත්‍රපටයේදී මම හඳුනා ගත් බුද්ධි වික්‍රම කියන රංගන ශිල්පියාත් සමඟ. බුද්ධි අයියා කියපු විහිළු කතාවලින් අපි හුඟාක් සංතෝස වුණා. තරංගා චිත්‍රපටයේ නළු නිළියන්ට පවත්වන සාදයකට අපිටත් ඇරැයුම් කරන්න තමයි ඒ දෙන්නා ඇවිත් හිටියේ. රවීන්ද්‍ර අයියා ඇහැව්වා ඔයගොල්ලො කොහොමද එන්නේ කියලා. මම කිව්වා ටැක්සියකින්වත් එන්නම්කො කියලා.

එහෙම ඕනෙ නැහැ. මම එන්නම් එක්කරගෙන යන්න. වෙලාවට ලෑස්ති වෙලා ඉන්නකො කියලා. ඒ දෙන්නා පිටත් වුණා. පහුවෙනිදා බුද්ධි වික්‍රමයි, සුමිත්‍රා අක්කයි ආයිත් අපේ ගෙදර ආවා. මම පුදුම වුණා. බුද්ධි අයියා ඊයෙත් ඇවිත් ඇයි අදත් ආවේ කියලා. ඒක ගැන තේරුම් කරලා දෙන්න බුද්ධි අයියයි සුමිත්‍රා අක්කයි දිග කතාවක් පටන් ගත්තා. ඉස්සෙල්ලාම බුද්ධි අයියා ඇහැව්වේ,

සුමිත්ත සහ සුමිත්‍රා අමරසිංහ

උඹ මොකද අපේ කොල්ලට පාට් දාන්නෙ කියලා.

මං කිව්වා මම . . . ඇයි ඒ . . . මම කාටවත් පාට් දැම්මෙ නැහැනේ කියලා.

පාට් දැම්මෙ නැහැ. පාට් දැම්මෙ නැති නිසාද අපිට මේ එක එක්කෙනාගේ දුක් අඳෙීනාවල් අහන්න වෙලා තියෙන්නේ. උඹලා නෙමෙයි අපියි මේවාට විඳවන්නේ. රෑ එළිවෙන තුරු අපිට නිදාගන්නත් නැහැ.

ඒ මොකද ඒ?

එතකොට සුමිත්‍රා අක්කා කතා කළා. විහිළු නෙමෙයි ප්‍රීති, බොනී ඔයා ගැන හරි සීරියස්. බොනී අපිට ඔයාගෙන් මේ ගැන අහන්න කිව්වා.

අනේ බොරු කියන්න එපා අක්කේ. එයාට ඕන තරම් කෙල්ලො ඇති.

ඔයාට පිස්සුද, කවුද එහෙම කියන්නේ. එහෙම ඉන්නවා නම් එයා කියයි ද අපිට ඔයාට ඇවිත් කතා කරන්න කියලා. එහෙම ඉන්නවා නම් අපි මෙහෙම එනවද ඔයාට කතා කරන්න.

මම මුකුත් නොකියා ඉන්න කොට ආයිත් බුද්ධි අයියා කතා කළා.

උඹ හිතන්න එපා බොනියට ගෑනියෙක් ගන්න බැරිව මෙහාට ආවා කියලා.

ඉතින් මම ගෑනියෙක් ගන්න එපා කිව්වයැ.

උඹ එපා කිව්වෙ නැහැ. උගේ කරුමෙට ඌ කැමැතිම උඹටනේ. (බැන්දට පස්සෙ නම් රවිත් එහෙම හිතන්න ඇති) සුමිත්‍රා අක්කා කිව්වා අපි ඔයාට නරකක් කරන්නේ නැහැ ප්‍රීති. බොනී කතා කරන කොට තේරෙනවා එයා තීරණයක් අරගෙනයි තියෙන්නේ.

එහෙනම් අක්කේ එයාට කියන්නකො අපේ තාත්තගෙන් අහන්න කියලා.

යකෝ මේක මළ මඟුලක්නේ. එතකොට බොනිය බඳින්නෙ උඹලගෙ තාත්තවද?

තාත්තව බඳින්න නෙවෙයි බුද්ධි අයියා, මට එතකොට හොඳටම විශ්වාසයි රවී මට ඇත්තටම ආදරෙයි කියලා.

තාත්තගෙන් අහන්න කලින් ඔයා කැමැති ද කියන්න එපැයි. බොරුවට තාත්තගෙන් අහල වැඩක් නැහැනේ.

හොඳයි මම කැමැති වෙලා මේක හුඟාක් දුර දිග ගිහින් හැමෝම දැනගත්තටත් පස්සේ එයා මාව එපා වෙලා බඳින්න කැමැති නැතිව නවත්තල දැම්මොත්?

නවත්තලා දැම්මොත් මම උඹව බඳින්නම්.

බුද්ධි අයියා එහෙම කිව්වම සුමිත්‍රා අක්කයි මායි හරියට හිනා වුණා. සුමිත්‍රා අක්කා රවීට මේ ගැන කියලා අපි විවාහ වෙලත් කාලයක් යන තුරු බුද්ධි අයියා ගෙදර ආවම රවී අහනවා උඹ ආවේ මම ප්‍රීතිව දාල ගිහින් කියලා බලලා යන්නද කියලා.

එතකොට බුද්ධි අයියා කියනවා පුතෝ උඹට මාව අගේ නැති වුණාට බුද්ධි වික්‍රම කියන්නේ යාළුව වෙනුවෙන් බෙල්ල දීලා කතා කරපු අතිජාත මිත්‍රයෙක් කියලා.