වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




රෝසා ගැන අලුත් ආරංචියක් අලුත්ම වෙබ් අඩවියක් Singfony නමින්

රෝසා ගැන අලුත් ආරංචියක් අලුත්ම වෙබ් අඩවියක් Singfony නමින්

මේරියන්ස්ලා සමඟ සිටි කුසලතා සපිරි වාදකයා වන ප්‍රසන්න රෝසා අලුත්ම වැඩකට මුල පුරලා. ලෝකය පුරාම ඉන්න නවක ගායක, ගායිකාවන් ගේ ගීත ඇතුළත් කරගෙන කරන මේ අලුත්ම කාර්යය කුමක්ද කියලා ඔහු සරසවිය සමඟ කතාබහක නියැළුණා. මේ ඔහු සමඟ කළ කතාබහක්.

මොනවද ඔබ ඇතුළු පිරිස කරන්න ගිය මේ අලුත්ම කටයුත්ත?

මේක මේ සංගීතමය වෙබ් සයිට් එකක්. ඒක නම් කරලා තියෙන්නෙ සිංෆොනි කියන නාමයෙන්. මේ නැවුම් කටයුත්ත ඉටු කරන්න මාත් සමඟ මගේ ඉතාලියේ ඉන්න ජූඩ් අර්ඩ්ලි හා සම්පත් කියන යාළුවො දෙදෙනත් එකතු වුණා. ලෝකය පුරාම විසිරිලා ඉන්න ගායක, ගායිකාවන්ට තමන්ගේ ගීතය මේ හරහා එළි දැක්වීමේ අවස්ථාව හිමිකර දීමයි අප මේ හරහා සිදු කරන්නේ. මේ සංගීතමය වෙබ් සයිට් එක නිල වශයෙන් විවෘත වන්නේ මේ මාසයේ 28 වැනිදා ඉතාලියේ මිලානෝ නගරයේ දී. අප එහෙම පවසන්නේ නිල නොවන වශයෙන්. මේ වනවිට සිම්පනි ආරම්භකර මාස 2 ක් පමණ ගත වී ඇති නිසයි.

ලෝකය පුරාම විසිරිලා ඉන්න අයට සිංෆොනි විවෘතව තිබුණත් ඊට ලංකාවේ අයට පිවිසිය නොහැකිද?

මෙහිදී විශේෂයෙන්ම අපගේ අවධානයට යොමු වන්නේ විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්. ඔවුන්ට ගීතයක් නිර්මාණය කර ගත්තට පස්සෙ ඒක රසික, රසිකාවන් වෙතට රැගෙන යන්න විදියක් නැහැ. ඊට පිළිතුරක් ලෙසයි අප මේ සිංෆොනි වෙබ් සයිට් එක ආරම්භ කරන්නෙ. ඒත් ශ්‍රී ලංකාවේ සංගීතයට ළැදි බොහෝ තරුණ තරුණියන් ගෙන් පවා විවිධ චෝදනා අපට එල්ල වුණා. ඇයි ඔයාලා අපිව අමතක කරන්නෙ කියලා. ඒ ගැනත් අපි සලකා බැලුවා. එහිදී අපට හෙළි වුණු කාරණයක් වෙන්නේ ඔවුන්ට තමන් ගායනා කරන ගීතයට එතරම් හොඳ වටිනා කමක් නොලැබෙන බවයි. ඒ වගේම ඒ ගීතය රසික රසිකාවන් අතරට රැගෙන යන්නට පුළුවන් විදියේ මාර්ගයක් ඔවුන්ට නොමැති බවයි. කිහිප දෙනෙක් විවිධ මාධ්‍ය ඔස්සේ මේ ගීත ජනපි‍්‍රය කරගත්තත් හැමෝටම ඒ අවස්ථාව නොලැබෙන බවත් අපට පෙනී ගියා. ඒ අනුව ලංකාවේ අයටත් ඉඩකඩ උදා වූ බව කියන්නේ බොහොම සතුටෙන්.

ඒ වගේම මේ ඔස්සේ ඔබ තරගයක් පවත්වනවා නේද?

වැඩිම මනාපයෙන් හොඳම ගීතය තෝරන තරගයක් ඉදිරිපත් කරන්නත් අපි තීරණය කළා. ඒ අනුව එහිදී තේරෙන තරගකරුට ලක්‍ෂ පහක් දෙන්නත් තීරණය කළා. ඒ විතරක් නෙවෙයි ඒ තරගකරුගෙ ගීතයට සාධාරණ ප්‍රසිද්ධියක් හා රූප රචනාවක් සකසා දීමටත් අප කටයුතු කරනවා.

ඔබ මින් අදහස් කරන්නේ සේවයක් සැලසීමක්ද?

කියමනකට කියනවනේ මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි කියලා. ඒ කාරණයත් මා මෙහිදී සිහිපත් කරනවා. ඒ වගේම මේ සයිට් එක ලෝන්ච් කරන්න අපට මුදල් වැය වෙනවා. ඒ වැය වෙන මුදල් වෙනත් ක්‍රමයකින් අපට ලැබුණොත් කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් අපටත් නිතරම මේක ඒ විදියටම සේවයක් ලෙස පවත්වාගෙන යන්න නොහැකි වේවි. කාලයක් යනතුරු අප එලෙස කටයුතු කළත් මිලක් නියම කිරීමට අපට දිනෙක සිදුවේවි. ඒක අද හෝ හෙට කියලා මම කියන්නෙ නැහැ. ඒත් ඒ අයකරන මුදල සාධාරණ මුදලක් වන බවත් කියන්න ඕනෑ.

සිංෆොනි සඳහා සහභාගි වන්නන්ට හිමිවන විශේෂ අවස්ථා මොනවාදා?

ඔවුන් අපේ සාමාජිකයෙක් වුණාට පස්සෙ ප්‍රොපයිල් එකක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනවා. එවිට බොහෝ ඉමේජස් දමන්න පුළුවන්. තමන්ගෙ පෞද්ගලික කරුණුද මේ ඔස්සේ ඇතුළත් කළ හැකියි. ඔවුන්ගේ රසිකයන් සමඟ චැට් කළ හැකියි. තමන්ගේ ගීතයට අදාළ ඕඩියෝ එක හරි වීඩියෝ එක හරි දැමිය හැකියි. මේ වගේ විශේෂ අවස්ථා රාශියක් අපගේ වේබ් සයිට් එක ඔස්සේ අප හා සම්බන්ධ වෙන නිර්මාණකරුවාට හිමි වෙනවා. සමහරු කියන්න පුළුවන්. ඔය වගේ දේවල් කරන තවත් වෙබ් සයිට් තිබෙන්න පුළුවන් කියලා. නමුත් ඒවාට වඩා අප අතර තිබෙන වෙනස හඳුන ගන්න එන්න කියලා මේ පිළිබඳ උනන්දුවක් දක්වන හැමෝටම මම ආරාධනා කරනවා.

වීඩියෝ හා ගීත ඉදිරිපත් කිරීමේදී යම් ප්‍රමිතියක් පිළිබඳ සැලකිලිමත් වෙනවාදා?

අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ අපගේ අවධානය යොමු කරනවා. එහිදී ඔවුන් ඉදිරිපත් කරන වීඩියෝ එක නියම ප්‍රමිතියට තිබිය යුතුයි. කැමරා ෆෝන් එකක තිබෙන කැමරාවකින් වීඩියෝ කරලා ගන්න විෂුවල් එකක් මේකට හරියන්නෙ නැහැ. ඒ නිසා නියම ප්‍රමිතිය බොහොම වැදගත්. ඒ වගේම ඉදිරියේදි සලකා බලන අනෙක් සාධකය වන්නේ ගීත. අසන්නන්ට නුසුදුසු ගීත, පහත් රසික මට්ටමක් තිබෙන, පහත් වචන යොදාගෙන තිබෙන, සංගීතමය වශයෙන් නොගැළපෙන හානිදායක ගීත පළ නොකරන්නටත් අප විමසිලිමත් වෙනවා. එවැනි දේ ඇතුළත් ගීත එව්වොත් අපට යම් තීරණයකට එළැඹෙන්නට සිදුවන බව නම් කිව යුතුමයි. මෙහි සංගීත අංශය පිළිබඳ භාරව සිටින්නේ මා නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.

Singfony වෙබ් සයිට් එකේ සිටින සාමාජිකයකුට රසිකයකුගේ මනාපය ලබාදිය හැක්කේ කෙසේද?

මේ වනවිට ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, කොරියාව, ජපානය වගේ රටවල් රාශියකින් අපට ගීත ලැබිලා තියෙනවා. මේ ලැබුණු විවිධ ගීත අහන්නට, ඒවායේ වීඩියෝ නරඹන්නට ඊට තම මනාපය දක්වන්නට ක්‍රමවේදයක් අප නිර්මාණය කළා. එතැනදි එක් අයකුට ලබාදිය හැකි වන්නේ ඡන්ද තුනක් පමණයි. ඒ ඡන්දය ලබාදෙන්න ආවාට ගියාට බැහැ. ඔවුන්ගේ සියලු තොරතුරු අපි ලබාගන්නවා. කිසිම අවස්ථාවක බොරුවක් කියන්න නොහැකි විදියටයි මේ එස්. එම්. එස් මනාප අප ගණනය කරන්න සැලසුම් කරලා තියෙන්නේ. කිසියම් විදියකින් ඔහුගේ නමින් ඡන්ද තුනකට වඩා එව්වොත් අපි ඒක දන්නවා. ඒ වගේ අයට කතාකරලා එසේ නොකරන්න කියලා අපට උපදෙස් වුණත් දිය හැකියි. ඒ පිළිබඳ සියලු තොරතුරු සිංෆොනි වෙබ් සයිට් එකේ ඇතුළත් කරලා තිබෙන නිසා අවශ්‍ය අයකුට ඊට පිවිසිය හැකියි.

මේ ලිපිය කියවන අයකු තවත් විසිතර දැනගැනීමේ අදහසින් සිටින්නේ නම් ඒ විස්තර ලබා ගත හැකි ක්‍රමයක් පිළිබඳත් කියමුද?

0094712236841 – 0773011306 වගේම 00947288065, 00393282562126 යන දුරකථන අංකවලට කතා කළොත් වැඩි විස්තර දැන ගැනීමට ඔබට හැකියාව ලැබෙයි. ඒ වගේම www.singfony.com කියන ඊ මේල් ලිපිනයෙන් ද ඊට අවස්ථාව සැලසෙනවා.