වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




‘කොළඹ අහස යට’ ලැම්බට් ලංකාවේම ජනප්‍රියයි

‘කොළඹ අහස යට’ ලැම්බට් ලංකාවේම ජනප්‍රියයි

- බොනිෆස් ජයශාන්ත

විජය අයියාට මම ණයගැතියි

ආ . . . ලැම්බට් අයියේ? කොහොමද ඉතින්? මොකෝ මේ පැත්තේ?

හොඳින් ඉන්නවා මල්ලි. අද පොඩි නිවාඩුවක් වැටුණා. ඒක හින්ද හිතුවා ‘සරසවිය’ පැත්තේ ඇවිත් ගියොත් හොඳයි කියලා.

කොළඹ අහස තරමටම දැන් ලැම්බර්ට්වත් ජනප්‍රියයි?

අනේ ඔව්. මේ දැන් එනකොටත් කොල්ලො සෙට් එකක් මාව වට කරගෙන සෑහෙන්න වෙලා කතා කර කර හිටියා. මට ඒ අය කන්න බොන්නත් අරන් දෙන්න හැදුවා. මම හිතන්නේ එයාලා කොළඹ අහස හැමදාම බලනවා ඇති. මට පුදුමයි ලැම්බර්ට් මෙච්චර ජනප්‍රියත්වයක් ලැබුවාට.

මාත් ඉතින් ඔබ ආපු වෙලාවෙ ඉඳලා ලැම්බර්ට් කිය කිය හිටියා මිසක් ඔබේ ඇත්ත නම ඇහැව්වේ නැහැනේ?

මම බොනිෆස් ජයශාන්ත.

එතකොට ගම් පළාත එහෙම?

මීගමුව. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙනුයි අධ්‍යාපනය හැදෑරුවේ.

මට හිතෙනවා ඔබ පාසල් කාලයේ සිටම රංගනයට කැමැත්තෙන් සිටින්න ඇති කියලා?

හරියටම හරි. පාසලෙන් තමයි මගේ රංගන ජීවිතය ආරම්භ වන්නේ. ඒ වගේම මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ එවකට පාලකව සිටි ගරු ජූඩ් නිකලස් පියතුමා වසරක් පාසා කරන පාස්කු නාට්‍යවලට මාව අනිවාර්යයෙන්ම ගත්තා. එතුමාණන්ගේ මාර්ගයෙන් මට රිචඩ් මානමුදලි මහත්තයාව හඳුනා ගන්නට ලැබුණා. රිචඩ් අයියයි මාව හා හා පුරා කියා ප්‍රසිද්ධ වේදිකාවට ගත්තේ. ඒ ඔහුගේ සාකුන්තල වේදිකා නාට්‍ය තුළින්. මා එහි විදුෂ නම් වූ ප්‍රධාන චරිතයක් රඟපෑවා. මම වේදිකාවේ රඟපෑ ඒ පළමු චරිතයට රාජ්‍ය නාට්‍ය උළෙලේ කුසලතා සම්මානයක් ලැබුණා. අනතුරුව ලක්ෂ්මි දමයන්ති නිර්මාණය කළ බෙර හඬ නාට්‍යයට සම්බන්ධ වුණා.

ඔබ පුංචි තිරයට එන්නේ ගයා රම්‍ය අල්විස් සහ විජිත මංජුල සිංහපෘතුවි නිසා. කොහොමද ඔබට ඔවුන්ව හමුවන්නේ?

මම කලාවට ආස නිසා නිතර රූපවාහිනියට ආවා ගියා. ඒ ආපු මොහොතකයි මට ඒ මහත්වරු දෙන්නව හමුවන්නේ. මගේ විස්තර ඇහැව්වා. මාව ඔවුන් පළමුව සම්බන්ධ කර ගත්තේ ඒකාංගික වෙසක් නාට්‍යයකට. රූපවාහිනියේ නාට්‍ය අංශයේ අයගේ දැන හැඳුනුම්කම් වැඩි වුණා මේ නාට්‍යයෙන් පස්සේ. මට ආරාධනා ගලා ආවා රංගනයට. වර පෙරළිය, ඇබෑර්තු ඇත, ඊ බ්‍රේන්, සල්මල් ලන්ද, නිර්සත්වයෝ, සඳගලතැන්න, ඉස්සරහට යන්න, කොළඹ අහස මම රඟපාපු නාට්‍ය කිහිපයක්.

ඔබ කියපු නාට්‍ය සියල්ලම වගේ ජාතික රූපවාහිනියේ විකාශය වුණු ඒවා. වෙනත් චැනල්වලින් නිර්මාණය කරන නාට්‍ය සඳහා ඔබට ඇරැයුම් ලැබෙන්නේ නැද්ද?

මම වැඩි වශයෙන්ම හඳුනන්නේ ජාතික රූපවාහිනියේ අයව. ඔවුන් මට ලෝබ නැතුව රඟපාන්න අවස්ථාව දෙනවා. මේවාට අමතරව මම ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කෝපි කඩේ පූට්ටුවාගේ චරිතය කළා අවුරුදු තුනක් විතර.

කොළඹ අහසෙහි ඔබ රඟපාන්නේ විජය නන්දසිරිත් එක්ක. මොකද හිතෙන්නේ ඔහුත් එක්ක රඟපාන්න ලැබීම ගැන?

මම හරි භාග්‍යවන්තයි විජය අයියා වැනි ප්‍රවීණයෙක් සමඟ රඟපාන්න ලැබීම ගැන. ඔහු මට විටෙක ගුරුවරයකු වුණා. විජය අයියාගෙන් ලද උපදෙස් මත මම මගේ චරිතය වැඩි දියුණු කර ගත්තා. මම ඔහුට ගොඩක් ණයගැතියි.

ලැම්බර්ට් අයියා නිතරම කියන වචනයක් තියෙනවා. ඒක තමයි කොන්නිෂිවා. මොකක්ද එහි තේරුම?

කොන්නිෂිවා කියන්නේ ජපන් බසින් ස්තුතියි කියන එක. ඇතැම් අය ස්තුතියි කියනවට පාවිච්චි කරන්නේ ඒ වචනෙලු.

ලැම්බර්ට් කියන්නේ මිනී පෙට්ටි සාප්පුවක වැඩ කරන කෙනෙක්. ෂූටිංවලදී වැඩි වශයෙන්ම ඉන්න තියෙන්නේ මිනී පෙට්ටි එක්ක. කොහොමද ඒ අත්දැකීම?

කියලා වැඩක් නැහැ. එක දර්ශනයක් තිබුණා මට මිනී පෙට්ටියක නිදා ගන්න තියෙන. මම ඒක කළා. ජීවත්ව සිටියදීම මිනී පෙට්ටියක ඉන්න ලැබුණා කොළඹ අහස නිසා. දර්ශනය ඉවර වෙලා මිනී පෙට්ටියෙන් බහින්න තමයි මාර ගේමක් දෙන්න වුණේ. කොළඹ අහසෙ නිෂ්පාදන කණ්ඩායමේ අය මහත මාව බොහොම අමාරුවෙන් බිමට බැස්සුවා. අපි මිනී පෙට්ටි සාප්පුවේ ඉන්න කොට දවසකට මිනී තුන හතරක් එම්බාම් කරන්න ගේනවා. ඒවා දැක්කම සිත කලකිරෙනවා. වෙලාවකට එපා වුණා මිනී සාප්පුවේ ඉන්න.

රංගනයේ යෙදුනාට ඔබේ වෘත්තීය වෙනත් එකක් නේද?

ඔව්. මම රක්ෂණ සමාගමක සේවය කරන ගමන් රඟපාන්නේ. මට ආයතනයේ නිවාඩු තිබෙන විදිහටයි අධ්‍යක්ෂවරු මාව නාට්‍යවලට ගන්නේ. මම ඔවුනට බෙහෙවින් තුති පුදනවා.

ඒ විදිහටම ද දිගටම රඟපාන්න කල්පනාව?

නැහැ. ඉදිරියේදී වෘත්තීය නළුවකු වන්නටයි හිතාගෙන ඉන්නේ. හොඳ නළුවකු ලෙස මේ දේශයේ මිය යන්න පුළුවන් නම් මට ඒ ඇති.

ඔබේ පවුලේ විස්තරත් කියමු?

මගේ බිරිය අකිලා. අම්මා තාත්තා සහ සහෝදර සහෝදරියන් එක්ක බොහොම සතුටින් කාලෙ ගෙවනවා.

මේ ගමන එන්න ශක්තියක් වුණු පිරිස ගැන මතක් කළොත්?

ගයා රම්‍ය අල්විස් සහ විජිත මංජුල සිංහපෘතුවිව මුලින්ම තුති පුදන්න ඕනැ. අනිත් අය නම් වශයෙන් මෙහෙමයි. සමන් කුමාර ලියනගේ, මාවෝ ලක්ෂිත, සුදම් දයාරත්න, සුසිරන් ද සිල්වා, ජනක සුරංජිත්, පීටර් වෙල්අඹගේ, සිසිල් ජෝ පෙරේරා, අශාන් ප්‍රනාන්දු, ප්‍රියශාන්ත ප්‍රනාන්දු සහ නාලිනී මිස් ප්‍රමුඛ මාරිස්ටෙලා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය.

මේ බොනිෆස්ගේ දුරකතන අංකයයි. 0714436220.